රසට ගුණට දේශීය ආහාර

ජූලි 21, 2021

 

අද කෑම අතිරේකය සඳහා අප ඔබට ඉදිරිපත් කරන්නේ දේශීය ආහාර වට්ටෝරු කිහිපයකි. මේ ආහාරවල ඇති විශේෂත්වය වන්නේ ඇතැම් ආහාර වර්ග අපෙන් මේ වන විට ඈතට ගොස් තිබීමයි. තවත් කෑම වට්ටෝරු දේශීය ආහාර ද්‍රව්‍ය මඟින් කළ අත්හදා බැලීම් ය.

දේශීය ආහාර සඳහා වැඩි ඉඩක් ලබාදෙන මුහුණු පොතේ ජනප්‍රිය සමූහයක් වූ කනවනම් කමු සමූහයෙන් මේ ආහාර වට්ටෝරු ලබා ගැනීම ද විශේෂත්වයකි. තරුණී පාඨක ඔබට හොඳම දේ ගෙන එන තරුණී, මේ වෙනස් ආහාර වට්ටෝරු ඔබ වෙත ගෙන එන්නේ ද ඒවා වස විසෙන් තොර පෝෂණ ගුණයෙන් ඉහළ ඒවා නිසාමයි.

මේ පවතින ව්‍යවසනකාරී, ආර්ථික අපහසුතා ඇති කාලයේ දී අපට වත්තෙන් ම හෝ ඉතා පහසුවෙන් සපයාගත හැකි දේ මඟින් සැකසිය හැකි ආහාර අප හැමටම ප්‍රයෝජනවත් ය. බටහිරකරණය වී සිටි බොහෝ දෙනා මේ වසංගත කාලයේ දී ඇති වූ අපහසුතාවන් සමඟ නැවතත් දේශීයත්වය කරා නැඹුරු වෙමින් සිටිති. එමනිසා මෙවැනි දේශීය ආහාර වට්ටෝරුවල අගය වෙනදාටත් වඩා අප හැමටම මේ කාලයේ දැඩිව දැනෙමින් පවතී.

රටවල් 85ක සාමාජිකයන් විසිරී ඇති කනවනම් කමු සමූහයේ සාමාජිකයන් අතර පසුගිය දා පැවැති දේශීය ආහාර සැකසීමේ තරගයෙන් වැඩි ආකර්ෂණයක් දිනා ජයග්‍රහණය කළ ආහාර වට්ටෝරුව හා මේ කාලයට වැඩි වටිනාකමක් ගෙන දෙන ආහාර වට්ටෝරු කිහිපයක් අප මේ සඳහා තෝරා ගැනිණි. එහෙමනම් බලන්න ඔබේ පවුලේ රසයට ගැළපෙන ලෙස සැකසිය හැකි, රසයෙන් මෙන්ම පෝෂණ ගුණයෙන් ද ඉහළ, ඔබ සිත් ගත් ආහාර වට්ටෝරු මේ අතර තිබේදැයි කියා..

 

 

විශේෂ ස්තුතිය -

කනවනම් කමු සමූහයේ ගෘෘප් ඇඩ්මින්

අමල් අත්තනායකට

 

කාමරංකා ව්‍යාංජනය

කාමරංකා ගසක් ඇති බොහෝ නිවෙස්වල ඒවා බිම වැටී අපතේ යනු අපට දැක ගත හැකිය. රසගුණ ඇති පලතුරක් ලෙස කාමරංකා ගැන දැනගෙන සිටිය ද එය ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකි බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි.

තමාගේ නිවෙසේ ගසක් නොමැති වුවත් ඉතාමත් පහසුවෙන් සොයා ගත හැකි කාමරංකා ගෙඩි කිහිපයකින් ඔබට මෙය පිළියෙල කරගත හැකියි. එළවළුවක් නිවෙසේ නැති අවස්ථාවක වුවත් ඒ අඩුව පිරවීමට කාමරංකා ගෙඩි කිහිපයක් ඇත්නම් ඔබට ගැටලුවක් පැන නොනගීවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

පැසුණු කාමරංකා ගෙඩි 3ක්

රම්පෙ, කරපිංචා

කුරුඳුපොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

කුඩා ප්‍රමාණයේ බී ලූනු ගෙඩියක් හෝ

රතු ලූනු ගෙඩි දෙක තුනක්

සුදු ලූනු බික් 3ක් පමණ

සූදුරු ස්වල්පයක්

මිරිස් කුඩු තේහැඳි කාලක් පමණ

තුනපහ කුඩු තේහැන්දක ප්‍රමාණයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක් (ඔබ කැමැති

රස ප්‍රමාණයට)

ලුණු රස අනුව

 

පොල් තෙල් මේස හැඳි 2ක්

පොල් කිරි ස්වල්පයක්

 

සාදන ආකාරය:

පළමුව ඇතිළියක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි දෙක දමා රත්වන්නට තබන්න. තෙල් රත් වූ පසුව ලියා ගත් ලූනු, සුදු ලූනු, දමා ඒවා රන්වන් පැහැ වන විට රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් හා සූදුරු එක්කර බැදගන්න. ඉන්පසුව එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු ස්වල්පයක් එක්කර මිශ්‍රණය කලවම් කරන්න.

දැන් එයට වතුර ස්වල්පයක් දමා කපාගත් කාමරංකා ද එයට එකතුකර මිශ්‍ර කරන්න.

ඉන්පසුව එය පියනෙන් වසා මඳගින්නේ තම්බා ගන්න. හොඳින් තැම්බුණු කාමරංකා මිශ්‍රණයට මිටිකිරි ස්වල්පයක් එකතුකර උතුරවා ළිපෙන් ඉවතට ගන්න.

 

 

ඉදිරිපත් කිරීම:

කුසුම් කන්කානම්ගේ

-------------------------------------

අමුකහ, ඉඟුරු, කොච්චි මිරිස් අච්චාරුව

දේශීය අමුද්‍රව්‍ය එකතුකර ගනිමින් වෙනස්ම රසයකට සෑදූ අච්චාරුවකි මේ. සැරට කන්න වැඩි කැමැත්තක් දක්වන අයට මේ අච්චාරුව දිව පිනවන රසයක් ගෙන දෙන බව කිව හැකියි. සැර ගතියෙන් යුතු වුව ද ගුණයෙන් ද ඉහළ අච්චාරුවක් ලෙසින් මෙය හඳුන්වා දීමට පුළුවන්.

සාමාන්‍යයෙන් බොහෝ නිවෙස්වල කොච්චි ගහක් දෙකක් නැති වෙන්නේ කලාතුරකින්. කොච්චි සැරබව විතරක් හඳුනාගෙන සිටියත් ඒවායෙහි බොහෝ පෝෂණ කොටස් ගැබ්ව තිබෙනවා. මේ නිසා කොච්චි ආහාරයට එක්කර ගැනීම නිරෝගී බවට රුකුලක්. ඉඟුරු හා අමුකහවල ඇති ගුණය ගැන ඔබට අපි විටින් විට තරුණී ඔස්සේ ම දැනුවත්කර තිබෙනවා.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ:

විවිධ වර්ගයේ කොච්චි සහ මිරිස් ග්‍රෑම් 400-500 ක් පමණ

අමු කහ ග්‍රෑම් 50ක් පමණ

ඉඟුරු ග්‍රෑම් 50ක් පමණ

මිරිස් කුඩු තේහැඳි 2ක් පමණ

අමු තුනපහ තේහැඳි 2ක් පමණ

මහදුරු කුඩු තේහැඳි 1 ක් පමණ

අබ ඇට තේ හැඳි 2ක් පමණ

බැදගත් මහදුරු තේහැඳි 2ක් පමණ

උළුහාල් තේහැඳි 1 ක් පමණ

ගම්මිරිස් ස්වල්පයක්

විනාකිරි මේස හැඳි 2ක් පමණ

ලුණු රස අනුව

අබ තෙල් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 2ක්

 

අච්චාරුව හදමු:

මැටි හට්ටියක් ළිප තබා එයට අබ තෙල් දමා රත්වන්නට ළිප තබන්න. එයට අමු තුනපහ කුඩු, අබ ඇට, මහදුරු කුඩු දමන්න. දැන් මෙම තුනපහ මිශ්‍රණයට සිහින් පෙති ලෙස කපා ගත් ඉඟුරු සහ අමුකහ එකතු කරන්න. පසුව කොච්චි සහ මිරිස් ද මෙම මිශ්‍රණයට එකතු කරන්න. කබලේ බැදගත් මහදුරු උළුහාල්, ගම්මිරිස් එකතු කරන්න. අවසානයට විනාකිරි, සීනි හා රස අනුව ලුණු ද එකතු කරන්න. ලුණු ඇඹුල් පදම බලා ළිපෙන් බාගන්න.

මේ අච්චාරුව ගෑවුණත් බත් පතේ රසය දෙගුණ වන බව ඔබට දැනේවි.

 

 

ඉදිරිපත් කිරීම

චතුරිකා ලක්මිණී

 

--------------------------

සිරුර සිසිල් කරන ලබු නියඹලාව

බොහෝ දෙනෙක් ලබුවලට වැඩි කැමැත්තක් නොදක්වන්නේ එහි වැඩි රසයක් නැතැයි පවසිමිනි. ඒත් රසවත්ව ලබු නියඹලාවක් සකසා එහි රස බැලූ විට ලබු ගෙඩියක අගය ඔබට වැඩියෙන් දැනේවි. සිරුර සිසිල් කරන ගුණයෙන් යුතු ලබු මුත්‍රා ආසාදන මෙන්ම බොහෝ ලෙඩ රෝගවලට ගුණ දෙන පෝෂණීය ආහාරයකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

සාමාන්‍ය ප්‍රමාණයේ ලබු

ගෙඩියක්

සුදු ලූනු බික් දෙකක් පමණ

රතු ලූණු ගෙඩි දෙක තුනක්

අබ ඇට තේ හැඳි 1/2ක්

ගම්මිරිස් ඇට හෝ කුඩු

තේහැඳි 1/2 ක්

අමු මිරිස් කරල් 1-2 ක්

කහ තේ හැන්දක්

ලුණු ස්වල්පයක්

ගාගත් පොල් මේස හැඳි 2ක්

මිටිකිරි කෝප්ප 1/2ක්

දියකිරි කෝප්පයක්

කරපිංචා, රම්පෙ

කුරුඳු පොතු කැබැල්ලක්

 

 

එය සාදන්නේ

මෙලෙසයි:

පොල් මේස හැඳි එකක් සහ අබ, ගම්මිරිස්, සුදු ලූනු වංගෙඩියක දමා කොටා ගන්න. නැතිනම් ග්‍රයින්ඩරයෙන් අඹරා ගන්න. ලබු ගෙඩියේ පොතු ඉවත්කර කුඩා කැබැලිවලට කපා ගන්න.

අඹරාගත් අබ, ගම්මිරිස් පේස්ට් එකට ලබු කැබැලි දමා දියකිරි ද එකතුකර හොඳින් පේස්ට් එක දියවනසේ මිශ්‍රකර ළිපේ තබන්න. අමු මිරිස් දෙකට පලා එයද මේ මිශ්‍රණයට දමන්න. කහ, කරපිංචා, රම්පෙ, සිහින්ව ලියා ගත් ලූනු හා කුරුඳු පොතු ද එකතු කරන්න.

ලබු කැබැලි මෙෙළක් වී හොඳින් තැම්බෙන සේ විනාඩි 15ක් පමණ තම්බා ගන්න. අවසානයට මිටිකිරි සහ රස අනුව ලුණු එකතුකර මඳ ගින්නේ විනාඩි පහක පමණ කාලයක් තබා උතුරවා ළිපෙන් ඉවතට ගන්න.

 

 

ඉදිරිපත් කිරීම

රේෂානි ජයවර්ධන

 

--------------------------

අපෙන් ගිලිහී යන කළුපොල් සම්බෝලය

අපේ මුතුන් මිත්තන් රසවත් ආහාර බොහොමයක රස විඳි ඇත්තන් ය. එහෙත් අද වන විට බටහිර ආහාර සංස්කෘතියට අනුගත වීමත් සමඟම අප බොහෝ දෙනාට ඒ අතීත රසවත් ආහාර මතකයෙන් බැහැරව ගොස් ඇත.

 

මේ කළුපොල් සම්බෝලය නැතිනම් වලව්වේ සම්බෝලය ලෙසින් හැඳින්වෙන රසවත් සම්බෝලය ද ඒ අතර වේ.

බත්, අල වර්ග, රොටී වර්ග ආදී ඕනෑම ආහාරයක් රස විඳීමට එක්කර ගත හැකි රසවත් ආහාරයක් ලෙස කළුපොල් සම්බොලය හැඳින්විය හැකියි.

එහෙම නම් ඔබටත් මේ රසවත් සම්බෝලය සාදා රස විඳීමට අපි එය ඔබට ඉදිරිපත් කරන්නෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

පොල් බෑයක ගලවා ගත් පොල්

වියළි මිරිස් කරල් කිහිපයක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

ගම්මිරිස් ඇට කිහිපයක්

අමු මිරිස් කරල් 1-2ක්

සුදු ලූනු බික් 1ක්

උම්බලකඩ ස්වල්පයක්

දෙහි යුෂ

රස අනුව ලුණු

 

සම්බෝලය හදමු:

පළමුවෙන් ම මිරිස් කරල් ටික ගිනි අඟුරු උඩ සාමාන්‍ය ප්‍රමාණයට පුච්චා ගන්න. කැබැලිවලට කපාගත් පොල් ද ගිනි අඟුරු උඩ දමා පුච්චා ගන්න. දර ළිපක් නොමැති නම් මේවා සුවඳ වී රන්වන් පැහැ වන තෙක් වෙන වෙනම කබලේ බැද ගන්න. එසේත් නැතිනම් මේවා බාබක්‍යු කූරක අමුණා ගෑස් ළිපේ පුච්චා ගත හැකියි.

ඉන් පසුව මිරිස් කරල්, ගම්මිරිස් ඇට, අමු මිරිස්, සුදු ලූනු, පොල්, ලුණු ස්වල්පයක් ද දමා ගලේ අඹරා ගන්න. උම්බලකඩ ද යන්තමින් තලා ගන්න. ලූනු ද ගලේ තලා සම්බෝලයට එක්කර ගන්න. අවසානයේ දී දෙහි යුෂ ස්වල්පයක් දමා රස බලන්න.

අවශ්‍ය නම් තෙල් ස්වල්පයක් දැමූ බඳුනක් ළිප තබා එයට අබ ඇට ටිකක් දමා පුපුරන විට සම්බෝලය එයට දමා තෙම්පරාදු කරගත හැකියි. එයින් මෙහි රසය තවත් වැඩි විය හැකියි. එසේ කරනවා නම් දෙහි යුෂ තෙම්පරාදුවෙන් පසුව එකතු කරන්න.

මිරිස් ගල් නැති අයට මෙය වංගෙඩියේ දමා කොටා ගැනීමට ද හැකියි. නහයට මිහිරි සුවඳක් ද ගෙන එන මේ රසවත් සම්බෝලය ඉඳහිට හෝ සාදා රස බලන්න.

වියළි පොල් ඇතැම් විට බිඳින විට ම කටුවෙන් ගැළවෙන අවස්ථා ඔබත් අත්විඳ ඇති එවැනි විටෙක ඒ ගැන දුක් නොවී ඔබට පහසුවෙන් ම කළුපොල් සම්බෝලයක් සාදා ගත හැකියි.

ඉදිරිපත් කිරීම

ශ්‍යාමලී රාජපක්ෂ

---------------------------

අළු කෙසෙල් මැල්ලුම

අළු කෙසෙල් හදන්න තියෙන්නේ ක්‍රම දෙක තුනක් යැයි සිතන බොහෝ දෙනෙක් එයට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් බලන්න අළු කෙසෙල් මැල්ලුමක් බත් වේලකට ගෙන දෙන රසවත් බව. සිරුර සිසිල් කරන අළු කෙසෙල් මින් පසුව පවුලේ රසවත්ම ආහාර අතරට එක්වනු නිසැකයි.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ:

අළු කෙසෙල් ගෙඩි කිහිපයක්

පොල් ස්වල්පයක්

කරපිංචා ඉත්තක්

රතු ලූනු ගෙඩි 2-3ක්

අමු මිරිස් හෝ නයි මිරිස් කරලක් දෙකක්

උම්බලකඩ ස්වල්පයක්

පොල් තෙල් ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

අබ ඇට ටිකක්

ගම්මිරිස් ස්වල්පයක්

ලුණු රස අනුව

 

දැන් මැල්ලුම හදමු:

පළමුවෙන් ම අළුකෙසෙල් සෝදා ලෙලි ඉවත්කර කොටු හැඩයට කපා ගන්න. දැන් ඒ කපාගත් අළු කෙසෙල්වලට වතුර ස්වල්පයක් (ඉතා කුඩා ප්‍රමාණයක්) හා ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. මෙය බෙරි නොවන සේ තම්බා ගත යුතුයි. තැම්බුණු පසුව වතුර බේරා මෙය පැත්තකින් තබන්න.

අළු කෙසෙල් ප්‍රමාණයට සරිලන සේ ගත් පොල් වලට කරපිංචා, රතු ලූනු, අමු මිරිස්, නයි මිරිස්, උම්බලකඩ, කහ කුඩු, ලුණු ස්වල්පයක් ද එකතුකර ගලේ දමා අඹරා ගන්න. නැතිනම් වංගෙඩියක කොටා ගන්න. (කොස් මැල්ලුමට මෙන්)

දැන් සාදා ගත් පොල් මිශ්‍රණය අළුකෙසෙල් එකට දමා මිශ්‍ර කරන්න.

භාජනයක් ළිප තබා තෙල් තේ හැදි 2ක් පමණ දමා අබ ඇට ස්වල්පයක් දමා අබ පුපුරන විට එයට අලු කෙසෙල් මිශ්‍රණය දමන්න. දැන් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා මිශ්‍රකර ගන්න. ලුණු රස බලා මදි නම් රස අනුව ලුණු එකතු කරගන්න. මද ගින්නේ විනාඩි 3ක පමණ වේලාවක් තබා ළිපෙන් ඉවතට ගන්න.

 

 

ඉදිරිපත් කිරීම

නයනාප්‍රභා ජයසිංහ

 

----------------

දිව පිනවන ගෝවා සම්බෝලය

ගෝවා කිරට, තෙලට රස විඳ ඇතත් ඔබ ගෝවා සම්බෝලයක් නම් රසවිඳ නැතුවාට සැක නැහැ.

එකම ආකාරයට ආහාර ගැනීමට අකැමැති පවුලේ සාමාජිකයන්ට වෙනස් රසයක් ගෙන දීමට මේ ගෝවා සම්බෝලය සමත් වේවි. පහසුවෙන් සකසා ගතහැකි වීම නිසා එය ඔබේ කාලය ද ඉතිරි කරයි.

අවශ්‍ය වන්නේ:

හොඳ ගෝවා ගෙඩියක ළපටි ගෝවා කොළ කිහිපයක්

ගා ගත් පොල් ස්වල්පයක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

අමු මිරිස් කරල් 1-2ක්

වියළි මිරිස් කරල් 2-3ක්

රස අනුව ලුණු

දෙහි යුෂ

 

මෙලෙසින් සාදා ගනිමු:

ගෝවා කොළ ලුණු වතුරෙන් හොඳින් සෝදාගෙන සිහින්ව ලියා ගන්න. වියළි මිරිස් කරල් පුලුස්සා ගන්න. ලියා ගත් ගෝවාවලට ගා ගත් පොල්, සිහින්ව ලියා ගත් රතු ලූනු, අමු මිරිස් හා පුලුස්සා ගත් වියළි මිරිස් කරල් (පොඩි කර) , රස අනුව ලුණු එකතු කරන්න. දැන් මෙය හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ දී දෙහි යුෂ දමා මිශ්‍රකර ගන්න.

අවශ්‍ය නම් පමණක් මෙයට උම්බලකඩ ද එකතුකර ගත හැකිය. පහසුවෙන් හා ඉක්මනින් සාදා ගත හැකි මේ ගෝවා සම්බෝලය සාදා රස විඳ බලන්න.

ඉදිරිපත් කිරීම

සමන්ත කුමාර

-----------------------------

 

කාමරංකා චට්නි

මේ කාලයේ කාමරංකා ගස් යට වැටී යන තරමටම ගස්වල පිරී ඉතිරිලා. වැඩියෙන් තියෙන කාමරංකා ගෙඩි කිහිපයකින් චට්නියක් සාදා ගත්තොත් එය දින කිහිපයක්ම කල් තබාගෙන ඔබට රස බැලිය හැකියි.

බත් පතට වෙනස් රසයක් තිබුණා නම් යැයි හිතෙන දවසකට කාමරංකා චට්නි හැන්දක් ඔබේ ඒ පැතුම ඉටු කරාවි.

චට්නියට අවශ්‍ය ද්‍රව්‍ය:

බාගෙට ඉදීගෙන එන ලොකු කාමරංකා ගෙඩි අටක් පමණ

සීනි කෝප්පයක්

විනාකිරි කෝප්පයක්

කෑලි මිරිස් තේ හැන්දක් පමණ (පුරවා ගත්)

මිරිස් කුඩු තේ හැඳි දෙකක් පමණ (පුරවා ගත්)

රස අනුව ලුණු

දැන් අපි චට්නිය හදමු:

කාමරංකා ගෙඩි කැබැලිවලට කපා ඇතුළේ ඇති ඇට කොටස් ඉවත්කර බ්ලෙන්ඩරයට දමා ගන්න. එයට ම සීනි කෝප්පය හා විනාකිරි කෝප්පය දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

ඉන්පසුව මැටි ඇතිළියක් ගෙන සාදා ගත් මිශ්‍රණය එයට දමා කෑලි මිරිස්, මිරිස් කුඩු හා ලුණු එකතුකර මඳ ගින්නේ හැඳිගාමින් හින්දවා ගන්න. මෙයට ඔබේ රසයට අනුව මිරිස් ප්‍රමාණය අඩුවැඩි කරගත හැකිය. ලුණු රස බලා ළිපෙන් ඉවත්කර ගන්න. ජීවානුහරණය කළ බඳුනක අසුරා තැබීමෙන් කාලයක් තබාගෙන රසබැලිය හැකියි. පහසුවෙන් හා ඉක්මනින් සාදා ගත හැකි නිසාත් ඉතාමත් අඩු වියදමකින් සකසා ගත හැකි රසවත් චට්නියක් නිසාත් මෙය ගෘහණියන්ට ප්‍රයෝජනවත් වේවි.

ඉදිරිපත් කිරීම -

දුල්ෂිකා මදුරප්පෙරුම

**************************

වෙනස් විදියක කෙසෙල්මුව බැදුමක්

ආහාර නාස්තිය අවම කළ යුතු කාලයක එය අනවශ්‍ය නාස්තියක් බව ඔබට දැනුණා නම් මේ ආහාර වට්ටෝරුව ඔබට වැදගත් වේවි. එම අපතේ දමන කෙසෙල් මුව පෙතිවලින් සකසන බැදුම රසයෙන්වත් ගුණයෙන්වත් කිසිම වෙනසක් නැත. කෙසෙල්මුවයක් ලැබුණු විට මේ අත්දැකීම ඔබටම ලබා ගත හැකි වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

දිගහැරෙන කෙසෙල්මුවේ පෙති කිහිපයක්

අයිස් වතුර හෝ අයිස් කැට කිහිපයක්

තෙල් මේස හැන්දක් පමණ

උම්බලකඩ කැබැලි ස්වල්පයක්

බී ලූනු ලොකු ගෙඩියක්

රම්පෙ, කරපිංචා

අමුමිරිස් කරල් 1-2ක් පමණ

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කහ ඉතා කුඩා ප්‍රමාණයක්

කෑලි මිරිස් අවශ්‍ය පමණට (මෙය තමාගේ රස අනුව එකතු කරන්න)

රස අනුව ලුණු

දෙහි යුෂ ස්වල්පයක්

 

සාදන්නේ මේ ආකාරයටයි:

පළමුවෙන් ම කෙසෙල්මුවයේ දිග හැරුණු පෙති ටික ගෙන ඒවා හොඳින් සෝදා වතුර බේරෙන්නට බඳුනක කෙලින් අතට තබන්න. ඉන්පසුව මේවා තීරුවලට කපා බී ලූනු කපන ආකාරයට සිහින්ව ලියා ගන්න. කපාගත් කෙසෙල්මුව පෙතිවලට අයිස්වතුර හෝ අයිස් කැට දමා තබා පසුව මිරිකා දියහැර ගන්න. හැකිනම් රෙද්දකින් තෙතමාත්තු කරගන්න.

තාච්චියක් ළිප තබා එයට පොල් තෙල් මේස හැන්දක් පමණ දමා රත්වෙන්නට තබන්න. පසුව එයට රම්පෙ, කරපිංචා, උම්බලකඩ කැබැලි, ලියාගත් බී ලූනු හා කෙසෙල්මුව, අමු මිරිස්, ගම්මිරිස් කුඩු, කහ, කෑලි මිරිස් හා ලුණු ස්වල්පයක් දමා හොඳින් කළවම් කරන්න. මෙය මඳ වේලාවක් තැම්බෙන්නට වසා තබන්න.

ළිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ ස්වල්පයක් එක්කර ගැනීමෙන් වැඩි රසයක් ලැබේ. සීනි ස්වල්පයක් එක්කර ගත් විට මෙය සීනි සම්බෝලයක් ලෙසින්ද ආහාරයට ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම -

ශිරෝමි ගජනායක