එන්න කන්න රස ඉතිරෙන පැපොල් කේක්

මේක නම් පුදුමයක්.. !
අගෝස්තු 25, 2021

පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නෙ ලොකු කුඩා කාටත් ගුණදායක පලතුරක්. නමුත් මේවට පුංචි දරුවො නම් කැමැති නැහැ.

ඒත් ඔවුන් කේක් කන්න නම් හරිම රුසියො.

ඉතිං පුංචි දරුවන්ට වගේම වැඩිහිටි ඔයාලටත් කන්න පුළුවන් විදිහට පැපොල් සහ පොල් එකතුකර කේක් එකක් මේ විදිහට හදමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මේ සඳහා පැපොල් යොදා ගැනීමේදී හොඳින් ඉදී නැති නමුත් ළා කහ පැහැය ගත් පැපොල් ගෙඩියක් ගන්න.

බටර් ග්‍රෑම් 115ක්

සීනි ග්‍රෑම් 115ක්

පිටි ග්‍රෑම් 115ක්

බිත්තර 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 11/2ක්

නැවුම් කිරි කෝප්ප 1/2ක්

ග්‍රේට් කරගත් පැපොල් ග්‍රෑම් 100ක්

වියළි පොල් ග්‍රෑම් 75ක් ( ගා ගත් පොල් තෙත හිඳෙන තුරු කබලේ බැඳ ගන්න.)

කෝන් පිටි ග්‍රෑම් 50ක්

පැණි මේස හැඳි 4-5 ක්

 

සාදන ක්‍රමය

 

පළමුව පිටි සහ බේකිං පවුඩර් එකට මිශ්‍ර කර හලාගන්න. ඉන්පසු බටර් සහ සීනි බඳුනකට දමා බීට කරන්න. එයටම බිත්තර එකින් එක දමමින් බීට කරන්න. නැවුම් කිරි කෝප්ප 1/2 ද එයට එකතු කරන්න. දැන් හලාගත් පිටි මිශ්‍රණය එයට එකතුකර හැන්දකින් කලවම් කරන්න. වියළි පොල් සහ ග්‍රේට් කරගත් පැපොල්වලට කෝන්ෆ්ලා කලවම්කර එය ද එකතු කරන්න.

පසුව අඟල් 7x7 හතරැස් තැටියක් හෝ රවුම් තැටියක් ගෙන එයට තෙල් කඩදාසියක් දමා සකස් කර කේක් මිශ්‍රණය දමා ගන්න. දැන් සෙල්සියස් අංශක 160 ට සකසා රත් කරගත් අවන් එකකට දමා විනාඩි 45ක්-60ක් අතර කාලයක් බේක් කරගන්න. කේක් එක බේක් වූ පසු තැටියෙන් ඉවතට ගෙන පැණි ටික කේක් එක උඩට වත්කරගන්න

 

 

උපදෙස් -

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

සුනේත්‍රා ඒකනායක