රෝග නසන ප්‍රතිශක්තිය වඩන පෝෂණය පිරුණු අපෙන් ඈත්වූ ගැමි කෑම

ඔක්තෝබර් 13, 2021

නාගරීකරණය, ඊටත් පස්සෙ විශ්ව ගම්මානය….. මේ දේවල්වලට ලොල්වුණු ලාංකේය අපිට අපේම කියන බොහොමයක් දේවල් මඟ හැරුණා.

සමහරක් දේවල් සදාකාලිකව අපිට අහිමි වුණා. තවත් දේවල් අමතක වෙලාම ගියා. මේ අතර අපි කෑමට ගත්, අපේ දෛනික ආහාර වේල රස ගැන්වූ කෑම බොහොමයක් අපෙන් ඈත් වුණා. මේවා රෝග නසන, ප්‍රතිශක්තිය වඩන, පෝෂණය පිරුණු කෑම වර්ගයි.

අපෙන් ඈත්වූ මේ ගැමි කෑම නැවතත් ලාංකේය ඔබට සමීප කරන්න ඔබේ ආදරණීය තරුණී පුවත්පත නොමඳ වෙහෙසක් ගන්නවා. ඒ වෙනුවෙන් අපි රසාර කෑම අතිරේක ඔබට තිළිණ කරනවා. ඒ වගේම ඒ රසවත් ගැමි කෑම හදන්න අපේ ආදරණීය සූපවේදිනියක් ද නොමඳ වෙහෙසක් දරනවා. ඇය තිලානි විතානගේ. ලංකාව පුරා විසිරී හිඳින ඈ දන්නා හඳුනන අයගෙන් විස්තර සොයමින් මේ රසවත් කෑම සකසා ලෝකයටම ගෙන යාම ඇගේ අරමුණයි. එසේ නම් ඔබත් ඈ අතින් සැකසුණු මේ කෑම සකසා රස විඳින්න.

 

 

ඡායාරූප හා උපදෙස්

සූපවේදිනී -

තිලානි විතානගේ

 

උණු අළු පල්ලේ පුච්චපු  කෙසෙල් මුහ ඇඹුල

 

 

මෙය උතුරු මැද පළාතේ අපේ පැරැන්නන් හදපු රසවත් දේශීය කෑමක්.බත් හෝ ඉඳිආප්ප එක්ක කන්න පුළුවන්. හරිම රසවත් ව්‍යංජනයකි

 

අවශ්‍ය වන්නේ

කුඩා කෙසෙල් මුහක්

තළාගත් සුදු ලුනු

ලියාගත් රතුලූනු

ලියාගත් අමු මිරිස් හෝ නයි මිරිස්

උම්බලකඩ කුඩු ස්වල්පයක් (අවශ්‍ය නම්)

කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා

බැදපු තුනපහ කුඩු ඔබේ රස පදමට

සියඹලා යුෂ තේ හැඳි 1/2ක්

කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්

මිටිකිරි කෝප්පයක්

රස අනුව ලුණු

 

හදන්නේ මෙහෙමයි

පළමුව කෙසෙල් මුහේ උඩින්ම ඇති කොළ ගලවා ශුද්ධ කර ගන්න.

ඊට පසු ගිනි අඟුරුවල දමා පෙරලමින් විනාඩි 15ක් පමණ කෙසෙල් මුහ පුච්චා ගන්න. ගෑරප්පුවකින් අනින විට මැද තැම්බී තියෙන බව පේනවා.

පුච්චා ගත් කෙසෙල් මුහ ලුණු මිශ්‍ර වතුරෙන් හොඳින් සෝදා මිරිකා කුඩා කුට්ටි කපා ගන්න. දැන් මැටි හට්ටියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් රත් කර අබ දමා පුපුරුවා ගන්න.

එයටම පොල්කිරි හැර තළාගත් සුදු ලූනු ඇතුළු අනෙකුත් ලියාගත් කළමනා සියල්ලක්ම එකතු කොට මඳ ගින්දරේ ටික වේලාවක් තෙම්පරාදු කරන්න.

හැන්දකින් තක්කාලි ටික පොඩි කරන්න. සියඹලා යුෂ හා උම්බලකඩ දානවා නම් ඒවත් එකතු කරන්න.

දැන් එයට කුට්ටි කපාගත් කෙසෙල් මුහ ටික දමා තවත් ටික වෙලාවක් තෙම්පරාදු කර මිටිකිරි එකතුකර මඳ ගින්නේ තෙල් පෑදෙන තුරු පිස ගන්න. ලුණු ඇඹුල් තුනපහ මදි නම් එකතු කරන්න.

-----------------------

 

තල මාළුව/ව්‍යාංජනය

මෙයත් උතුරු මැද පළාතේ අපේ පැරැන්නන් ආහාරයට ගත්ත රසවත් කෑම වර්ගයකි. මේ ව්‍යංජනය කිරි රසයෙන් යුක්තයි. මේ තල මාළුවට හාල්මැස්සන් එකතු කරලා හදා ගන්නත් පුළුවන්.

ඒ වගේම කළු පැහැති තල භාවිත කරන්නත් පුළුවන්. සුදු තල රසයෙන් වැඩියි. සුපර් මාර්කට් එකකින් සුදු තල පැකට් එකක් අරන් හදන්නට හැකියි. නැත්නම් තලවල වැලි තියෙන නිසා හොඳින් සෝදා ගරා භාවිතයට ගන්න ඕනේ.

 

අවශ්‍ය වන්නේ

තල ග්‍රෑම් 50ක්

නැවුම් පොල් මේස හැඳි 2ක්

ලියාගත් බී ලූනු, කරපිංචා හා රම්පේ

කහ, අමු තුනපහ කුඩු හා මිරිස් කුඩු ස්වල්පය බැගින්

දියකිරි කෝප්පයක් හා

මිටිකිරි කෝප්පයක්

කුඩාවට කපාගත් ඉදුණු

තක්කාලි ගෙඩියක්

ලුණු කුඩු ඔබේ රස අනුව

කුඩාවට කපාගත්

වියළි මිරිස් කරලක්

සුදුලූනු බික් 2ක් හා

නයි මිරිස් කරලක්

අබ ස්වල්පයක්

තෙල් මේස හැන්දක්

අවශ්‍ය නම් පිරිසුදු කරගත් හාල්මැස්සන් ටිකක්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම සෝදා පිරිසුදු කරගත් තල ටික, පොල්, කහ, ලුණු කුඩු, සුදු ලූනු බික් හා නයි මිරිස් කරල එකට දමා මිරිස් ගලේ හොඳින් අඹරා ගන්න.

දැන් ඒ මිශ්‍රණය මැටි වළඳකට දමා ඒකටම තුනපහ සහ මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතුකරන්න. රම්පේ, කරපිංචා, බී ලූනු ද දමා දියකිරි එකතු කර ළිපේ තියා හොද්ද අඩු වෙනකම් පිස ගන්න. පියනකින් වහන්න එපා.හොද්ද අඩු උනහම ළිපෙන් අරන් පසෙකින් තබා ගන්න.

නැවතත් මැටි හට්ටියක් ළිපේ තියා රත් කර තෙල් ටික දමන්න. ඒකට අබ ටිකක් දමා පුපුරුවා වියළි මිරිස් හා තක්කාලි එකතුකර බැදෙන්න හරින්න. ඒ ගමන්ම හැන්දකින් තක්කාලි ටික පොඩි කරන්න. (හාල් මැස්සන් එකතු කරනවා නම් මේ අවස්ථාවේදී එකතු කර ගන්න පුළුවන්.)

දැන් කලින් දිය කිරෙන් තම්බා ගත් තල මිශ්‍රණය හා මිටිකිරි කෝප්පය එකතු කර ව්‍යංජනය උකු වෙනකම් මඳ ගින්නේ පිසින්න. ලුණු පදම බලා උණුවෙන්ම බත්, පාන් වගේ ඕනෑම දෙයක් එක්ක රස විඳින්න.

-------------------------------------

මුස්සැන්දා/බුත්සරණ පෙති පපඩම් නොහොත් කැලෑ පපඩම්

"මුස්සැන්දා" කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ ගෙවල්වල ලස්සනට වවන මල් ගහක් නේද..? ඒත් මේ ඒ මුස්සැන්දා මල් නම් නෙමෙයි.

අන්තර්ජාලයේ සොයා බැලූ විටත් මේ මුස්සැන්දා ගැන කොහේවත් සඳහන් වෙන්නේ නෑ. එහි සඳහන් වෙන්නේ අලංකාරයට වවන මුස්සැන්දා ගැන වුණත් මේක අපේ පැරැන්නන් කාපු කෑමක්. මේ මුස්සැන්දා හැදෙන්නේ වන වදුලු හා කැලෑ බදවයි. අලංකාරයට වවන මුස්සැන්දා මල් පෙති පොකුරු වශයෙන් හැදුනත් මෙහි මල් පෙති තිබෙන්නේ තැනින් තැන. කිරි රසයෙන් යුත් මේ පෙතිවලට බුත්සරණ කියලත් කියනවාලූ. ඒ වගේම, මේ කෑම ගැන කියපු යාළුවා පොඩි කාලේ ඒවට කිව්වේ "කැලෑ පපඩම්" කියලාලු.

අවශ්‍ය වන්නේ

මුස්සැන්දා පෙති අවශ්‍ය පමණට (මේ සඳහා මඳක් ලොකු සහ සුදු පාට පෙති තමයි තෝරා ගන්න ඕනේ)

පාන්පිටි මේස හැඳි 2ක්

ලුණු ඔබේ රස පදමට

බැදීමට තෙල්

පාන් කුඩු

බිත්තරයක්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම මුස්සැන්දා පෙති ටික ලුණු වතුරෙන් සෝදා වතුර බේරෙන්න තියන්න.

දැන් බැටර් එක හදා ගනිමු. පාන්පිටි හා බිත්තරය භාජනයකට දමා ලුණු එකතු කර වතුර ස්වල්පයක් දමා හැන්දකින් මිශ්‍ර කරමින් කට්ලට් දවටනයට වඩා ටිකක් ඝනකමින් යුත් බැටර් එකක් හදා ගන්න.

දැන් පරිස්සමට මුස්සැන්දා පෙති එක බැගින් ගෙන බැටර් එකේ දමා ඊට පස්සේ පාන් කුඩුවල තවරා එකවර කොළ 2ක් වගේ ගැඹුරු තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

-------------------------

පතරාජ/ලෝලු මල් තෙම්පරාදුව

ලෝලු/පතරාජ ඇඹුල, ව්‍යාංජනය හෝ තෙම්පරාදු කරලා හදා ගන්නේ මෙම ශාකයෙහි කහ පැහැයට හුරු මාංසල පෙතිවලින් යුක්ත මල්. මේවා කොස් ඇට, අමු කජු හා කිරි අල දමා උයනවා කියලා බලංගොඩ පැත්තේ යාළුවෙක් කිව්වා. එක එක පළාත්වල මේ මල් හදන්නේ එකිනෙකට වෙනස් විදිහටයි.

ඒ වගේම පතරාජ ගෙඩි පෝෂණ ගුණ සපිරි පලතුරක්. ඒ කාලේ ග්‍රාමීය පාසල් යන කුඩා දරුවන් පින්තුර ඇලවීමට යොදා ගත්තේ ලෝලු ගෙඩියෙන් ගත් "ලෝලු මැලියම්". ඒ වගේම ලෝලු ලීය ගෘහ භාණ්ඩ සහ ලී කැටයම් සඳහා ද යොදා ගනු ලබනවා.

සමහර පර්යේෂකයන් ලෝලු අක්මාවේ ඇතිවන අර්බුදවලින් එය වළක්වන බව කියන අතර, තවත් අයෙක් අක්මාවේ අර්බුද ඇති කිරීමට බලපාන රසායනික එහි ඇති බවත් පවසනවා.

අවශ්‍ය වන්නේ

පතරාජ මල් දෙමිටක්

අබ ස්වල්පයක්

තළාගත් සුදු ලූනු

ලියාගත් බී ලූනු හා අමුමිරිස්

කපාගත් හොඳින් ඉදුණු

තක්කාලි ගෙඩියක්

කෑලි මිරිස් ස්වල්පයක්

උම්බලකඩ කැබලි ටිකක්

පදමට ලුණු

හදන්නේ මෙහෙමයි

පතරාජ මල් හොඳින් ලුණු වතුරෙන් සෝදා වතුර බේරා ඝනකම නැටි ඉවත් කරන්න.භාජනයක් ළිපේ තියා ඒකට අබ දමා පුපුරුවා තළාගත් සුදු ලූනු, ලියාගත් අමුමිරිස්, ලූනු හා තක්කාලි දමා තෙම්පරාදු කරන්න. තෙම්පරාදු කරන ගමන් හැන්දකින් තක්කාලි ටික හොඳින් පොඩි කරන්න. කටම පතරාජ මල් ටිකත් එකතු කර හොඳින් මිශ්‍ර කර උම්බලකඩ හා කෑලි මිරිස් දාන්න. ටික වෙලාවක් තෙම්පරාදු කර ළිප ඕෆ් කරන්න. බත් සමඟ වෙන මොනවත් නැතුව උණුවෙන්ම රස විඳින්න පුළුවන් කෑමකි.