කටට රසට වියදම අඩුවට පොඩිත්තන්ට අලුත් ම කෑමක්

දෙසැම්බර් 6, 2021

 

කටට රසට දිව පිනවන ආහාරවලට තමයි අපි කවුරුත් කැමැති. ඒත් ඉතින් මේ දවස්වල වෙළෙඳපොළේ මිල ගණන් උහුලාගන්න බැරි තරම්. එහෙම කියලා පුංචි පැටවු රස රස දේ ඉල්ලනකොට අහක බලාගෙන ඉන්නත් බෑනේ නේද ?

ඒ වාගේම තමයි නොයෙක් වර්ගයේ රසකාරක එකතු කරලා හදන විවිධාකාරයේ කෑම වර්ග කොයිතරම් දිව පිනෙව්වත් බෝ නොවන රෝග බොහොමයකට අත වනනවා කියලයි වෛද්‍ය මතය. ඉතින් එහෙමයි කියලා කටට රසට නොකා කොහොමද ? විශේෂයෙන්ම ආප්ප, පීසා, මැකරෝනි වාගේ දෙයක් ඉඳහිට හරි රස බලන්න අපි කවුරුත් කැමැතියි.

ඉතින් ඔන්න ඒ හින්දම අපි ගෙදරදී මෙවැනි ආහාර වර්ග කිහිපයක් හදාගන්න හැටි කියල දෙන්නයි සූදානම. මෙහි තියෙන විශේෂත්වය තමයි මේ ආප්ප, පීසා දෙකම රුලංවලින් සකසා ගැනීම. ඒ වාගේම මිලාධික අමුද්‍රව්‍ය වෙනුවට මුළුතැන්ගෙයි තියෙන දේවල් භාවිත කිරීම.

 

උපදෙස් -

මුහුණු පොත හරහා වැඩිදෙනකු දන්නා හඳුනන Bhagis kitchenහි

භාග්‍යා තෙන්නකෝන්

චම්පා වරුසප්පෙරුම

 

රුලං පීසා

පීසා කියන්නෙ තරමක් මිල අධික කෑමක් කියල තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ මොකද කියනවා නම් පීසා හදන්න චීස්, සොසේජස්, මස්, බිත්තර, සෝස් වර්ග කිහිපයක් ආදී වශයෙන් කළමනා බොහොමයක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් මිල අධික කළමනා වෙනුවට වෙනත් දේ භාවිත කරල පීසා හදාගන්නත් පුළුවනි. විශේෂයෙන්ම පාන් පිටි වෙනුවට රුලං භාවිත කරලා, මස්, මාළු, සොසේජස් වෙනුවට හතු, ටෝෆු වාගේ දේවල් මිශ්‍ර කරලා හරිම රසට පීසා හදන්න පුළුවනි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

¾ ‍රුලං කෝප්ප 1/2ක්

¾ කඩල පිටි මේස හැඳි 03ක්

¾ මීකිරි හෝ යෝගට් මේස හැඳි 03ක්

¾ ලුණු කුඩු තේ හැන්දක්

¾ වතුර කෝප්ප 1/2ක්

¾ ඔරිගානෝ සහ සුදුලූනු කුඩු ටිකක් (තියෙනවා නම් පමණක්)

සාදාගන්නේ මෙහෙමයි

¾ පළමුවෙන්ම පිරිසුදු බඳුනක් අරගෙන එයට රුලං සහ කඩල පිටි ටික දමන්න. තියෙනවා නම් ඔරිගානෝ, සුදුලූනු ටිකත් එයටම දමන්න. ලුණු කුඩු ටිකත් දමලා සියල්ලම හොඳින් කලවම් කරගන්න.

¾ දැන් මේ පිටි මිශ්‍රණයට යෝගට් හෝ මීකිරි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. එයටම වතුර හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි ටිකක් දාලා ( වතුර කෝප්ප 1/2න් ටිකක් දාලා ) කලවම් කරන්න. සාමාන්‍යයෙන් අපි ආප්ප මිශ්‍රණය අනනකොට පොල් කිරි දාලා අනාගන්න පදම තියෙන්නෙ, ඒ කියන්නෙ ගොඩාක් දියාරුවටත් නැතුව තලප ගතියටත් නැතුව අනන විදිහට මිශ්‍රණය හදාගන්න. මෙය ටිකක් ගනකමට තිබිය යුතුයි.

¾ මිශ්‍රණය හදාගෙන විනාඩි 15ක් වගේ වේලාවක් වහලා පැත්තකින් තියන්න.

¾ විනාඩි 15කට පස්සෙ බඳුන ඇරලා බැලුවාම රුලං ටිකට වතුර උනලා මිශ්‍රණය ගොඩාක් උකුවෙලා වගේ තියෙනවා ඔබට බලාගන්න පුළුවනි.

¾ දැන් නැවතත් මේ මිශ්‍රණය හොඳට කලවම් කරලා ඉතිරි වතුර ටිකත් දමලා තෝසේ බැටර් එකේ ඝනකමට මිශ්‍රණය හදාගන්න.

¾ ඉන්පසුව තෝසේ පෑන් එක ළිපතබා පොල්තෙල් ස්වල්පයක් ගාන්න. අනතුරුව ඔබ සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් දාලා තෝසේ හදනවා වගේ ටිකක් ලොකුවට රොටිය හදන්න. ගින්දර ටිකක් වැඩි කරලා දෙපැත්තම දලා පුච්චා ගන්න.

¾ දෙපැත්තම හොඳින් පුලුස්සා ගත්තාට පස්සේ ගින්දර හොඳටම අඩු කරන්න. තියෙනවා නම් තක්කාලි සෝස් හරි පීසා සෝස් හරි ටිකක් ගාලා චීස් ටිකක් ඉසින්න. අමුමිරිස් ටිකක් රටලූනු ටිකක් දමලා මඳ ගින්දරේ තියන්න.

* චිස් ටික හොඳින් දිය වුණාට පස්සේ බිත්තරයක් හොඳට බිට් කරලා උඩට දාගන්න. නැවතත් බිත්තරය තැම්බෙනකම් බඳුන වහලා තියන්න. මතක ඇතුව ලුණු ගම්මිරිස් ටිකකුත් ඉසින්න.

* මේ කිව්වෙ චීස් මිශ්‍ර පීසා එකක් හදන හැටි. ඒත් ඔයාට සොසේජස්, ඉස්සෝ, දැල්ලෝ හෝ වෙනත් ඕනෙම මස් වර්ගයක් නැතිනම් හතු, ටෝෆු වාගේ දේවල් දාලා සාමාන්‍යයෙන් හදන පීසා වාගෙම හදා ගන්න පුළුවනි.

 

 

--------------------------------

රුලංවලින් ආප්ප හදමු

අපි සාමාන්‍යයෙන් ආප්ප ඒ කියන්නෙ සුදු ආප්ප , බිත්තර ආප්ප ආදිය හදන්නෙ හාල්පිටි වලින්. හැබැයි ඉතින් ඔබ දකින මේ ආප්ප හදන්න භාවිතාකරල තියෙන්නේ රුලං පිටි. හාල් පිටිවලින් හදන ආප්පවලටත් වඩා රසයි.

ඒ වාගේම වැඩි කාල වේලාවක් ගත කරන්නේ නැතිව ඉක්මනින්ම හදාගන්නත් පුළුවනි. මේ රුලං ආප්ප මිශ්‍රණය ඔබට බ්ලෙන්ඩර් එක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගැනීමේ හැකියාවත් තියෙනවා. විශේෂයෙන්ම මේ ආප්ප සඳහා යීස්ට් භාවිතා කරන්නෙත් පොඩි ප්‍රමාණයක් නිසා පොඩි පැටවුන්ටත් බය නැතුව කන්න දෙන්න පුළුවනි. ඒ වගේම රසත් හරිම ඉහළයි.

ඉතින් ඔයාලාත් හදලාම රස බලන්නකෝ.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

¾ රුලං ග්‍රෑම් 250ක්

¾ උකුම උකු පොල් කිරි

මිලිලීටර් 250ක්

¾ යීස්ට් තේ හැඳි 1/2ක්

¾ පොල් වතුර මේස හැඳි

දෙකක් හෝ කෝප්ප 1/4ක්

¾ සීනි තේ හැඳි 2 1/2ක්

¾ පොඩි බටර් රස්ක් බිස්කට් 06ක්

¾ ලුණුකුඩු තේ හැන්දක්

¾ මෙහිදී ඔබට උකු පොල්කිරි සකසා ගැනීමට අපහසු නම් වෙළෙඳපොළෙන් මිලදී ගත් උකු පොල් කිරි ක්‍රීම් පැකට් එකකට පොල් වතුර ටිකක් මිශ්‍රකර උකු පොල් කිරි සකසා ගන්න.

¾ පොඩි බටර් රස්ක් බිස්කට් වෙනුවට මාරි බිස්කට් 02ක් 03ක් හෝ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 02ක් එහෙමත් නැතිනම් පාන් 1/2ක් පමණ භාවිත කරන්න.

 

සාදාගන්නේ මෙහෙමයි

¾ පළමුවෙන්ම රුලං ටික පිටි වනතුරා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

¾ අනතුරුව බ්ලෙන්ඩර් කරගත් මේ රුලං පිටි, සීනි තේ හැන්දක්, පොඩි කරගත් බටර් රස්ක් බිස්කට් සහ යීස්ට් ටික දාලා එයටම පොල්වතුර ටිකත් දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න.

¾ ඉන්පසුව උකු පොල් කිරි ටිකත් දාලා නැවතත් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

¾ දැන් මේ මිශ්‍රණය පිපෙන්නට තැබිය යුතුයි. ඒ සඳහා ඔබ සකසා ගත් ආප්ප මිශ්‍රණය බඳුනකට දමා පැය 3ක් 4ක් වගේ කාලයක් පසෙකින් තබන්න. අපි යීස්ට් වැඩිපුර මිශ්‍ර නොකළ නිසා තමයි පැය 3ක් 4ක් වගේ පිපෙන්නට තැබිය යුත්තේ.

මෙහිදී යීස්ට් ටිකක් වැඩිපුර යොදනවා නම් මේතරම් කාලයක් පිපෙන්නට තැබිය යුතු නැහැ.

¾ පැය 3කට 4කට පස්සේ මේ මිශ්‍රණය හොඳට පිපිලා උකුවෙලා පොඩි පොඩි බුබුලු දාලා තියෙන හැටි ඔබට දැක බලාගන්න පුළුවනි.

හැබැයි මේ බුබුලු දියවෙලා යන්න මිශ්‍රණය හොඳට කලවම් කරන්න අමතක කරන්න එපා.

ඒ විදිහට මිශ්‍රණය හොඳට කලවම් කරලා බලද්දිත් ගොඩාක් හිල් හිල් වගේ තියෙනවා නම් තව පොල් කිරි පොඩ්ඩක් දාලා හොඳින් කලවම් කරගන්න.

¾ ආප්ප මිශ්‍රණයේ පදම බලා ගැනීමට නම් මිශ්‍රණය හැඳි ගා හැන්දේ පිට පැත්ත බලන්න. එවිට ගනකමට පටලයක් වගේ හිමීට හැන්දෙන් පහළට වැටෙනවා නම් ඒ පදම හරියටම හරි. මොකද ආප්ප මිශ්‍රණය ගොඩාක්ම දියාරු කරගන්නත් එපා.

¾ දැන් තමයි අපි ආප්ප මිශ්‍රණයට ලුණුකුඩු දාගන්න ඕනෙ.

ඒ වෙලාවට කැමැති නම් තව සීනි තේ හැන්දක් වගේ දමලා හොඳට කලවම් කරගන්න.

¾ ඒ වාගේම ඔබ කැමැති නම් මේ මිශ්‍රණයට බිත්තරයක් එකතු කරගන්නත් පුළුවනි. එවිට පහසුවෙන්ම ආප්ප ගලවාගත හැකියි.

¾ දැන් තාච්චියේ තල තෙල් ටිකක් ගාලා අඩු ගින්දරේ ‍රත් වෙන්නට තියන්න.

අනතුරුව ආප්ප මිශ්‍රණය තාච්චියට දැම්මාම ‘චාස්‘ යනුවෙන් ශබ්දයක් ආවා නම් තාච්චිය ‍රත් වුණු පදම හරි. දැන් ලස්සන ‍රවුමක් කරකවලා වහලා ආප්පය පුළුස්සා ගන්න.

¾ මුලින් ආප්ප හදනකොට තාච්චියේ හොඳට තලතෙල් ටිකක් ගාන්න. එවිට ගලවා ගන්න පහසුවෙන්ම පුළුවනි. හැබැයි ඕනෙවට වඩා තෙල් ගාන්නත් එපා. එවිට ආප්පය ඇකිලෙන්න වගේ බලනවා.

¾ ඔබ ආප්ප හදාගෙන යනකොට මිශ්‍රණය ගනකම් ගතියක් දැනෙනවා නම් විතරක් තව පොල් කිරි හෝ පොල් වතුර ටිකක් එහෙමත් නැතිනම් වතුර ටිකක් දා ගන්න. (කෝප්ප 1/4ක් පමණ)

¾ ඔබ ආප්පයේ මැද කොටස වැඩිය කන්න කැමැති නැතිනම් මිශ්‍රණය ගොඩාක් දාගන්න එපා.

මේ ආප්ප වටේ ගොඩාක් ක්‍රිස්පි මැද වැඩිය නැතුව තමා හැදෙන්නේ.

¾ ඒ වාගේම ආප්ප හදන තාච්චිය කිසිම විටෙක සබන් දාලා හෝදන්නත් එපා. එතකොට තාච්චියේ පදම නැතිවෙනවා. ආප්ප හදනකොට ඇලෙන්න ගන්නවා. ඒ නිසා ටිෂූ කඩදාසියකින් හොඳට පිසදා ෂොපින් බෑග් එකක දාලා ගැටගහලා තියාගන්න.