රෝග නසන රස ඉතිරෙන ගමේ කෑම

ජනවාරි 10, 2022

ගමේ ගොඩේ වැවෙන ගහ, කොළ, මලින් සැකසෙන ආහාර පාන වර්තමානයේ අප වෙළාගෙන අති රෝග රැසකටම සුවය සාදන ආහාරයන් ය. ඒ නිසාම තරුණී වෙතින් එවැනි ආහාර වට්ටෝරු සහිත අතිරේක ඔබ වෙත ගෙන එන්නෙමු.

මේ කෑම සැකසෙන්නේ ගැමි ආහාර රටාවකට වැඩි නැඹුරුවක් දක්වන හැමදාමත් අලුත් අලුත් අත්හදා බැලීම් කරන ගෘහණියක් ලෙස ආහාර කලාවේ වසර ගණනාවක අත්දැකීම් ඇති කාන්තාවකි.

තිලානි විතානගේ නම් වූ ඇය අතින් පවුලේ ඇත්තන්ගේ ආහාර වේලට සැකසී ඇගේම ඡායාරූපකරණයෙන් හැඩ වූ මේ රස ආහාර සකසා ඔබත් පවුලේ අය සමඟ රස විඳින්න.

පවුලේ සුවසෙත රැකගන්න.

 

ඡායාරූප හා උපදෙස් - සූපවේදිනී

තිලානි විතානගේ

 

ළපටි කෙසෙල් ගෙඩි මැල්ලුම

සමහර වෙලාවට අකලට කෙසෙල් ගස් කඩාගෙන වැටේ. එවිට එහි තියෙන ළපටි කෙසෙල් ගෙඩි පොත්ත පිටින්ම සිහින්ව ලියා කෙසෙල් මැල්ලුමක් හෝ තෙල් දාලා ආහාරයට ගන්න අපේ පැරැන්නෝ පුරුදු වී සිටියා. එය ඔබටත් මෙලෙසින් සැකසිය හැකියි.

 

අවශ්‍ය වන්නේ

 

ළපටි කෙසෙල් ගෙඩි කිහිපයක්

පොල් කෝප්ප භාගයක්

ලියාගත් කොච්චි හෝ අමුමිරිස්, සුදු ලූනු, රතු ලූනූ හා කරපිංචා

කහ ස්වල්පයක්, ගම්මිරිස් ඇට, අබ ස්වල්පයක්, රම්පේ කෑල්ලක් හා පදමට ලුණු

සෝදා පිරිසුදු කර කුඩා කැබලි කඩා ගත් හාල්මැස්සන් ටිකක් හෝ කූනිස්සන් (අවශ්‍ය නම් පමණක්)

කුරුඳු පොත්තක්

ගොරකා පේස්ට් ස්වල්පයක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම ළපටි කෙසෙල් ගෙඩි ටික පොත්ත පිටින්ම සිහින්ව ලියාගෙන ලුණු වතුරට දමා මිරිකා ගන්න. කොච්චි හෝ අමුමිරිස්, ලූනු, සුදු ලූනු, කහ සහ ගම්මිරිස් ඇට වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. එයටම පොල් හා පදමට ලුණු එකතු කර අපි සාමාන්‍ය පොල් සම්බෝලය කොටන විදිහට කොටා ගන්න.

දැන් භාජනයක් ළිපේ තියා තෙල් ස්වල්පයක් දමා රත්කර අබ එක්කර පුපුරුවා ගන්න. එයටම කරපිංචා, කුරුඳු කැබැල්ල, තක්කාලි, ගොරකා සමඟ හාල්මැස්සන් හෝ කූනිස්සන් එකතු කර මඳ ගින්දරේ ස්වල්ප වේලාවක් බැද ගන්න. එයටම සිහින්ව ලියාගත් ළපටි කෙසෙල් ටික දාමා හැන්දෙන් මිශ්‍ර කරමින් මලවන්න.

කලින් කොටාගත් පොල් මිශ්‍රණයත් එකතුකර තත්පර කිහිපයක් කූරූ ගාමින් තවත් ටිකක් මලවාගෙන ළිපෙන් අයින් කරන්න.

-----------------------------

 මොණරකුඩුම්බිය කොළ කැඳ

අවශ්‍ය වන්නේ

 

මොණරකුඩුම්බිය කොළ මිටක්

ගා ගත් නැවුම් පොල් කෝප්පයක්

සුදු කැකුළු හාල් මිටක්

පදමට ලුණු

තළාගත් සුදු ලූනු බික් 2ක්

 

හදන්නේ මෙහෙමයි

 

සුදු කැකුළු හාල් සෝදා ළිපේ තියා ඒකට තළා ගත් සුදු ලූනු එකතුකර බෙරි වෙන්න උයා ගන්න. පොල්වලට මුදුණේ ඇති මල් කොටස ඉවත් කරපු මොණරකුඩුම්බිය කොළ හා දඬු එකතුකර බ්ලෙන්ඩ් කර යුෂ පෙරා ගන්න. පොල්කිරි කොළ මිශ්‍රණයටම බෙරි වෙන්න උයා ගත් බත් ටික දමා නැවතත් බ්ලෙන්ඩ් කර ගන්න. විනාඩි කීපයක් ළිපේ තියා නොනවත්වාම හැඳි ගාමින් උතුරුවා පදමට ලුණු දාන්න. කැඳ උතුරුවා ගත් ගමන්ම වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්තම් කැඳවල ලස්සන කොළ පාට නැති වෙනවා.

 

 

ගෙවත්තේ ඉබේ වැවෙන සුදු සහ රෝස පාටට හුරු දම් පැහැති මල් මංජරියක් හට ගැනෙන මොණරකුඩුම්බිය ශාකය රුධිර පිරිසුදු කිරීමට වගේම, රුධිරයට එක්වී ඇති සියලුම විෂ ඉවත් කර පිරිසුදු කිරීමේ බලයකින් සමන්විතයි. මොණරකුඩුම්බිය ශරීරය සිසිල් කරන ගුණයෙන් ද ස්නායු දුර්වලතා ඇති අංශභාග රෝගීන්ට හා අක්ෂි රෝගීන්ට ද සුදුසුයි. ඒ වගේම, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග රැසකට හා සමේ රෝගවලට ද මොණරකුඩුම්බිය සුදුසු බව පොත්පත්වල සඳහන් වේ.

දුටු සපුටු, මඟුල් කුඹුරුවැන්න, වතු පලා, කොබෙයි කොළ යන නම්වලින් එක එක පළාත්වල හඳුන්වන මොණරකුඩුම්බිය රුධිරයේ සීනි මට්ටම පාලනය කරන අධික පෝෂණ ගුණයකින් යුතු මහා බලසම්පන්න විශ්වකර්ම ඔසුවකි. කැඳ වගේම කලවම් මැල්ලුමක් සේ සාදා ආහාරයට ගැනීමෙන් ද මෙහි ගුණ ලැබිය හැකියි.

 

----------------------------

ගැමි රසයට කුරහන් පිට්ටු

අවශ්‍ය වන්නේ

 

කුරක්කන් පිටි පීරිසි

කෝප්ප 2ක්

පදමට ලුණු

වතුර

පිට්ටු සාදා ගැනීමට කට

කුඩා මුට්ටියක්

පිරිසුදු රෙදි කැබැල්ලක් හා රෙදි පටියක්

මුට්ටිය උඩින් වැසීමට සුදුසු පියනක්

 

හදන්නේ මෙහෙමයි

 

කුරක්කන් පිටි භාජනයකට දමා එයට ලුණු පදමට එකතුකර වතුර බොහෝම ස්වල්පය බැගින් දමමින් අතින් හෙමිහිට කැට කර ගන්න. කැට සිහින් විය යුතුයි. වතුර වැඩි කර ගන්න එපා. එතකොට පිට්ටු කැට ලොකු වෙනවා. පිට්ටු කැට වියළී නැතුව තෙත් ගතියට තියෙන්නත් ඕනේ.

දැන් මුට්ටියේ කට වැහෙන්න රෙදි කෑල්ල තද නොවන සේ තබා රෙදි පටිය ආධාරයෙන් ගැට ගහන්න. පිට්ටු ටික රෙදි කෑල්ල උඩට දමා පියනින් වසා විනාඩි 30ක් පමණ මුට්ටියේ වතුර උතුරනකම් තම්බා ගන්න. පිට්ටු තැම්බීගෙන එනකොට හොඳ සුවඳක් එනවා. මේ පිට්ටු මුදවපු කිරි, කිතුල් පැණි හෝ සීනී එක්ක රස විඳින්න පුළුවනි. ඒවගේම පොල්කිරි හෝ ව්‍යාංජනයක් එක්ක රස විඳින්නටත් හැකියි.

--------------------------

ඕලු දඬු ඇඹුල

 

අවශ්‍ය වන්නේ

ළපටි ඕලු දඬු කිහිපයක්

තළාගත් සුදු ලුනු

ලියා ගත් රතුලූනු,

අමු මිරිස් හෝ නයි මිරිස්

කහ, අමු තුනපහ කුඩු,

මිරිස් කුඩු හා බැදපු

තුනපහ කුඩු ඔබේ රස

පදමට

අබ ස්වල්පයක්

කැබලි කපාගත්

ලොකු තක්කාලි ගෙඩි 2ක්

මිටිකිරි කෝප්පයක්

රස අනුව ලුණු

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම ඕලු දණ්ඩේ තියෙන තද දුඹුරු පාට කොටස නූල් ඇර ඉවත් කර කුඩා කැබලි කපා ගන්න. මඩ ඉවත් කිරීමට ඒ ටික විනාඩි 10ක් පමණ ලුණු වතුරේ දමා තබා මිරිකා ගන්න. මැටි හට්ටියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් රත් කර අබ දමා පුපුරුවා ගන්න.

එයටම ඕලු දඬු හා පොල්කිරි හැර තළාගත් සුදු ලූනු හා අනෙකුත් ලියාගත් කලමනා සියල්ලක්ම එකතු කොට මඳ ගින්දරේ ටික වේලාවක් තෙම්පරාදු කරන්න. එයටම තුනපහ වර්ග එකතු කරන්න. හැන්දකින් තක්කාලි ටික පොඩි කරන්න. ටික වේලාවකින් හොඳ සුවඳවත් තක්කාලි පේස්ට් එකක් හැදෙනවා. දැන් එයට ඕලු දඬු එකතු කර ටික වේලවක් තෙම්පරාදු කර උකු පොල්කිරි එකතු කර පිස ගන්න. ලුණු හා තුනපහ මදි නම් එකතු කරන්න. බත්, පොල් රොටී, පාන් ඕනෑම කෑමක් එක්ක කන්න පුළුවන් හරිම රසවත් ව්‍යාංජනයකි.

----------------------

නිවිති මිශ්‍ර දෙල් වෑංජනය

අවශ්‍ය වන්නේ

 

හොඳින් පැසුණු දෙල් ගෙඩියක්

තළාගත් සුදු ලූනු

ලියාගත් රතු ලූනු, අමු මිරිස්

(කොච්චි දැම්මොත් රස වැඩියි),

රම්පේ, කරපිංචා

අබ ස්වල්පයක් හා

කුරුඳු පොත්තක්

පදමට ලුණු

කහ, අමු තුනපහ

කුඩු ස්වල්පය බැගින්

මිටි කිරි සහ දිය කිරි

ලොකු කැබලි කපා ගත් නිවිති

කොළ කිහිපයක්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම පිහි තලයට පොල් තෙල් ස්වල්පයක් ගා (දෙල් කිරි ඇලෙන ගතියෙන් යුක්ත නිසයි එහෙම කරන්නේ) දෙල් ගෙඩියේ පොත්ත හැර ගන්න. ඊට පස්සේ ගෙඩිය හතරට කපා මැද නාරටිය ඉවත් කර තරමක් ලොකු කැබලි කපා ගන්න. දෙල් කැබලිවල කහ ස්වල්පයක් තවරා කහට ගතිය නැති වෙන්න තුන් පාරක් විතර හොඳින් සෝදා ගන්න.

දැන් කැබලි ටික මැටි භාජනයකට දමා, ඒකටම අබ, තළාගත් සුදු ලූනු, රතු ලූනු, රම්පේ, කරපිංචා, අමු මිරිස්, කුරුඳු පොත්ත දාන්න. දෙල් කැබලි වැහෙන්න දියකිරි ද එකතුකර තුනපහ වර්ග සියල්ලම එකතුකර පදමට ලුණු ද දමා කැබලි තැම්බෙනකම් අඩු ගින්දරේ පිසගන්න. දියකිරි හිඳීගෙන එනකොට උකු පොල්කිරි එකතුකර ලුණු පදම බලා නැවතත් ටික වේලාවක් පිස ගන්න.

එය උතුරනකොට නිවිති කැබලි දමා හැන්දෙන් මිශ්‍ර කරන්න. හොද්දේ රස්නෙට නිවිති ඉක්මන් තැම්බී සෙවල ගතියක් එන නිසා ඉක්මනින් ළිප ඕෆ් කරන්න. දෙල් පිසින විට ස්වාභාවික පැහැය රැක ගන්න ඕනේ නිසා මිරිස් කුඩු එකතු කරන්නේ නෑ. ඔබට අවශ්‍ය නම් මිරිස් කුඩු එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම දෙල් මාළුව උයා අවසානයට අබ හා වියළි මිරිස් කැබලි දමා රසවත් තෙම්පරාදුවක් දාලත් ගන්න පුළුවන්.

------------------------

කිරි අල පිති මාළුව

 

අවශ්‍ය වන්නේ

කිරි අල පිති කිහිපයක් (පිත්තේ ඇති කොළ පාට කොටස අතින් නූල් හැර ඉවත් කර සිහින් පෙති කපා ගන්න.)

ලියාගත් සුදු ලූනු, අමු මිරිස්, කොච්චි හෝ නයි මිරිස්,

රතු ලූනු, කරපිංචා, රම්පේ හා තක්කාලි

උකු පොල්කිරි මේස හැඳි 2ක්

කහ, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු හා මිරිස් කුඩු

අබ ස්වල්පයක්

ගොරකා කැබලි 2ක්

පදමට ලුණු

හදන්නේ මෙහෙමයි

මුලින්ම කිරි අල පිති ලුණු වතුරේ දමා මිරිකා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත් වෙනකොට අබ පුපුරුවා ගන්න. එයට ලියාගත් ද්‍රව්‍ය ටික දමා ටික වෙලාවක් හොඳින් තෙම්පරාදු කර ගන්න. ඒ ගමන් තක්කාලි කෑලි ටිකත් හැන්දකින් පොඩි කරන්න. දැන් කිරි අල පිති, තුනපහ වර්ග, ගොරකා සහ පොල්කිරි ටික එකතු කර ටික වේලාවක් පිස ගන්න. වැඩි වෙලාවක් ළිපේ තියන්න අවශ්‍ය නෑ.