රස විස්මය විඳගන්න හදන්න පහසු කෑමබීම

අප්‍රේල් 18, 2022

 

කොහෝ නාදය හෙමි හෙමින් වියැකී යමින් තවත් එක් සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගෙවී යනවා. මේ කාලයේ තෙල් කෑම, පැණි රස කෑම ඔබත් රස බලන්න ඇතිනේ. දැන් නම් තෙල් කෑම දැක්කත් එපා වෙනවා. ඒ නිසාම අපි වෙනසක් ගෙන දෙමින් විවිධ රසට විවිධ ආහාර වර්ග කිහිපයක් සකසා ගන්නා ආකාරය අද ගෙන එනවා.

 

මේ අතරට ප්‍රධාන ආහාර වේලට, අතුරුපසට හා තේ වේලාවට එක්කර ගත හැකි කෑම බීම අඩංගුයි. ඒ වගේම දානමාන කටුයුතුවල දී පිසිගත හැකි කෑම ද අඩංගුයි. මේවා එකිනෙකාගේ රුචිකත්වය අනුව වැඩි වියදමක් නොදරා සකසා ගත හැකි දේවල්ය.

දිය තිප්පිලි හෙවත් වතුර ගස් අපේ ළමා කාලයේ සෙල්ලම් ගෙදර පිසූ වෑංජනයකි. එහෙත් එය සැබෑ ලෙසම ආහාරයට ගත හැකි යැයි එදා අපි බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. නමුත් වතුර ගස් යනු ඖෂධීය ගුණයෙන් පිරුණු පැළෑටියකි. එය අම්ලපිත්ත රෝගයට ඔසුවක් යැයි කියැවේ. ඉතින් එහෙම නම් වත්තේ ඉබේ වැවෙන වතුර ගස්වලින් ඔබත් මේ රසැති කෑම සකසා ගන්න. මුං මස් ව්‍යාංජනය ද පෝෂණීය කෑමකි. එය නිර්මාංස අයට අගනා තෝරා ගැනීමකි.

රටඉඳි කියන්නේ අපි කවුරුත් ආසා කරන පැණි රස පලතුරක්. පැණි පිරුණු රටඉඳි කාලා ඇටය විසිකරන්නයි අපේ පුරුද්ද. ඒත් ඔබ දනන්වා ද? රටඉඳි ඇට කබලේ බැද කුඩුකර කෝපි සේ සකසා පානය කළ හැකි බව. ඒ විස්මයත් මේ අතිරේකය ඔබට කියා දෙනවා. දන්දිල හැලප, බීට්රූට වඩේ ආදී ඔබ නොහිතන කෑමත් මේ අතිරේකයේ තිබෙනවා. ඔන්න, එහෙම නම් ඔබත් මේවා සාදා මේ අපූර්ව රසයන් විඳගන්න.

 

 

 

ඡායාරූප හා උපදෙස්

සූපවේදිනී තිලානි විතානගේ

 

 බැටර් ෆ්‍රයිඩ් බණ්ඩක්කා

 

සාමාන්‍ය ළපටි බණ්ඩක්කා කරල්

බැදීමට තෙල්

 

 

කඩල පිටි මේස හැඳි 2ක්

කෝන් පිටි මේස හැඳි 2ක්

රුලං මේස හැන්දක් (රුලං අත්‍යවශ්‍ය ම නෑ) ඒත් ඕනෙම බැටර් එකකට රුලං ටිකක් එකතු කළාම ක්‍රිස්පි ගතිය එනවා.

ස්වීට් චිලි සෝස් මේස

හැන්දක්

මිරිස් කුඩු හා ලුණු ඔබේ රස පදමට

බිත්තරයක්

 

 

මුලින්ම බණ්ඩක්කා කරල් තරමක දිග කැබලි කපා ගන්න. බැටර් එකට අවශ්‍ය සියලුම දේවල් භාජනයකට දමා වතුර ටික ටික එකතු කරමින් තරමක ඝනකමට එනකම් හැන්දකින් මිශ්‍ර කරමින් බැටර් එක හදා ගන්න. දැන් බණ්ඩක්කා කැබලි එකින් එක බැටර් එකේ තවරා තෙලට දමා ඉක්මනින් රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

*************************

කිතුල් හකුරු මිශ්‍ර පොල් අග්ගලා

 

සිහින්ව ගා ගත් පොල් බෑයක්

සූරාගත් කිතුල් හකුරු බෑයක්

තළාගත් කරදමුංගු හා කරාබු නැටි 4ක්

බටර් මේස හැන්දක්

යන්තමින් කබලේ බැද දෙකට කපාගත් කජු මද ටිකක්

 

 

මුලින්ම ගා ගත් පොල් ටික ගලේ අඹරා ගන්න. නැත්නම් වංගෙඩියක කොටා ගන්න. පොල් ටික භාජනයකට දමි මඳ ගින්දරේ හැඳි ගාමින් පොඩ්ඩක් කබලේ බැද ගන්න. (එයින් ටිකක් අග්ගලාවල තැවරීම සඳහා පසෙකින් තබා ගන්න) නැවතත් නන්ස්ටික් භාජනයක් ළිපේ තබා රත් වූ පසු බටර් එකතු කර එයට කරදමුංගු හා කරාබු නැටි එකතු කරන්න.

යන්තම් බැදෙනකොට පොල් එකතු කර මඳ ගින්නේ හැඳි ගාන්න. එයටම හකුරු සහ කජු මද එකතු කරන්න. ටික වෙලාවකින් මිශ්‍රණය එක ගුළියකට එනවා. එතකොට ළිප ඕෆ් කර මිශ්‍රණය මඳක් නිවෙන්නට තබන්න. දැන් මිශ්‍රණය හොඳට අතින් මිශ්‍ර කර කුඩා බෝල හදා ගෙන කලින් අරන් තියපු පොල්වල තවරා ගන්න. උඩින් කජු මදයක් තියන්නත් පුළුවන්.

***************

බීට්රූට් වඩේ

(කුඩා වඩේ 10ක් සඳහා)

කඩල පරිප්පු කෝප්පයක්

ග්‍රේට් කරගත් කුඩා බීට්රූට් ගෙඩියක්

ලියා ගත් අමුමිරිස් හා බී ලූනු

කෝන් පිටි තේ හැඳි 1ක්

දෙහි බෑයක යුෂ

පදමට ලුණු

අවශ්‍ය නම් උම්බලකඩ කැබලි ටිකක්

බැදීමට තෙල්

 

 

මුලින්ම පරිප්පු ටික පැය 3ක් පමණ වතුර දමා පොඟවා ගන්න. දැන් හොඳින් වතුර පෙරා ගත් පරිප්පු කැබලි ටිකක් හිටින්න ග්‍රයින්ඩරයේ කොටා ගන්න. (වතුර ටිකක්වත් නැතුව කරන්න වග බලා ගන්න) ඉතිරි සියලුම අමුද්‍රව්‍ය ඒකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

විනාඩි 15ක් පමණ වඩේ මිශ්‍රණය ශීතකරණයේ තබා ගන්න. අත්ලේ වතුර ස්වල්පයක් ගා, මිශ්‍රණයෙන් කුඩා බෝල‍යක් අත්ල මත තබලා කැමැති හැඩයකට පැතලි කර ගන්න. ළිපේ ගින්දර අඩුවෙන් දමා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. හොඳින් තෙල් බේරා උණුවෙන්ම රස විඳින්න.

(කෝන් පිටි දැමීම අත්‍යවශ්‍ය නෑ. නමුත් කෝන් පිටි මගින් අමුද්‍රව්‍ය එකිනෙක හොඳින් බැඳ තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කර ගැනීම පහසු කරයි.

**********

රාජා අල (දන්දිල) හැලප

 

සුදු හාල් පිටි කෝප්ප භාගයක් (කඩේ පැකට් හාල් පිටි

භාවිත කරන්න පුලුවන්)

පොතු හැර හොඳින් තම්බා ගත් දන්දිල අලයක්

අවශ්‍ය නම් කුරහන් පිටි මේස හැන්දක

සීනී ඔබේ රස පදමට

සිහින්ව ගා ගත් පොල් කෝප්ප භාගයක්

ලුණු ස්වල්පයක්

නැවුම් කැන්ද කොළ නැත්නම් ෆොයිල් පේපර්

 

 

 

මුලින්ම තම්බා ගත් දන්දිල අල භාජනයකට දමා අතින් හොඳින් පොඩි කරන්න. ඒකටම හාල් පිටි, අවශ්‍ය නම් කුරහන් පිටි මේස හැන්ද, සීනී, පොල් හා ලුණු ස්වල්පයක් එකතු කර අතින් මිශ්‍ර කර ඝනකම තලපයක් හදාගෙන එයින් පොඩි බෝල සාදා පසෙකින් තියන්න. දැන් පැතලි පිඟානක කැන්ද කොළ තියා පොල්තෙල් ස්වල්පය බැගින් තවරා ගන්න.

කැන්ද කොළයේ භාගයකට එක් බෝලය බැගින් තියා කොළේ අනිත් භාගයෙන් වසා තුනී කරන්න. ඔක්කොම ටික ඒ විදිහට හදා ගත්තාට පසු ස්ටීමරයක විනාඩි 15ක් පමණ තම්බා ගන්න.

***************

වතුර ගස් (දිය තිප්පිලි) සම්බෝලය

 

දිය තිප්පිලි (ගසේ උඩින් ඇති රේණු වගේ කොටස ඉවත් කර පිරිසුදු කර ගන්න)

සිහින්ව ලියාගත් රතු ලූනු

සිහින්ව ලියාගත් අමු මිරිස්

ලියාගත් කුඩා තක්කාලි ගෙඩියක්

පදමට ලුණු

ගා ගත් පොල් ටිකක්

උම්බලකඩ ටිකක් (අවශ්‍ය නම් පමණක්)

 

දිය තිප්පිලි සිහින්ව ලියා භාජනයකට දමා රතු ලූනු, අමුමිරිස්, පොල්, තක්කාලි, ලුණු හා උම්බලකඩ දමා කොළ පොඩි නොවෙන විදිහට කලවම් කරන්න. රසවත් කොළ වර්ගයක් වූ දිය තිප්පිලිවල තිත්ත රසයක් නැති නිසා දෙහි ඇඹුල් එකතු කරන්න අවශ්‍ය නෑ. (කෑමට මොහොතකට පෙර හදා ගන්නවා නම් හොඳයි.)

******************

මුං මස් ඇඹුල

 

රැයක් වතුරේ දමා පොඟවා ගත් මුං ඇට ග්‍රෑම් 200ක්

තළාගත් සුදු ලුනු හා වෙනම බික් 5ක්

ලියා ගත් රතු ලූනූ හා වෙනම ගෙඩි 5ක්

කරපිංචා, අමු මිරිස් හෝ කොච්චි, සේර හා රම්පේ

අබ ස්වල්පයක්

ගම්මිරිස් කුඩු

කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු

ඔබේ රස පදමට

කර නොවෙන්න කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැන්දක්

සියඹලා පේස්ට් තේ හැන්දක්

කැබලි කපාගත් ලොකු තක්කාලි ගෙඩි 2ක්

මිටිකිරි කෝප්ප 2ක්

රස අනුව ලුණු

කෙසෙල් කොළයක්

 

 

 

මුලින්ම රැයක් පොඟවා ගත් මුං ඇට වතුර පෙරා ග්‍රයින්ඩරයට දමා, එයටම සුදු ලූනු ගෙඩි, රතු ලූනු ගෙඩි, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුනු හා මිරිස් කුඩු ඔබේ රස අනුව එකතු කර තලපයක් වෙනකම් හොඳින් ග්‍රයින්ඩ් කරන්න. දැන් ඒක කෙසෙල් කොළයක හෝ ලන්ච් ෂීට් එකක තුනී කර විනාඩි 20ක් පමණ ස්ටීම් කරන්න. ස්ටීම් කර ගත්ත තලපය මස් කෑල්ලක් වගේ හයි වෙලා කියලා ඔබට පෙනෙයි. ඒක නිවෙන්න තියලා කුඩා කොටු කපා ගන්න.

දැන් භාජනයක් ළිපේ තියා තෙල් ස්වල්පයක් දමා රත් කරන්න. එයට අබ දමා පුපුරුවා ඉතුරු සියලුම අමුද්‍රව්‍ය එකතු කර ටික වේලාවක් තෙම්පරාදු කරන්න. හැන්දකින් තක්කාලි ටික පොඩි කරන්න. එයට මිටිකිරි එකතු කරල පදමට ලුණු ද දාන්න. හොද්ද උතුරනකොට මුං මස් කෑලි ටික දාන්න. ටික වේලවක් මඳ ගින්නේම පිස ලුණු, ඇඹුල් බලා ළිප නිවන්න. හරිම රසවත් ව්‍යාංජනයකි. සාංඝික දානයකට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.