හදන්න පහසු නිර්මාංස ආහාර

මැයි 9, 2022

 

 

පින්බර වෙසඟේ පරිසරයම දම් සුවඳින් නැහැවිලා. මීට වසර දෙක තුනකට ඉහතදී නම් සිල් සුවඳත් දසත විහිදුණා. රටේ පවතින සෞඛ්‍යමය වාතාවරණය හේතුවෙන් ජනී ජනයා බොහෝ පිරිස් එකතුවීම තරමක් සිතිය යුත්තක්.

 

කොහොම නමුත් මේ වෙසක් මහෙත් නිවෙසියන් එකට එකතු වී බොහොම සෙනෙහෙවන්තව බොදු බැතියෙන් යුතුව කල් ගෙවනවා. ඒත් එක්කම ආහාර රටාවෙන් වෙනසක් ඇති වෙනවා. වැඩි පිරිසක් කැමැති මේ කාලයේ නිර්මාංස ආහාර වේලක රස විඳින්නටයි.

වෙහෙර විහාරයක හෝ නිවෙසේදීම පෙහෙවස් සමාදන් වීමෙන්, බණ භාවනාවල නිරතවීමෙන් පින් පුරන ඔබට එවැනි ආහාර ඇතුළත් කෑම අතිරේකයක් අද තරුණී වෙතින් තිළිණ කෙරේ.

රසයෙන් හා පෝෂණයෙන් පිරි මේ ආහාර වට්ටෝරු සඳහා අවශ්‍ය දේ ඔබේ ගෙවත්තේ වටපිටාවෙන්ම සොයා ගත හැකි. කාලයේ විදිහට මුදල් පසුම්බියට එය මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.

 

 

උපදෙස් -

සූපවේදිනී නිලුෂිකා මුණසිංහ

 

සෝයා මීට් කරිය

සෝයා මීට් පැකට් 1ක්

බැදපු තුනපහ මේස හැඳි 2ක්

මිරිස් කුඩු මේස හැඳි 1ක්

කහ කුඩු ස්වල්පයක්

උළුහාල් තේ හැඳි 1/2ක්

ලුණු, ගම්මිරිස් (රස පදමට)

සුදුලූනු බික් 4ක්

අමු ඉඟුරු අඟල් 1/2ක කැබැල්ලක්

ලොකු ලූනු ගෙඩි 1/2ක්

අමු මිරිස් කරල් 4ක්

කරපිංචා ඉති 3ක්

තක්කාලි ගෙඩි 2ක්

කුරුඳු පොතු කැබැල්ලක්

මිටිකිරි කෝප්ප 2ක්

තෙල් මේස හැඳි 3ක්

 

 

පැකැට්ටුවේ ඇති සෝයා කැබලි ටික වතුරේ පැය 1/2ක් පමණ පෙඟෙන්න හරින්න. පැය 1/2කින් පසු සෝයාමීට් වතුරෙන් මිරිකා භාජනයකට දමන්න. මැටි බඳුනක් ළිපේ තබා තෙල් මේස හැඳි 3ක් දමා රත්වූ පසු උළුහාල් තේ හැඳි 1/2ක් දමන්න. ලූනු සිහින්ව කපා එයට දමන්න. සුදුලූනු, අමු ඉඟුරු, අමු මිරිස් සිහින්ව ලියා එයට එකතු කරන්න. කරපිංචා ඉති 3ක්ද එකතුකර ගින්දර අඩුකර හොඳින් බැදෙන්නට හරින්න. ළිප නිවා ගන්න. මිරිකාගත් සෝයා මීට් ටිකට බැදපු තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, කුරුඳු පොතු දමා හොඳින් අනාගන්න. මෙය ළිප උඩ ඇති හට්ටයට දමා යළිත් ළිප මොලවා ගන්න. හොඳින් හැඳිගාන්න. එය කර නොවෙන ලෙස හැඳි ගා දියකිරි කෝප්ප දෙක දමා තම්බා ගන්න. දියකිරි හිඳුණාට පසු කපාගත් තක්කාලි එකතුකර මිටිකිරි කෝප්ප 2 දමන්න. හොඳින් හැඳි ගා ලූනු, ගම්මිරිස් රස පදමට එකතු කරන්න.

 

*******************

බැදගත් පොලොස් පෙති

පොලොස් ග්‍රෑම් 250ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

එළවළු තෙල් ලීටර් 1/2ක්

කළු හා සුදු තල ඇට ටිකක්

දෙහි ගෙඩි 3ක්

කෝන් පිටි ග්‍රෑම් 40ක්

ඩෙසිකේටඩ් කොකනට් (වියළි පොල්) ග්‍රෑම් 100ක්

රස අනුව ලුණු

බිස්කට් කුඩු

 

Hot Garlic Sauce සඳහා

චොප් කරගත් ඉඟුරු සුදුලුනු ටිකක්

සැල්දරි

මිරිස් සෝස්

දෙහි යුෂ

සීනි ස්වල්පයක්

බටර් ටිකක්

 

 

පළමුව පොලොස් ගෙඩියේ පොත්ත ඉවත්කර සෙන්ටිමීටර් 1/2ක් ඝනකමට පෙති කපා ගන්න. කපාගත් පොලොස් පෙති බඳුනකට දමා එයට කහ, ලුණු හා දෙහි යුෂ දමා පැය 1/2ක් තිබෙන්නට හරින්න. ඉන්පසු වතුර එක්කර මඳ ගින්නේ විනාඩි 30ක පමණ කාලයක් තම්බා ගන්න. තැම්බුණු පසු ළිපෙන් බා වතුර පෙරා හැර නැවත රස අනුව ලුණු හා දෙහි යුෂ එකතු කරන්න.

වෙනත් බඳුනක් ගෙන එයට ඩෙසිකේටඩ් කොකනට් (වියළි පොල්) පාන් කුඩු, තල ඇට එකතු කරන්න. වෙනත් බඳුනකට පාන් පිටි, කෝන් පිටි හා වතුර එක්කර තරමක් ඝනකම් මිශ්‍රණයක් සාදා ගන්න. ඉන්පසු මුලින් තම්බා ගත් පොලොස් පෙති පිටි මිශ්‍රණයේ ගිල්වා පාන් කුඩු මිශ්‍රණයේ හොඳින් තවරා ගැඹුරු තෙලේ බැදගන්න. මෙසේ බැදගත් පොලොස් පිළිගන්වන විට Hot Garlic Sauce සමඟ පිළිගන්වන්න.

 

Hot Garlic Sauce සාදන ආකාරය

පළමුව භාජනයක් ගෙන එයට බටර් ටිකක් දමා රත්වූ පසු චොප් කරගත් ඉඟුරු, සුදුලූනු, සැල්දරි එකතු කරන්න. එය රන්වන් පාටට බැදුණු පසු චිලී සෝස් හා වතුර කෝප්පයක් එක්කර මඳගින්නේ විනාඩි කිහිපයක් පිස එයට දෙහි යුෂ හා සීනි ස්වල්පයක් එකතු කරන්න.

*****************

නෙළුම් අල අච්චාරුව

නෙළුම් අල 2ක්

සෝයා මීට් පැකට් 1ක්

අමු මිරිස් කරල් 10 - 15ක්

මිරිස් කුඩු මේස හැඳි 2ක්

ලුණු

අඹරාගත් අබ මේස හැඳි 1ක්

අමු ඉඟුරු මේස හැඳි 1ක්

හතු පැකට් 1/2ක්

රතුලූනු හෝ ලොකු ලූනු ග්‍රෑම්

100ක්

විනාකිරි කෝප්ප 1/2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

තෙල්

සුදුලුනු බික් 4 - 5ක්

සීනි මේස හැඳි 2 - 3ක්

 

නෙළුම් අල පොත්ත සූරා සෝදා ගෙන රවුම් පෙති කපාගන්න. හතු සෝදා සිහින්ව ඉරා ගන්න. සෝයා මීට් පොඟවා මිරිකා ගන්න. ඉන්පසු මේ සියලුම ද්‍රව්‍ය වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් ද්‍රව්‍ය වෙනම තබා එම තෙලටම දමා රතුලූනු හා අමු මිරිස් යාන්තමින් බැදගන්න.

විනාකිරිවලට මිරිස් කුඩු, කහ කුඩු, අඹරාගත් අබ, අඹරාගත් ඉඟුරු හා සුදුලුනු, ලුණු එක්කර ළිප තබා උතුරවා ගන්න. එසේ උතුරවා ගත් මිශ්‍රණයට බැදගත් නෙළුම් අල, හතු හා සෝයා ටික එක්කර රතුලූනු හා අමුමිරිස් ටිකක් එකතු කරන්න.

ඉන්පසු මෙම අච්චාරුවට සීනි ටිකක් ද දමා හොඳින් කළවම් කර රස බලා අවශ්‍ය නම් සීනි, ලුණු එක්කර ඉන්පසු සංග්‍රහයට ගන්න. මෙය ඉතා රසවත්ය.

*****************

හතු මිශ්‍ර බටු බැදුම

 

වම්බටු ග්‍රෑම් 250ක්

හතු ග්‍රෑම් 150ක්

බැද ගැනීමට තෙල්

ලොකු ලූනු ගෙඩි 2ක්

අමු මිරිස් කරල් 4ක්

රම්පෙ, කරපිංචා ඉති 3ක්

කෑලි මිරිස් මේස හැඳි 1ක්

තක්කාලි ගෙඩි 2ක්

තක්කාලි සෝස් මේස හැඳි 4ක්

විනාකිරි මේස හැඳි 2ක්

තෙල් මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 1 - 2ක්

ලුණු රස පදමට

අබ කුඩු තේ හැඳි 2ක්

කජු ස්වල්පයක්

 

 

වම්බටු සහ හතු සිහින්ව ලියා ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්නට (පෙරනයක) දමා ස්වල්ප වේලාවක් තබන්න. මැටි බඳුනක් ගෙන එයට තෙල් මේස හැඳි 2ක් දමා රත්වූ පසු සිහින්ව ලියාගත් ලූනු, අමුමිරිස්, දමා බැදගන්න. එයටම රම්පෙ, කරපිංචා දමන්න. කෑලි මිරිස් ද එකතු කරන්න. තක්කාලි ගෙඩි 2 සිහින්ව කොටුවට කපා එකතු කරන්න. එයටම බැදගත් වම්බටු සහ හතු ටික දමා කළවම් කරන්න. ඉන්පසු විනාකිරි, අබ කුඩු, තක්කාලි සෝස්, සීනි, ලුනු රස පදමට දමා හොඳින් කළවම් කරන්න. දීසියකට මිශ්‍රණය දමා බැදගත් කජුවලින් සරසා ගන්න.