අපේ කමට අපේ කෑම

මැයි 16, 2022

 

ත්‍රෛමංගල්ලයේ අසිරිය කියාපාමින් බුදු සුවඳ පැතිර යන වෙසක් මාසය උදා වූවා. සැදැහැති බොදුනුවන් වෙසක් සතිය පමණක් නොව වෙසක් මාසය පුරාවටත් නිර්මාංසව ගත කරනුයේ ගතකරනුයේ පහන් සිතිනි.

රසයෙන්, ගුණයෙන් මෙන්ම පෝෂ්‍යදායී බවින් ද හෙබි මෙම නිර්මාංස ආහාර වට්ටෝරු කිහිපය ඔබේ එදිනෙදා කෑම වේලට නැවුම් වෙනසක් එක් කරාවි.

කුස්සිය cuisine of sri lanka youtube චැනලය ඔස්සේ සමීපවන විශ්‍රාමික ගෘහ ආර්ථික විද්‍යාව ගුරු උපදේශිකා ප්‍රේමාවතී අබේසේකරවන ඇය තරුණි සමඟ ද මෙලෙස සම්බන්ධ කරගතිමු.

 

කළුදුරු මිශ්‍ර කරපිංචා ලුණුමිරිස

 

 

* කරපිංචා කොළ මිටක්

* කළුදුරු තේ හැඳි 1ක්

* අඟලක පමණ කුරුඳු පොත්තක්

* සුදුලූනු බික් හතරක් හෝ පහක්

* ගොරකා බික් තුනක් හෝ හතරක්

* උළුහාල් තේ හැඳි එකහමාරක්

* රතු ලූනු ගෙඩි තුනක් හෝ හතරක්

* ලුණු සහ දෙහි අවශ්‍ය පමණ

 

 

 

ඉහත නම් සඳහන් කළ සියල්ල,ගලේ අඹරා අවශ්‍ය පමණ දෙහි එකතු කරන්න.

 

කරපිංචා ,ගොරකා මේද හරණීය ගුණයෙන් යුක්ත වන අතර(මේද දිය කිරීමේ)ගුණයෙන් යුක්තයි. කුරුඳු ලේ කැටිගැසීම පාලනය කරයි, එම නිසා කොලෙස්ටරෝල් හා හෘදයාබාධ පාලනය කරයි .මේද හරණීය ගුණයෙන් යුක්ත නිසා ශරීරය කෙට්ටු වීමට දිව්‍ය ඔසුවකි.

 

ඉදිරිපත් කිරීම :

විශ්‍රාමික ගෘහ ආර්ථික විද්‍යා ගුරු

උපදේශිකා

ප්‍රේමාවතී අබේසේකර

************************

රඹුටන් චට්නි

 

 

ඇත්තටම රඹුටන් කියන්නේ උෂ්ණාධික පලතුරක්.

යකඩ, ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස්, විටමින් බී, විටමින් සී ,මැග්නීසියම්, පොටෑසියම් වැනි පෝෂණ කොටස්වලින් යුතු රඹුටන් වැඩෙන දරුවන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරයි.

 

 

 

* ලෙලි ඉවත් කර ගත් රඹුටන්

ගෙඩි 25 ක්

* අබ

* ගම්මිරිස්

* වියළි මිරිස් කුඩු

* කුරුඳු

* ඉඟුරු

* විනාකිරි

* වතුර අඬු කෝප්ප බාගයක්

 

 

 

ප්‍රථමයෙන් අබ, විනාකිරි වලින් පැය දෙකක් පොඟවා ගන්න.

මැටි වළඳක් ළිප තබා සීනි ස්වල්පයක් දමා කැරමල් කරගන්න. ඉන්පසු වතුර අඬු කෝප්ප භාගය ද දමා ඉතුරු සීනි ද එක්කර හොඳින් උණු වූ පසු, මුලින් විනාකිරි දමා අඹරන ලද ( අබ,ගම්මිරිස් ,වියළි මිරිස් කුඩු ,කුරුඳු, ඉඟුරු) මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු එයට පොතු ඉවත් කර පිරිසුදු කරගන්නා ලද රඹුටන් ටික එකතු කරන්න .පදමට එනතුරු සකස්කර ළිපෙන් බාගන්න. දැන් ඔබට රසවත් පෙනුමකින් යුතු සහ සුවඳ හමන රඔුටන් චට්නි රස විඳිය හැකියි.

*********************

රහට ගුණට පිසෙන දෙල් බත

 

පරංගි , ලාංකික අපිව නැති කරන්න හදපු , දැන් අපිට නැතුවම බැරි දෙල් වලින් රහට ගුණට බතක් හදාගන්නත් පුළුවන්.

 

 

 

* හාල් කිලෝ එකක්

* හොඳට පැහුණු දෙල් ගෙඩියක්

* බදින ලද තුනපහ

* මිටි කිරි අඬු කෝප්ප දෙකක්

* අමු තුනපහ අවශ්‍ය පමණ

* කුරුඳු / රම්පේ / කරපිංචා / රට ලූනු / සුදු ලූනු / අමු මිරිස් / ගම්මිරිස් / මුරුංගා කොළ / කහ අවශ්‍ය පමණ

* ලුණු

 

 

පළමුව සහල් සෝදා ළිප තබන්න. දෙල් කපා කහට ඉවත් කිරීමට එම ජලයට දෙහි කැබැලි 2 ක් සහ අඹරන ලද කහ එකතු කරන්න. බත 3/4 පමණ ඉදීගෙන එනවිට කහට ඉවත් කරන ලද සේදූ දෙල් කැබලි ටික දමා තැම්බෙන්නට සලස්වන්න. ඊට රම්පෙ, කරපිංචා, කුරුඳු, ඉඟුරු, අමුමිරිස්, රටලූණු, කහ අවශ්‍ය පමණ ,ගම්මිරිස් ,බදින ලද තුනපහ හා අමු තුනපහ ස්වල්පයක් හා මුරුංගා කොළ ටික යොදන්න. උකු මිටි කිරි කෝප්ප දෙකක් එක්කර අවශ්‍ය පමණ ලුණු ද දමා කලවම්කර මද ගින්නේ පිසින්නට හැර ,කෑමට ගැනීමට පුළුවන. කැමතිනම් තෙම්පරාදු කරගන්න. බත බෙරි නොවීමට වග බලාගන්න.

***********************

රුලංවලින් එළවළු බතක් උප්පමා

අංග සම්පූර්ණ, ඉතාමත් රසවත් ආහාර වේලක්වන මෙය නිර්මාංස කෑම ගන්නා අයගේ බොහොමයක් පෝෂණීය අවශ්‍යතා ඉටු කරලයි.

* රුලං ග්‍රෑම් 250 යි.

* පරිප්පු ග්‍රෑම් 75 යි.

* උකු පොල් කිරි අඬු කෝප්ප දෙකක්

* අවශ්‍ය පමණ ලුණු

* කැරට් ග්‍රෑම් 150 ,ලීක්ස් ග්‍රෑම් 150

* රට ලූනු ග්‍රෑම් 50ක්

* ගම්මිරිස් අවශ්‍ය පමණ

* අමු මිරිස් කරල් 3 / 4ක්

* මුරුංගා කොළ මිටක්

* කහ ස්වල්පයක්

*රම්පේ ,කරපිංචා ,ඉඟුරු ,සුදුලූනු, කුරුඳු ,මිංචි ,පොල්

තෙල් අවශ්‍ය පමණ

 

 

පළමුව රුලං ටික අවශ්‍ය පමණ බැදගන්න. රන්වන් පැහැ වීමට පෙර බැදගන්න. ඉන්පසු මැටි ඇතිලියක් ළිප තබා පොල් තෙල් අවශ්‍ය පමණ එයට දමා තෙල් රත් වූ පසු ඉඟුරු, සුදුලූනු, පරිප්පු දමා බැදෙන්නට හරින්න. මිරිස්, කැරට්, රම්පේ, කරපිංචා ,කුරුඳු පොත්තක් දමා තෙලෙන් මලවා ගන්න. පරිප්පු ජලයෙන් විනාඩි දහයක් පමණ පෙඟෙන්නට හැර තබාගෙන ගන්න. රට ලූනු, ලීක්ස් සහ මුරුංගා කොළ දමා සියල්ල කලවම් කර ළිපෙන් බා ගන්න. ඉන්පසු ඇතිලියට කහ මිශ්‍ර උකු පොල්කිරි ටිකක් දමා එයට ලුණු ,රම්පේ ,කරපිංචා එකතු කර ළිපෙන් තබා ගන්න. ඉන්පසු එය හොඳින් නටවා ගන්න. පෙර අපි පසෙකින් තැබූ එළවලු මිශ්‍රණය රුලං වලට එකතු කරන්න. ළිපෙන් බා එයට මුරුංගා කොළ, හීනියට කපාගත් කැරට් සහ ගම්මිරිස් එකතු කර මිශ්‍ර කර ගන්න .කැරට් හා මුරුංගා එකතු කරනු ලබන්නේ ඇසට රුචිකත්වයක් සහ හොඳ වර්ණයක් ලබා ගැනීම සඳහායි.