විදුලි බිල වැඩිවන්නේ කාගේ වරදකින් ද?

නිවෙසේ විදුලි බිල ගෘහණියට පාලනය කළ හැකියි
පෙබරවාරි 28, 2022

 

කෝවිඩ් නිසා මුළු ලෝකයේම ආර්ථිකය කඩාවැටුණා කිවුවොත් ඒ කතාවේ වැරැද්දකුත් නැහැ. පසුගිය අවුරුදු දෙකක් තිස්සේ ලෝකයේම නිෂ්පාදන, ව්‍යාපාර අඩාල විය. මේ හේතූන් මත අනෙක් රටවල් වගේම අපේ රටෙත් බඩුමිල ඉහළ ගියා. ඉතිං ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩියි.

හැම තැනකම, හැම කෙනකුගෙම මුවෙන් පිටවෙන්නේ “අතේ සතයක් නැහැ. කිසිම ඉතිරියක් නැහැ, සල්ලි හම්බකරනවා විතරයි අනෙක් අතට වියදම් වෙනවා.“ වගේ මැසිවිලි.

කොහොම හරි, හැමෝම වගේ ‘ආර්ථික ප්‍රශ්න - ආර්ථික ප්‍රශ්න‘ කිය කියා මන්තරයක් ජප කරනු ලබනවා. මෙහෙම කියව කියවා නොසිට ඒ වෙනුවෙන් කරන්නට යමක් තිබේදැයි සොයා බැලිය යුතුයි. නිවෙසේ ආර්ථිකය රැකගන්න කාන්තා ඔබට විශේෂ යමක් කළ හැකියි. උපතින්ම පිරිමැසීමේ කලාව උරුම ඔබට මෙය අපහසු කාර්යයක් නම් නොවෙයි. එමෙන්ම නිවෙසේ සාමාජිකයන් සියලු දෙනා එක්ව විදුලිය කළමනාකරණය කර ගත යුතුයි. මේ ඒ සඳහා අත්වැල් සැපයීමකි.

එමෙන්ම රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැවනීමට, පාරිභෝගිකයන් විදිහට අපගේ විදුලි පරිභෝජනය අඩු කිරීමෙන් සමස්ත විදුලි ඉල්ලුම අඩු කිරීමට දායක විය හැකියි. විදුලි ඒකකයක් යනු කිලෝ වොට් පැය එකකි. අප උත්සාහ කළයුත්තේ මේ කිලෝ වොට් පැය ගණන අඩු කිරීමටයි. එක්කෝ කිලෝ වොට් ප්‍රමාණය අඩු කළ යුතුයි. නැත්නම් පැය ගණන අඩු කළ යුතුයි. එසේත් නැතිනම් මේ දෙකම අඩු කළ යුතුයි. මෙය ගෘහණියට (අම්මාට) පමණක් තනිව කළ හැකි එකක් නොවේ. නිවෙසක සාමාජිකයන් සියලු දෙනා එක්ව විදුලිය කළමනාකරණය කළ යුතුය. විදුලි මීටරය දිනපතා කියවීම තුළින් අඩුවැඩි වන ප්‍රමාණය සමායෝජනය කළ හැකි වේ. මෙලෙසින් තම නිවෙසේ වැයවන විදුලි ඒකක ප්‍රමාණය වටහා ගැනීමෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා සහායක් ලබාගත හැකියි.

 

* ශීතකරණය

සාමාන්‍ය නිවෙසක විදුලි ඒකකවලින් සියයට 50ක් වැයවන්නේ ශීතකරණයටයි. ඉතිරිය අනෙක් සියල්ටම බෙදී යයි.ඔබේ ශීතකරණයේ ඇත්තේ මොනවාද? අයිස්ක්‍රීම්, එළවළු, පලතුරු, මස් මාළු සතියකට සති කීපයකට ගෙන ආ ආහාර විය හැකියි. එහෙත් අද අපට බොහෝ දේවල් වෙළෙඳපොළ අවශ්‍යතා පවා අත ළඟට පැමිණ ඇති කාලයකි. ඉතිං මේවා ශීතකරණයේ ගබඩාකරගත යුතුමද? බඩු අඩුකළ විට අනිවාර්යයෙන් විදුලිය ඉතිරි කරගත හැකිය. විශේෂයෙන් අතීත ගැමි නිවෙසේ ළිප තැබූ බත් මුට්ටිය මත ඇති නෑඹිලියට වතුර ටිකක් දමන බව ඔබ අසා දැක තිබේද? ළිප ගිනි ඇවිලෙද්දී බත ඉදෙන අතර නෑඹිලියේ වතුර ටිකත් උතුරයි. බතට වතුර මදිනම් එයින් ටිකක් දමයි. පොල්කිරි මිරිකා ගන්නට හෝ එවැනි වෙනත් උණුවතුර අවශ්‍යතාවකට එය යොදා ගනී. මෙය අපේ අතීත ග්‍රාමීය ජනතාවගේ බලශක්ති සංරක්ෂණ පිළිබඳ හොඳම උදාහරණයයි.

ශීතකරණය තබද්දී ශීතකරණය හා බිත්ති අතර අඟල් 9ක් පමණ පරතරයක් තබන්න. එසේම උණුසුම් ආහාරපාන තැබීමෙන් වළකින්න. තෙත සහිත ආහාර ඇසිරීමේදී ඒවා පොලිතීන්වලින් දවටා තබන්න. නිතර කුණු දූවිලි බැඳෙන කොටස් පිරිසුදු කරන්න. ශීතකරණයේ දොරෙහි රබර් පටිය (බීඩිම) පළුදු වී ඇත්නම් එය අලුතින් දමන්න. භාණ්ඩ ඇසිරීමේදී තරමක් ඉඩ ඇතිව තැන්පත් කරන්න.

 

* බල්බ් භාවිතය

LED බල්බ් භාවිතයෙන් විදුලිය නාස්තිය අවම කර ගත හැකියි. එසේම අවශ්‍යම විටකදී පමණක් දල්වා නිවා දැමීම කළ යුතුයි.

* විදුලි ඉස්ත්‍රික්කය

ඇඳුමක් මදින විට මේසයට හෝ අයන් බෝඩයට රෙද්දක් එළීම සාමාන්‍ය සිරිතක්. මෙන්න මේ රෙද්දට යටින් ඊයම් තහඩුවක් දැමීම සුදුසුයි. එයින් ඉස්ත්‍රික්කයේ රස්නය අපතේ යෑම වළකාලනවා. නැතිනම් ලෑලි කැබැල්ලක් මත (ඇස්බැස්ටෝස් තහඩුවක්) ස්ත්‍රික්කය තබන්න. එවිට එළා ඇති රෙදි කැබැල්ලට හානියක් නොවන අතර රස්නය අපතේ යෑමක් සිදුවන්නේ නැහැ. කිසිවිටෙකත් ඉස්ත්‍රික්කය සිටුවා තබන්න එපා. එයින් රස්නය පිට යන නිසා විදුලිය අපතේ යෑමක් සිදුවේ. කිසිදු විටෙක තෙත රෙදි මදින්නත් එපා. හැකි සෑම විටම සතියකට අවශ්‍ය ඇඳුම් එකවර මැද තබන්න.

 

* විදුලි පංකාව

හැකි සෑම විටම දොර ජනෙල් තිර රෙදි යොදා ගැනීමේදී ස්වාභාවික සිසිලස නිවෙසට ලබා ගන්නට උත්සාහ ගන්න. අත්‍යවශ්‍යම වේලාවලට පමණක් විදුලි පංකා භාවිත කළ යුතු අතර, සීලින් විදුලි පංකා සඳහා වැඩි විදුලියක් වැය වන බැවින් මේස විදුලි පංකා හෝ සිටුවා තබන විදුලි පංකා භාවිත කිරීමෙන් විදුලිය පිරිමසා ගත හැකියි.

 

* රෙදි සෝදන මැෂිම

ගතේ සෞඛ්‍ය උදෙසා දෑතින් රෙදි සෝදන්න. රෙදි සෝදන මැෂිමක් භාවිත කරන්නේ නම් නිවෙසේ ජීවත් වන පුද්ගලයන් හා අවශ්‍යතාව මත එහි ප්‍රමාණය තීරණය කරන්න. හැකි සෑම විටම සැහැල්ලු අතේ සෝදන රෙදි භාවිත කරන්න. රෙදි වියළීමට යන්ත්‍රය භාවිත නොකොට අව්වේ වියළා ගැනීම විදුලි බිලට සහනයක් ලබාගත හැකි හොඳ ක්‍රමයකි.

 

* රූපවාහිනිය

රූපවාහිනිය භාවිත කිරීමෙන් පසු දුරස්ථ පාලකය මඟින් පමණක් නොව රූපවාහිනියේ ස්විචය මඟින් ද නිවා දමන්නට සැලකිලිමත් වන්න. එමෙන්ම රූපවාහිනිය නරඹන විට නිවෙසේ අනෙකුත් අනවශ්‍ය තැන්වල විදුලි පහන් නිවා දමන්න

 

 

* ප්‍රමිති සහතිකය

ඔබ විදුලි උපකරණයක් මිලදී ගන්නා සෑම විටම එය තත්ත්ව පාලනයට යටත් කළ උපකරණයක් ද කියන කරුණ පිළිබඳ විමසා බැලිය යුතුයි.

SLS ප්‍රමිති සහතිකය ISO 9002 තත්ත්ව සහතිකය අඩංගු උපකරණ විශේෂයි. විදුලි උපකරණයක් මිල දී ගැනීමේ දී එහි නිෂ්පාදිත දිනයත්, නිෂ්පාදිත රට, සන්නාමය (Brand) යන කරුණු පිළිබඳත් අවධානය යොමු කළ යුතුමය. ඒ වගේම මේවා මිල දී ගැනීමේ දී බලයලත් අලෙවි නියෝජිතයකුගෙන් මිල දී ගැනීමට වග බලා ගන්න. බාල විදුලි උපකරණ ඔබේ විදුලි බිල ඉහළ නංවන්නට හේතුවක්.

 

උපදෙස් -

ලක්මාලි කරුණානායක

ප්‍රධාන ඉංජිනේරු, බලශක්ති කළමනාකරණ

වයඹ 01

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.