හෙල්ල විසි කිරීමෙන් ලෝක වාර්තාවක් තබා ලක් මාතාව රනින් සැරසු දිනේෂ් ප්‍රියන්ත

සැප්තැම්බර් 1, 2021

 

කොරෝනා වසංගතය ලොව සෑම රටකම පාහේ මිනිස් ජීවිත ලක්ෂ ගණනින් බිලි ගන්නා කාලයක වුවද ජපානය ලෝකයේ මහා ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පසුගියදා සාර්ථකව නිමා කළා.

ඒ හා සමගාමිව සෑම වසර හතරකටම වරක් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ මේ වනවිට ජපානයේ සාර්ථකව පැවැත්වෙනවා. දින 12ක් පුරා පැවැත්වෙන මේ ක්‍රීඩා උලෙළ ලබන 03 වැනිදා අවසන් විමට නියමිත අතර රන් පදක්කම් 59ක් දිනා ගැනීම සඳහා රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් 22කින් තරග වදින්නට නියමිතයි.

එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් අටදෙනකුගෙන් යුත් කණ්ඩායමක් අපේ රට නියෝජනය කරමින් එහි ගොස් සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ රියෝ පැරාලිම්පික් උලෙළේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින්. මේ ඔහුගේ දෙවැනි ඔලිම්පික් නියෝජනයයි.

මහේෂ් ජයකොඩි (ඔරු පැදීම ), සම්පත් බණ්ඩාර ( දුනු විදීම), සමිත දුලාන් (හෙල්ල විසි කිරීම), සම්පත් හෙට්ටිආරච්චි ( හෙල්ල වීසි කිරීම), කුමුදු ප්‍රියංකා (මීටර් 100 සහ දුර පැනීම ), මදුරංග සුබසිංහ (මීටර් 400 දුර දිවිම ), පාලිත බණ්ඩාර (යගුලිය විසි කිරීම ) සහ රන්ජන් ධර්මසේන (රෝද පුටු ටෙනිස් ) අපේ රට නියෝජනය කරන සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන දිනේෂ් ප්‍රියන්ත 2018 වසරේ පැවැති ආසියානු පැරා තරගාවලියේදී (Asian Para Games in 2018) රන් පදක්කම දිනාගන්නට සමත්වුණු අතර මෙවර ඔලිම්පික් තරගාවලියට යාමට පෙර ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනා ගැනීම තම අරමුණ බව පවසා තිබුණා.

ඔහු පැවසු පරිදිම පසුගිය 30 වැනිදා ලෝකයේම අවධානය අපේ මේ පුංචි රටට ලබාදෙමින් පිරිමි හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් (T 46) ඉතිහාසයේ ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම සමඟ ලෝක වාර්තාවක් තබන්නට දිනේෂ් සමත්වුණා. එහිදී හේරත් මීටර් 67.79ක දුරක් හෙල්ලය වීසි කරමින් මේ දස්කම සිදු කළ අතර, ඉන්දියාවේ දේවේන්ද්‍ර ජාජ්හාරියා (මිටර් 64.35) රිදී පදක්කමත්, ඉන්දියාවේ සුන්දර් සිං ගුර්ජා (මීටර් 64.01) ලෝකඩ පදක්කමත් ලබා ගත්තා.

දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් බිඳ හෙළන්නට අපේක්ෂා කර තිබුණේ 2016 වසරේ රියෝ පැරාලිම්පික් තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩක දේවේන්ද්‍ර ජාජ්හාරියා විසින් මීටර් 63.97 කින් තබා තිබූ වාර්තාවයි.

එහිදී චීනයේ ගුවෝ චුන්ලියෑන් මීටර් 59.93 දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් අතර මීටර් 58.38 ක දුරක් වාර්තා කරමින් හේරත් විසින් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත්වුණා.

එහෙත් තම දක්ෂතා වැඩි දියුණු කරගන්නට සමත්වුණු හේරත් පසුගිය මැයි මාසයේ ජාතික ක්‍රීඩා උලෙළේදී මීටර් 63.97ක දුරක් වාර්තා කර තිබීමෙන් ඔහුගේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත්වුණා.

හේරත් විසින් ලබා ගත් මේ ජයග්‍රහණය ඉතිහාසයේ ඔලිම්පික් උළෙළකදී හෝ පැරාලිම්පික් උලෙළකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එදා මෙදා තුර වාර්තා වුණු එකම සහ පළමු රන් පදක්කමයි.

එසේම 2018 වසරේ පැවැති ආසියානු පැරා තරගාවලියේදී හෙල්ල වීසි කිරීමේ ඉසව්වවෙන් රිදී පදක්කම දිනාගත් සම්පත් හෙටිටිආරච්චි මෙවර දෙවැනි වරටත් ඔලිම්පික් නියෝජනය කරමින් අපේ රටට පදක්කමක් දිනාගැනීමේ අරමුණින් තරග වැදුණා. 1996 ඇට්ලන්ටා පැරාලිම්පික් උලෙළේදී එක් ක්‍රීඩකයකු සහභාගි කරවමින් සිය පළමු පැරාලිම්පික් නියෝජනය කළ ශ්‍රී ලංකාව පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයට එක්වුණා. එහිදී කාලික පතිරණ ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව්වෙන් තරග වදිමින් ශ්‍රී ලාංකේය පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු නියෝජනය ලෙස තම නාමය සටහන් කරන්නට සමත්වුණා.

එතැන් සිට පැවැති සෑම ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළකදීම ශ්‍රී ලංකාව ක්‍රීඩකයන් සහභාගි කරවමින් නියෝජනය කරන්නට සමත්වීමත් කැපී පෙනෙනවා. එසේම 2012 වසරේ ලන්ඩනයේ පැවැති පැරාලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දෙන්නට ප්‍රදීප් සංජය ක්‍රීඩකයා සමත්වුණු අතර, පිරිමි මිටර් 400 දුර දිවිමේ ඉසව්ව නියෝජනය කර ලෝකඩ පදක්කම දිනා ගනිමින් රටට මේ ගෞරවය හිමිකර දෙමින් ඉතිහාසයට එක්වුණා.

ඉන්පසු 2016 වසරේ රියෝ හි පැවැති පැරාලිම්පික් උලෙළේදී දිනේෂ් ප්‍රියන්ත හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් රට වෙනුවෙන් දෙවැනි පදක්කම හිමි කර දුන්නා.