රාජකාරිය දේවකාරියක් සේ ඉටුකර කෝවිඩ් රෝගයට බිලි වූ ලංකාවේ පළමු ගිලන්රථ රියැදුරා

බී.ඒ අමරජීව මහතා
සැප්තැම්බර් 1, 2021

 

අපේ පුතා අවුරුදු 11 දී අපිව දාලා ගියා

 

මම දුවත් සමඟ මේ ලෝකේ තනි වුණා

 

ගිලන් රථය සයිරන් නාදය නංවමින් ⁣පවනට බඳු වේගයෙන් ඉදිරියට ඇදෙයි.මගීන් මෙන්ම මාර්ගයේ ගමන් කරමින් තිබෙන රථවාහන තම රථය එහා මෙහා කරමින් ගිලන් රථයට ඉදිරියට ඇදී යෑමට අවැසි සහාය ලබා දෙයි. මුවින් වදන් තෙපළුවේ නැති වුවද 'නීරෝගී වේවා', සුවපත් වේවා', 'Get well soon' යනුවෙන් මුමුණන්නට නැමෙන සිතක් නැති තරම් ය.

එලෙස විසි වසරක් පුරාවට ගිලන් රථයේ සුක්කානම පදවමින් රෝගීන් දහස් ගණනකට ජීවිත දානය දෙන්නට ඇපකැප වූ ඔහුට මෙලොවින් සමු ගන්නට සිදු වූයේ කෝවිඩ් මාරයා සමඟ තවදුරටත් සටන් කළ නොහැකි වූ නිසායි.ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ ගිලන්රථ රියැදුරු බී.ඒ.අමරජීව මහතා කෝවිඩ් මාරයා ගිල ගත් ලංකාවේ පළමු ගිලන්රථ රියැදුරු බවට පත් විය.

පසුගිය දා එනම් අගෝස්තු 21දා සවස හතර පසු වී විනාඩි කිහිපයක් යද්දී හෙතෙම කෝවිඩ් සටනින් පරාජයට පත් විය. ඔහුගේ බිරියට ඈත සිට යාන්තමට තම ආදරණීය සැමියාගේ මළ සිරුර පෙන්වීය. පසුදා එනම් 22දා හවස්වරුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව රත්නපුර මල්වල ආදාහනාගාරයේ දී අවසන් කටයුතු සිදු කෙරිණ.

මෙය තවත් එක් කෝවිඩ් මරණයක් වුවත් ආදාහනාගාරයේ දුම් කවුළු දිගේ අහස් ගැබට ඇදෙන දුම් වලාවන් දෙස බලා සිටියදී ආදර බිරියගේ, එකම දියණියගේ සිත් හි නැගෙන ශෝකාලාපය දන්නේ ඔවුන් පමණි. අතිශය සමීපතමයකුගේ වෙන් වීමක් හැරුණු කොට මෙවැනි වියෝවක් තවත් කෙනකුට එතරම් නොදැනෙනවා විය හැකියි. අමරජීව මහතාගේ ප්‍රිය බිරිය රූපා පද්මිණි මහත්මිය, එකම දියණිය තිළිණි ශෂිපබා තවමත් හැඬූ කඳුළින් යුතුව කාලය ගත කරයි.

කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යාලයෙන් සිය රාජකාරිය ඇරැඹි අමරජීව මහතා වසරක පමණ කාලයකට පසු රත්නපුර රෝහල වෙතට පැමිණ එදා පටන් ඔහු ගිලන් රථයේ සුක්කානම අතට ගනිමින් රෝගී ජීවිත දහස් ගණනක් බේරා දීමට ඇප කැප විය.

ඔහුගේ ආදරණීය බිරිය තම සැමියා රාජකාරිය දේවකාරිය මෙන් ඉටු කළ අන්දම පිළිබඳ අප හා පැවසූයේ බෙහෙවින් ම සංවේදී වෙමිනි.

 

"පුංචි දරුවෝ, ගැබිනි අම්මලා ගෙනියද්දී මහත්තයා හරියට අනුකම්පා සහගත වෙනවා.වෙලාවකට එයා ⁣ගිලන්රථයේ යන රෝගීන්ට කන්න බොන්න පවා අරන් දෙනවා."

කෝවිඩ් පළමු රැල්ලේ දී ඔහු ඉදිරිපත් වී රෝගීන් අංගොඩ රෝහලට ගෙන එන්නට වුණා. රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයා ආසාදනය වීමේ සිට ඔවුන් ගෙන යෑම ... මේ සෑම දෙයක් ම මගේ මහත්තයා හරිම කැපවීමකින් කළා.

මේ නිසාම ඔහුට රත්නපුර රෝහලෙන්රෝහලේ රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට හා මහජනතාවගේ සාමාන්‍ය දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට පරාර්ථකාමී සේවාවක් ඉටු කරමින් දැක් වූ දායකත්වය වෙනුවෙන් ප්‍රශංසා සහතිකයක් ද පිරිනමා තිබුණා.

Sp 7029 ගිලන්රථය මගේ මහත්තයා මුල සිටන් ම පැද්දේ.රත්නපුර ශික්ෂණ රෝහල කෝවිඩ් රෝගීන් ප්‍රවාහනය කිරීමට මුල සිටම යෙදෙව්වේ මේ ගිලන්රථය. දෙවැනි, තෙවැනි රැලිවලදී රෝගීන් ගණන වැඩි වූ නිසා අනෙක් ගිලන්රථ ත් යෙදෙව්වා.

සේවය නිම කරලා රෑ දෙක තුනට ආවත් එයා නා ගන්නවා. මම උණුවතුර ටික, ඇඳුම් මේ හැම දෙයක් ම සූදානම් කරලා තියෙනවා. එයා එළියෙන් නා ගෙන එනවා. විසබීජ ගෙදරට නොගෙනෙන්න මුල සිටන් ම වග බලා ගත්තා.

කෝවිඩ් රෝගීන් දිහා මිනිස්සු නොමනාපෙන් බලන හැටි එයා මට කියනවා.ඒ අය දිහා පිළිකුළෙන් වගේ බලද්දි දැනෙන අසරණකම කියන්න වචන නැහැ.

අපි නිවිතිගල, වතුපිටිය රෝහල අසල සාමාන්‍ය තරමට නිවෙසක් හදා ගත්තා. ඒත් අපේ පුතා අසනීප වුණු නිසා නිතර නිතර රත්නපුර රෝහලට ගෙන යන්න වුණා. මේ නිසාම රත්නපුර රෝහලෙන් මගේ මහත්තයාට නිල නිවාසයක් ලැබුණා. අපි තවම එහි ඉන්නවා. ඉදිරියෙදී සමහර විට අපට යන්න වේවි.

අපේ පුංචි පුතා හරියටම 2019 වසරේ ඔක්තෝබර් 15දා අ⁣පිව දාලා ගියා. නැති වෙද්දී එයාට වයස අවුරුදු 11 යි. එයා මාස 11 ඉඳන් අසනීප තත්ත්වයේ හිටියේ ආබාධිත දරුවෙක් විදිහට. මස් දියවීමේ රෝගය දරුවට තිබුණේ. එයාට ඇවිදින්න...කිසිම දෙයක් කර ගන්න බැහැ. මම වඩාගෙනමයි පාසල් ගෙන ගියේ. එයා ශිෂ්‍යත්ව විභාගයත් සමත් වුණා. දරුවගේ අසනීප තත්ත්වය ගැන මහත්තයා හරියට දුක් වුණා. එයා හම්බ කරන සල්ලි දරුවා වෙනුවෙන් නොසෑහෙන ලෙස වියදම් කළා.

 

දැන් මමයි,මගේ දුවයි මේ ලෝකේ තනි වුණා. අපිට පුදුමාකාර අසරණ බවක් දැනෙන්නෙ. මහත්තයා ඉද්දී අපිට ආර්ථිකය අතින් ⁣ලොකු අඩුපාඩුවක් තිබුණේ නැහැ.එයාගේ විශ්‍රාම වැටුප තමයි මින් ඉදිරියට අපේ ආදායම් මාර්ගය වෙන්නේ. මම රැකියාවක් කළේ නැහැ.

17හැවිරිදි වියේ පසුවන මගේ දුව හැඬූ කඳුළින් කාලය ගත කර⁣න්නේ. එයා ලබන වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටින්න නියමිතයි. කලා අංශයෙන් උසස්පෙළ හදාරන ඇ සරසවි වරම් ලබන්න හරිම කැමැත්තෙන් ඉන්නේ. එයා දුක් වෙන්නේ 'අනේ මම විභාගය පාස් වෙලා,කැම්පස් ගිහින් උපාධිය ගන්නවා බලන්න තාත්තා නැහැනේ' කියලා.

මගේ සැමියා වකුගඩු ආබාධයකින් පෙළුණා. බෙහෙත් විදින්න, පරීක්ෂණ කරන්න එයා රෝහල්ගත වුණා. එදා රෝහලෙන් එද්දි නැවත රෝහල්ගත වන දිනයක් දුන්නා. ඒ දවසේ යද්දී කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වුණා. ඒ අගෝස්තු 02දා. එයා සාමාන්‍ය අතට පත් වෙලා අගෝස්තු 17නැවත නිවෙසට ආවා. දින 14ක් පිරුණු නිසා වෙන්න ඇති රැපිඩ් ඇන්ටිජන් එකක් කළේ නැහැ.මේ වෙද්දිත් එයාගේ කකුල් ඉදිමිලා එහෙම තිබුණේ. තවත් දින හතරකින් වකුගඩු සම්බන්ධ සායනයට යා යුතුව තිබුණා. මේ අගෝස්තු 21දා.එදා එයාව රෝහල්ගත කළා. එදාම හවස්වෙද්දි එයා මිය ගියා. කෝවිඩ් වැළඳීම නිසා සිදුවූ මරණයක් බවට තහවුරු කළා.

මටත්, මගේ දියණියට රැකවරණයට සිටි සෙනෙහෙබර සැමියෙක්, ආදරණීය තාත්තෙක් නැති වුණා. ඒ පාඩුව, පාළුව, තනිකම, කාන්සිය නිවා ගන්න, හිත හදා ගන්න හරිම අමාරුයි.' ඈ ඒ වදන් කිහිපය පෙළ ගස්වා ගත්තේ ඉතාම අසීරුවෙනි.

අපේ රටේ පළමු ගිලන්රථ රියැදුරා කෝවිඩ් මාරයාට බිලි වූයේ සෞඛ්‍ය සේවකයින්ගේ සේවය වැඩිවැඩියෙන් අවශ්‍ය ම වූ මොහොතකදී ය.

බී.ඒ. අමරජීව මහතාණෙනි ඔබ ගිලන්රථයේ සුක්කානම අතට ගෙන කෝවිඩ් රෝගීන් ගණනාවකගේ පණ නල රැක දෙන්නට ඇති. එහෙත් දෛවයේ සරදමක් විලසට දෝ කෝවිඩ් මාරයා විසින් ම ඔබව මරු තුරුලට ගෙන්වා ගත්තේ හිත් පිත් නැති විලසිනි.

මේ අකුරු කළ සටහන ඔබට මෙන්ම කෝවිඩ් රෝගයට බිලිව ජීවිතයෙන් මෙතෙක් වන්දි ගෙවන්නට වූ සියලුම සෞඛ්‍ය සේවකයිනට උපහාරයක් ම වේවා!

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.