ඔබගේ ආදායම වත්කමක් කරගනිමු

නොවැම්බර් 10, 2021

 

ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයන්ගේ සාර්ථකත්වයට තුඩු දුන් හේතු ගණනාවකි. ඉන් ඇතැම් හේතු ඔවුන්ගේ ජීවිතයේ පුරුදු ලෙස වර්ධනය කරගත් ඒවා ය. එම පුුරුදු දිනෙන් දිනම ඔවුන් ජයග්‍රාහී ඉලක්ක වෙත ළං කිරීමට සමත් වී තිබේ. එම නිසා ජීවිතය ජය ගැනීමට නම් අපගේ ජීවිතවල ද මෙම පුරුදු ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතුය.

අද අපි කතා කරන්නේ සාර්ථක පුද්ගලයන් ලෙස ලෝකයේ වැඩි කතාබහකට ලක්ව ඇති පුද්ගලයන් තුළ තිබූ වැදගත් ම පුරුද්දක් ගැනයි. එනම් අප කතා කරන සාර්ථකත්වයට වැදගත් වන්නා වූ ප්‍රධාන පුරුදු දහයෙන් පස්වැන්නයි. එනම් සාර්ථකත්වයට පත් වූ හා සාර්ථකත්වයට පත්වීම සඳහා උනන්දු වන පුද්ගලයන් තම වියදම් රටාව හැඩගස්වාගෙන ඇති ආකාරයයි.

අසාර්ථක ජීවිත ගත කරන පුද්ගලයන්ට වඩා සාර්ථකත්වය ලබා ගත් හා සාර්ථකත්වය අපේක්ෂා කරන පුද්ගලයන්ගේ වියදම් රටාව බොහෝ වෙනස් ය.

මෙයින් දිළිඳු, අසාර්ථක ජීවිත ගත කරන අයගේ වියදම් රටාව ගැන පළමුව අපි අවබෝධයක් ලබා ගනිමු. මෙවැනි පුද්ගලයන් තම ආදායමෙන් බොහෝ ප්‍රමාණයක් වියදම් කරන්නේ පරිභෝජනය සඳහා ය. පරිභෝජන වියදම් ලෙස සලකන්නේ ආහාර පාන ආදිය සඳහා යොදවන මුදල් පමණක් නොවේ. එම වියදමෙන් නැවත ආදායමක් උත්පාදනය නොවන වියදම් පරිභෝජන වියදම් ලෙස සැලකේ.

මෙහිදී ආහාර, ඇඳුම් පැලඳුම්, බෙහෙත් ආදිය සඳහා කරන වියදම් පාරිභෝගික වියදම් වුවත්, ආයෝජන ලෙස ගැනිය නොහැකි අනෙක් සියලු වියදම් පාරිභෝගික වියදම් වේ. අසාර්ථක ජීවිත ගත කළ පුද්ගලයන්ගේ වියදම්වලින් වැඩි කොටස වෙන් වන්නේ පාරිභෝජන වියදම් සඳහා වන නිසා ඔවුන් නොදැනුවත්වම ණය උගුලක සිර වේ. ඔවුන් නිතර නිතර පාරිභෝගික වියදම් වැඩි කරන අතර එමගින් තම වියදම් වැඩිකර ගනී.

මේ අනුව නිවෙසේ විශාල රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීම පාරිභෝජන වියදමකි. මෙහිදී පවසන්නේ රූපවාහිනියක් නිවෙසට අනවශ්‍ය භාණ්ඩයක් බව නොවේ. රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගත්ත ද ඉන් ඔබට යම් ආදායමක් නොලැබෙන බවයි. එමනිසා එය පරිභෝජන වියදමකි. එමෙන්ම නිවෙසට සෝෆාවක් මිල දී ගැනීම, රෙදි සෝදන යන්ත්‍රයක් මිල දී ගැනීම, ඔබගේ භාවිතය සඳහා මිලදී ගන්නා නවීන පන්නයේ මිල අධික ජංගම දුරකතනයක් මිල දී ගැනීම ආදිය පරිභෝජන වියදමක් වන්නේ ඉන් ඔබට යම් මුදලක් ඉපයීමට නොහැකි බැවින් හා කාලයක් යන විට එම ගත් භාණ්ඩයේ වටිනාකම අඩු වනවා නම් එය පරිභෝජන වියදමකි.

නමුත් ධනවත් වන පුද්ගලයන්ගේ ජීවන රටාව මෙයට වඩා වෙනස් වේ. ඔවුන් තමා උපයන ආදායමෙන් පළමුව වෙන්කරන්නේ පරිභෝජනය සඳහා නොවේ. ඔවුන් ඒවායෙන් මිල දී ගන්නේ වත්්කම් ය. පාරිභෝජනය සීමාකර වත්කම් වැඩිකර ගැනීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු වීමයි.

ඔවුන් සතු ප්‍රාථමික ආදායම් මාර්ගයට අමතරව ද්විතීයික හා තෘතියික ලෙස විවිධ ආදායම් මාර්ග සලසා ගනී. මෙලෙස විවිධ ආදායම් මාර්ග සලසා ගැනීමෙන් දිනෙක ඔබ සතු වත්කම් හා ධනය ඉහළ යාමක් සිදුවේ.

ඔබ රුපියල් පනස්දහසක මුදලක් උපයන අයෙක් යැයි සිතමු. ඔබ එම පනස්දහසම පරිභෝජනය සඳහා වියදම් කරන්නේ නම් ඔබ පරිභෝජනය සඳහා ඊළඟ මාසයේ දී ද මහන්සි වී වැඩකර පනස්දහසක මුදලක් උපයා ගත යුතුය. නැවතත් එම පනස්දහසම වියදම්කර ඔබ ජීවිතය ජීවත් කරයි. මෙලෙසින් ඔබ ජීවිතකාලය පුරාම සිදු කරන්නේ යම් වේතනයක් ලබමින් එය වියදම් කිරීම පමණි.

ඔබ මිය යන තෙක් ජීවත්වීම වෙනුවෙන් වැඩකර මුදල් උපයා ඒවා වියදම් කරයි. මෙය වැඩ කිරීම තුළින් මුදල් ඉපයීම හෙවත් ඇක්ටිව් ඉන්කම් ලෙස හඳුන්වයි.

නමුත් ලෝකයේ බොහෝ ධනවතුන්ගේ මුදල් ඉපයීමේ රහස වන්නේ අක්‍රිය මුදල් ඉපයීමයි.

එනම් යම් ලෙසකින් කායික හෝ මානසික ශ්‍රමය මඟින් යම් මුදලක් උපයා එම මුදලෙන් අඩු කොටසක් පාරිභෝජනය සඳහා වියදම්කර වැඩි කොටසක් ආයෝජනය කරයි.

ඉහත උදාහරණය ම ගන්නේ නම් රුපියල් පනස්දහසක් උපයන පුද්ගලයකු නම් ඔහු ඉන් භාගයක් පරිභෝජනය සඳහාත් අනෙක් අඩ ආයෝජනයටත් යොදවයි. මෙවැනි පුද්ගලයන් මිල අඩු ජංගම දුරකතනයක් මිලදී ගනී.

කාලයක් යන තෙක් රෙදිසෝදන යන්ත්‍ර හෝ වෙනත් මිළ අධික යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී එම මුදල් ආයෝජන සඳහා යොදවයි. සුඛෝපභෝගී භාණ්ඩ අඩුකර පරිභෝජනය සඳහා යන වියදම අඩුකර ඉතුරුම් ප්‍රතිශතය වැඩිකර ගනී. මෙලෙස ඉතිරකර යම් ප්‍රාග්ධනයක් සකසාගෙන ඉන් යම් වත්කම් මිල දී ගනී.

මේ නිසා ඔබත් ඔබගේ පාරිභෝජන වියදම් හැකි පමණ අඩුකර ගැනීමට සැලසුමක් සකසා ගැනීම වැදගත් වේ.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු