හෙට දවස අවිනිශ්චිතයි ඉවසීමෙන් දරා ගනිමු

සකසුරුවම අදම අරඹන්න වගකීම ඔබේ අතේ
මැයි 30, 2022

 

 

ඔබ මා මේ ගෙවා දමමින් සිටිනුයේ ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයකි. විවිධාකාරයේ ආර්ථික, දේශපාලනික, සමාජීය ගැටලු බොහොමයකින් හෙම්බත්ව පීඩා විඳින මේ කාල වකවානුවේ සතුටක් පෙනෙන මානයක හෝ නොවේ.

 

නමුත් ජීවිතය යනු සතුට, සිනහව සේම දුක, කඳුළත් එකලෙස විඳ දරා ගත යුත්තකි. 'පැමිණි දුක් පැණි රසයි' කියන්නා සේ මේ දුෂ්කර කාලසීමාව ඉවසීමෙන් පසුකරලන්නට අපි උත්සාහ දරමු.

විශේෂයෙන්ම කාන්තාවක වූ ඔබට මෙහිදී කළ හැකි කාර්යයන් බොහෝය. මන්ද ගෘහණියක ලෙසින් අරපිරිමැස්ම මෙන්ම සකසුරුවම ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම හරහා ඔබට පවුලේ ආර්ථිකය ගොඩනංවන්නට දායක විය හැකිය.

 

ප්‍රමාණය වැදගත්

මොහොතක් සිතා බලන්න. අපට මුළුතැන්ගෙය තුළින්ම සකසුරුවම ආරම්භ කළ හැකියි නේද? පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ආහාර පිසින්නේ ඔබයි. එබැවින් අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් පිසින්නට පුරුදු වන්න. එමඟින් දිනපතා මුළුතැන්ගෙයින් ඉවතලන ආහාර ප්‍රමාණය වළක්වා ගත හැකියි.

ඇතැම් ගෘහණියන් පුරුදු වී සිටින්නේ එක් ආහාර වේලකට ව්‍යංජන, මස් මාංස කිහිපයක්ම සැකසීමටයි. පවුලේ සාමාජිකයන්ගේ රුචිකත්වය අනුව එකිනෙකා ප්‍රිය කරන ආහාර සැකසීමෙන් සිදුවන නාස්තිය කොයිතරම් ද? එබැවින් සැමදෙනාම ප්‍රියකරන සහ පෝෂණ ගුණය සහිත ආහාර වේලක් සැකසීමට උනන්දුවන්න. එය ආහාර නාස්තිය වළකා ගැනීමට මෙන්ම මේ දිනවල පවත්නා ඉන්ධන හිඟයට ද යම් පිළියමක් වේවි.

දර ළිපක සහය

ඔබ නොඅනුමානව සොඳුරු මුළුතැන්ගෙයක් තුළ විදුලිය සහ ගෑස් භාවිතයෙන් ආහාර පිසින්නියක් විය හැකියි. නමුත් කාලයේ තාලයට එය අධික වියදමකි. මේ මුළුතැන්ගෙයින් පිටත ඉඩ ඇති ස්ථානයක දර ළිපක්, පුංචි පෝරණුවක් තනා ගන්නට උනන්දු වන්න. මේ දිනවල අන්තර්ජාලය පිරික්සා බැලුවහොත් එවැනි හුරුබුහුටි ළිපක් තනා ගන්නට අපූරු අදහස් බොහොමයක් දැකිය හැකි බැවින් මෙය එතරම් අපහසු කටයුත්තක් නොවේවි. 'දඩිබිඩියේ උදෑසන රැකියාවට යන්නට දඟලන අපි දර ළිප්වල දැලි නාගෙන උයන්නේ කොහොමද?' ඔබට එසේ සිතේවි. ඒත් නිවාඩු දවසට නිදහසේ මේ දර ළිපෙන් හොඳ ප්‍රයෝජනයක් ගත හැකියි. පොලොස් ඇඹුලක්, ඇඹරැල්ලා ව්‍යංජනයක්, හොඳ කට සැර බැදුමක් නිවාඩු දවසට සකසා කල් තබාගතහොත් සතියේ දවසට මහත් පහසුවක් දැනේවි.

 

ගෙවත්තෙන් හොයන්න

මේ දිනවල එළවළු ගිනි ගණන්. ඒ නිසා ගෙවත්තේ ගහකොළ ඇසුරෙන් ව්‍යංජනයක්, මැල්ලුමක් සකසා ගන්නට මැළිවන්න එපා. මෙතෙක් දවසක් ගස් යට වැටී කුණු වී ගිය කොස්, දෙල්, අල, බතල, පලතුරු ප්‍රයෝජනයට ගන්න. කල්තබා ගත හැකි උපක්‍රම කිහිපයක් භාවිත කරන්න. එවිට කිසිදු විටෙක ඔබට ආහාර හිඟයකට මුහුණ දීමට සිදු නොවේවි. ඒ හැර මෙවැනි ආහාර අපතේ නොයවා තවත් කෙනකුට පිරිනමන්නට හැකි නම් එය තවකකුට අපුරු අස්වැසිල්ලක් ද වේවි.

 

ඉවත දමන දෙයිනුත් ප්‍රයෝජන

දිනපතා ලේසියට, පහසුවට පිසින අල, පරිප්පු, බෝංචි වෙනුවට ගෙමිදුලේ හැදෙන එළවළු, පලා ආහාර වේලට එකතු කරගන්න. කෙසෙල් මුව, ඇඹරැල්ලා, කොස්, පොලොස් ඔබේ බතට රසය සේම ගුණය ද නොඅඩුවම සපයාවි.

ඊට අමතරව ඇතැම් ව්‍යංජන සැකසීමේ දී ඉවත් කරන කොටස් ද මේ දිනවල ඉවත දමන්න එපා. අළුකෙසෙල් පොතු, වැටකොළු පොතු, කොස් මදුළු වටා ඇති ඉරි, කොස් ඇට මේවායින් රසවත් බැදුමක් සකසා පසුදා ආහාර වේලට එකතු කරන්නට තරම් ඔබ සූක්ෂම වන්න.

 

දරුවන්ගේ ඉල්ලීමට...

බොහෝ වෙලාවට නිවෙසේ පුංචි දරුවන්ට මේ දිනවල පවත්නා ගැටලු තේරුම් ගත නොහැකියි. එබැවින් විවිධ ආකාරයේ රසමසවුළු, ක්ෂණික ආහාර පාන ඉල්ලා කරදර කරනවාත් ඇති. නමුත් මවක වූ ඔබ ඔවුන්ගේ සිත් නොරිදවා පෝෂණ ගුණය සහිත ආහාරපාන නිවෙසේදීම සකසා දෙන්නට උනන්දු වන්න. විශේෂයෙන්ම බේකරි ආශ්‍රිත ආහාර මේ දිනවල අධික මිලකට අලෙවිවන බැවින් හාල් පිටි, ආටා පිටි ආදියෙන් නිවෙසේ දී ම පාන්, බනිස්, පිට්ටු, ඉඳි ආප්ප, තෝසේ සකසා ගන්න. එමඟින් ආහාර සඳහා නිරපරාදේ වැයවන මුදල් ඔබට ඉතිරි කරගත හැකියි.

මුළුතැන්ගෙය, ආහාර පානවලට සේම ඔබේ අනෙක් විය පැහැදම් ද අවම කරන්න. අලුත් ඇඳුම්, පැලදුම්, සපත්තු සඳහා මඳකට තිත තබන්න. අත්‍යවශ්‍ය දෙයක් සඳහා පමණක් මුදල් වැය කරන්න. අනවශ්‍ය ගමන් බිමන් නවතා දමන්න. මේ අපි හැමදෙනාටම අපහසු කාලසීමාවකි. අසීරුම කාලයකි. ඉවසීමෙන් දරාගෙන සිටිමු. ජීවිතය හැමදාමත් අසීරු නොවේවි.