ආචාරශීලීබව ඔබේ වටිනාකම ඔපලයි

අගෝස්තු 1, 2022

 

උත්සව හා කාන්තාවන් අතර ඇත්තේ අපූරු සබඳතාවකි. අපේ තරාතිරම කුමක් වුවත් ආරාධනාවක් ලැබුණොත් මේ උත්සව අවස්ථාවලට අපි සහභාගී විය යුතුයි. මෙහිදී අපේ වැඩි අවධානය යොමු වන්නේ අප අඳින පලඳින ආකාරය වෙතයි. ඒ නිසාම බොහෝදෙනා තමන්ට හැකි උපරිමයෙන් ලස්සනට හැඩ වී යති.

 

ඇත්තටම පිළිවෙළට, සුන්දරත්වය කැපී පෙනෙන ලෙස අප හැඩ වී යා යුතුයි. ඒත් මොනතරම් ලස්සනට හැඩ වෙලා ගියත් වැඩක් නැහැ හැසිරෙන්නට දන්නේ නැත්නම්. මෙහිදී හැසිරීම ලෙසින් කතාබහ කරන ආකාරය, සිනාසෙන ආකාරය වගේම ආහාරපානාදිය ගන්නා ආකාරයත් වැදගත්. ඒවා හරියට නැත්නම් ඒකත් අපේ අඩුපාඩුවක්.

මේ වගේ අවස්ථාවල දී අනුගමනය කළ යුතු යම්කිසි නීතිරීති පද්ධතියක් තියෙනවා. අප අඳින පලඳින ඇඳුම්, ඒ වගේම කෑම මේසය තුළ දී පිළිපැදිය යුතු කරුණු කාරණා. අප කතාබහ කළයුතු දේවල්, අපේ හැසිරීම සම්බන්ධව මනා දැනුමක් ලබාගත යුතුයි.

ආරාධනාව

උත්සව අවස්ථාවක් සඳහා ඔබට ආරාධනාවක් ලැබුණු විට එය හොඳින් අවබෝධ කරගන්න. සමහරවිට එය වාචික ආරාධනාවක් විය හැකියි. එහෙමත් නැත්නම් ආරාධනා පත්‍රයක් ඔබට ලැබෙනවා විය හැකියි. එහෙමත් නැත්නම් කෙටි පණිවිඩයක් හරහා ඔබට මෙය ලැබෙනවා ඇති. සමහරවිට සමාජ ජාල හරහා ඔබට මේ ආරාධනා පත්‍රය ලැබෙනවා වෙන්නත් පුළුවන්. ඒ ආරාධනාව ඔබ බාර ගන්න. ඉන්පසු එය හොඳින් කියවන්න. එහි අඩංගු කරුණු හොඳින් වටහා ගන්න. දක්වා ඇති දිනය, වෙලාව හොඳින් අවබෝධ කරගන්න ඔබට ඒ දිනය සහ වෙලාව අපහසුයි නම් එය දැනුම් දිය යුතුයි. දැනුම් දීම සඳහා අවශ්‍ය පුද්ගලයාගේ දුරකථන අංක පවා ආරාධනා පතේ සටහන් වෙලා තියෙනවා.

ඉතින් අපි ඉතාමත් ලස්සනට ඇඳ පැලඳගෙන, ලස්සන මේකප් එකක් දාගෙන කොණ්ඩ මෝස්තර ද දමාගෙන පවුලේ අය සමඟ විවාහ උත්සවයකට සහභාගී වෙනවා යැයි කියා සිතමු. අප සියලු දෙනාම ශාලාවට ඇතුළුවන විටම ඔබට වෙන්වූ ආසන සටහන් කරපු නාම පුවරුවක් තිබෙනවා. එසේ නොමැතිනම් ඔබට ආරාධනා කරපු පුද්ගලයා එහි දොරටුව ඉදිරියේ සිටිනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උත්සවය සංවිධානය කරන අය ඇතුළු වෙන තැන කීපදෙනෙක් සිටිනවා වෙන්න පුළුවන්. ඔවුන් විසින් ඔබට නියමිත අසුන පෙන්වා දෙනවා. ඒ පෙන්වා දෙන ඔබට නියමිත වූ අසුනේ පමණක් හිඳ ගැනීමට වග බලා ගන්න.

අසුන් ගැනීම

ප්‍රථමයෙන්ම ඔබ කළ යුත්තේ ඔබට නියමිත වූ අසුනේ හිඳ ගැනීමයි. ඉතා හොඳ හැඟීමකින් සංයමයකින් යුතුව ශබ්ද නොගැනෙන පරිදි පුටු මත කලබලයකින් තොරව ඉඳගන්න. ඔබ අවට සිටින ඔබ හඳුනන හෝ නො හඳුනන පුද්ගලයන් සමඟ මඳ සිනාවක් පා සුහදතාව පළකරන්න. ඔබේ අතේ හෑන්ඩ් බෑග් එකක් හෝ පර්ස් එකක් තියෙනො නම් ඒවා කොයි වෙලාවකවත් එකපාර මේසෙ උඩ තබන්න එපා. එය ඔබ ඉඳගන්නා පුටුව අසල බිමින් තබා ගන්න. wallet එකක් නම් ඔබේ පුටුව මත ඉඳ ගන්නා තැන පිටුපසින් තබාගන්න.

වෙල්කම් ඩ්‍රින්ක්

මේසය මත ඔබටම වෙන් වුණු ආහාර ගැනීම සඳහා හැඳි, ගෑරුප්පු, පිඟන් කට්ටල (cutlery) තබා තිබෙනවා වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස ඒවා එහෙට මෙහෙට කරන්න අතට ගන්න යන්න එපා.

වෙල්කම් ඩ්‍රින්ක් එක ඔබ හිඳ ගත් පසුව ඔබට පිළිගන්වනවා විය හැකියි. එහෙමත් නැත්නම් එය ඔබ පැමිණෙන විටත් මේසය මත තබා තිබෙනවා වෙන්න පුළුවන්. ඔබ මොනතරම් පිපාසයක සිටියත් කිසිම වෙලාවක එම බීම එක බීගෙන බීගෙන යන්න එපා. එය ඉතා හෙමින් සීරුවට නතර කර කර බොන්න.

ප්‍රධාන ආහාර වේලට කලින් කෙටි ආහාර ඔබගේ මේසයට ලැබෙන්න පුළුවන්. ඒවා ඉතා සීමිත ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ.සියලු දෙනාම තමන්ගේ සයිටඩ් ප්ලේට් එකට අවශ්‍ය දේවල් බෙදාගෙන ආහාරයට ගත යුතුයි.

බයිට් වර්ග, චිකන් ඩෙවල්, කජු, පලතුරු, එළවළු වර්ග, චීස් කේක් මේ ඕනම දෙයක් කුඩා ප්‍රමාණවලින් ඔබට ලැබෙන්න පුළුවන්. අතින් කන්න පුළුවන් දේවල් ඔබට අත භාවිතකර ආහාරයට ගත හැකියි. හැඳි ගෑරුප්පු භාවිත කරන්න පුළුවන් නම් ඒ සඳහා ඒවා භාවිත කරන්න. ඒ සඳහා ඔබට මනා පළපුරුද්දක් තිබෙනවා නම් පමණක් ඒවා භාවිත කිරීම සුදුසුයි. එසේ නොමැති නම් ‘එක්ස්කියුස්මී' කියා හෝ කිසිවක් නොකියා වුවත් ඔබට ආහාර ගැනීම සඳහා ඔබේ අත පාවිච්චි කළ හැකියි.

 

ආචාරශීලීබව

ප්‍රධාන ආහාර ගැනීමේ දී ඔබට ඒ සඳහා වෙන් වූ තැනකට ගොස් ආහාර බෙදාගෙන පැමිණීමට බොහෝ තැන්වල සිදු වෙනවා. එහිදී පෝලිමක සිට ඔබට ආහාර ගන්න සිදු වෙන්න පුළුවන්. බොහොම සුහදශීලී, ප්‍රසන්න සිනහවකින් සහ කලබලයකින් තොරව ඉවසීමෙන් යුතුව මේ කර්තව්‍ය සිදු කළ යුතුයි. අපි මේ අවස්ථාවට පැමිණෙන්නේ හිතවතකුගේ ආරාධනාවට විය හැකියි. ආයතනයේ ප්‍රධානියාගේ ආරාධනාවක් විය හැකියි.

ආයතනය නියෝජනය කිරීමෙන් සම්බන්ධ වෙන අවස්ථාවක් විය හැකියි. මේ අවස්ථාව කුමක් වුවත් ඔබ ඔබගේ වැදගත්කම සහ ආචාරශීලී බව උපරිමයෙන් ම මේ අවස්ථාවේ දී තබාගත යුතුයි.

පළමුවෙන් මොනවද?

 

උත්සවයකට ඇතුළු වූ මොහොතේ සිට එම උත්සවයෙන් එළියට යන තුරුම ඔබ හොඳ හැඟීමකින් සුහදශීලී බවකින් සිටීම අතිශය වැදගත්. ඔබට කැමැති නම් එහිදී සුප් වර්ග, සලාද වර්ග ප්‍රථමයෙන්ම බෙදාගන්න. ඔබට නියමිත ස්ථානයෙන් ම ඉඳගෙන ආහාර ගත යුතුයි.

ඉන්පසු ප්‍රධාන ආහාර වේල ඔබට බෙදා ගන්න පුළුවන්. එහිදී තියෙන සියලුම කෑම වර්ග පිඟාන පිරෙන්න කුමන වෙලාවකවත් බෙදා ගන්න එපා. එය ඉතාමත් අවලස්සන සහ ඔබගේ පෞරුෂත්වයට හානියක්.

ඔබ කන්න කැමැති කෑම මොන තරම් තිබුණත් බොහොම ඉවසීමෙන් යුතුව ඉතා සුළු ප්‍රමාණයක් ආහාරයට ගන්න.

 

මේ ලිපියේ ඉතිරි කොටස අගෝස්තු 08 වැනි සඳුදා තරුණී e paper වෙතින් කියවන්න.

 

 

රූපලාවණ්‍ය,
පෞරුෂ සංවර්ධන හා
මනෝ උපදේශිකා
දීප්ති පෙරේරා ලියයි