අකුණු සර පරදා කරළියට ආ මීගමුවේ හී සරය ක්‍රීඩා බලධාරීන්ගේ හදවතටම විදියි

දෙසැම්බර් 11, 2023

රැළි වැටුණු අකීකරු කොණ්ඩය මේච්චල් කරන්නට දැමූ හෙයා බෑන්ඩ් එක... උස, කෙසඟ සිරුර, දිලිසෙන ඇස් දෙකක් ඇති භද්‍ර යෞවනයේ එළිපත්තේ සිටි කොල්ලෙක් ක්‍රීඩා පිටියේ පෙරළි කරපු අතීතය ක්‍රීඩාවට ආදරය කරන, ආදරය කරපු හැම කෙනෙකුටම මතකයි. රටක් විතරක් නොවෙයි මුළු ලෝකයක් බලාපොරොත්තු තැබූ අපේ දක්ෂ කොල්ලෙක් අනූව දශකයේ දී මලල ක්‍රීඩා පිටියේ දස්කම් පෑවේ වාර්තා පිට වාර්තා තබමින්.

රොහාන් ප්‍රදීප් කුමාර මලල ක්‍රීඩා පිටියේ පෙරළිකාර චරිතයක් වුණු ඔහු ගැන පිටු ගණන් පත්තිිරු අතර ලිපි ලියවුණා. විදුලිපුරයේ විදුලි සරය කියපු සුගත් තිලකරත්නගේ වාර්තාව බිඳිමින් කරළියට ආපු ප්‍රදීප්ට එදා ක්‍රීඩා ලෝලීන් කිවුවේ මීගමුවේ හී සරය කියලා. ඒ තරමටම මිනිස්සු ඔහු ගැන ආඩම්බර වුණා. 1998 සිට මීටර් 400 තරග ඉසව්වේ වාර්තාව තැබූ සුගත් තිලකරත්නගේ වාර්තාව බිඳපු ප්‍රදීප් ඉන් නොනැවති ඔලිම්පික් තරගය දක්වා ආ ගමන ඉතාම අභියෝගාත්මකය. බාධක, ගැටලු, අභියෝග හා බිඳ වැටීම් මැදින් ආ ඒ ගමන් මඟ දෙස එදා සිය දහස් ගණනක් වූ ක්‍රීඩා ලෝලීන් දෑස් දල්වාගෙන බලා සිටියේ ඔලිම්පික් පදක්කමක් රැගෙන එන දිනය එනතුරුය.

ක්‍රීඩාව වෙනුවෙන් මුළු ජීවිතය කැප කරපු ප්‍රදීප්ගේ ජීවිතයට පැමිණි බාධක හා අභියෝගවලට පිළිතුරු සොයා ගැනීමට නොහැකිව ඔහු අන්ත අසරණ වෙනවා. ඒ මොහොතේ ඔහුට අකමැත්තෙන් වුණත් ක්‍රීඩා පිටියට සමුදෙන්න සිද්ධ වුණේ ජීවිතයේ ඉදිරි අනාගතය ගැන හිතලා. එදා ක්‍රීඩා පිටියේ වාර්තා පිට වාර්තා තබන විට ඔල්වරසන් තැබූ සිය දහසක් දෙනා අතුරින් කිසිවෙකුත් නොමැතිව තනි වූ මොහොතේ ඔහු සමඟ සිටියේ ආදරණීය මවුපියන් සහෝදර සහෝදරියන් සහ ආදරණීය බිරිය පමණයි. ක්‍රීඩාව හා ඉදිරි අනාගතය අතර දෝලනය වුණු ඔහුගේ ජීවිතයේ තීරණාත්මක මොහොතේ ඔහු ක්‍රීඩා පිටියෙන් සමු ගත්තේ ඉදිරි අනාගත ගමනට කිසිම පිළිසරණක් නොමැතිව අන්නත අසරණ වූ නිසායි.

හැබැයි රොහාන් ක්‍රීඩාවෙන් සමු ගත්තත් දැන් ඔහුගේ ජීවිත ගමන ජයග්‍රහණය කරලා ඉවරයි. නමුත් ඔහු ලැබූ ජයග්‍රහණ මත ලියැවුණු මතක ආවර්ජන සැමරුම් ගොන්නක් තිබෙනවා. අතීත සැමරුම් අතුරින් ක්‍රීඩාවෙන් ඉහළට ගිය රොහාන් අපට කෙලෙසකින්වත් අමතක කරන්න බැරි චරිතයක්. අපේ රටෙන් ඈත සත් සමුදුරින් එහා අමෙරිකාවේ නිව්යෝක් නගරයේ වියනාහි පදිංචිව සිටින රොහාන්ගේ සොඳුරු කැදැල්ල දැන් හරිම සුන්දරයි. ඒ සොඳුරු කැදැල්ලේ අලුත්ම තොරතුරුත් සමඟ අප ඔහු සමඟ පුංචි පිළිසඳරකට එකතු වුණා.

‘රොහාන් මල්ලී....මම තරුණී පත්තරෙන්. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න බැරිද? පත්තරේ ලිපියකට‘. මේ කෙටි පණිවුඩයට මට විනාඩි දෙකකින් පිළිතුරක් ලැබුණා. ‘හරි අයියේ... තරුණී පත්තරේට ඕනේ වේලාවක කතා කරන්න මම කැමැතියි. හැබැයි දැන් වේලාව උදේ 1.30. හෙට මම අයියාට අනිවාර්යෙන්ම කතා කරනවා.‘ සැබැවින්ම ළෙන්ගතු වූ ඒ පණිවුඩය ගැන මට ඇති වුණේ පුදුම හැඟීමක්. ඇත්තටම රොහාන් මේ තරම් අපේ රටට ආදරෙයිද? ඔහු සිංහලෙන් තැබූ ඒ කෙටි සටහනේ තැවරිලා තිබුණා. කියපු විදිහටම රොහාන් කියපු වෙලාවට ඇමතුමක් ගත්තා. ක්‍රීඩාවෙන් තොරව රොහාන් ප්‍රදීප් ගැන කතා කරන්න බැරි නිසාම ඔහු අමෙරිකාවේ පදිංචියට හා ක්‍රීඩා අතීතය ගැන ඔහුගෙන් විමසුවේ අතීතයේ දස්කම් ගැන සිහිපත් කරමින්.

“ඇත්තටම මම ක්‍රීඩාව වෙනුවෙන් මගේ ජීවිතය කැප කළා. මම උසස් පෙළ කරනකොට හිතුණා මගේ අනාගතය ක්‍රීඩාව කියලා. ඒ නිසා මම අධ්‍යාපනයට සමු දුන්නා. මම ඒ ඉලක්කය හඹාගෙන ගියා. මම ඒ හීනය වුණු ඔලිම්පික් තරගය දුවලා ආපහු හැරිලා බැලුවා. මට ලොකු තනිකමක් දැනුණා. අපේ ක්‍රීඩාවේ ලොකු අඩුවක් තියෙනවා කියලා දැනෙන්න පටන් ගත්තා. ඇත්තටම මම ඒ ගැන බලධාරීන්ට කතා කළා. අපි ජාත්‍යන්තර තරගයක් දිනුවාට පස්සේ ඊළඟ පියවර මොකක්ද කියලා අහන ප්‍රශ්නයට ඒ අයට දෙන්න උත්තරයක් තියනවාද? මම වගේම ජාත්‍යන්තර තරග දිනපු සමකාලීන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රාශියක් ඉන්නවා. අද ඒ අයට මොකද වෙලා තියෙන්නේ. දර්ශා අද ලංකාවේ නෑ. සුගත්ලා, සුසන්තිකාලා, ශ්‍රියානිලා, මංජුල වැනි ජාත්‍යන්තර තරග දිනපු අයගෙන් අනාගතය වෙනුවෙන් වැඩක් ගන්න සැලැස්මක් මේ රටේ ක්‍රීඩා බලධාරීන්ට තිබුණේ නැහැ. ඒ වගේ දෙයක් පෙනෙන්නවත් නැහැ. මේ දිනපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුකරුවන් ලෙස තනතුරක් ලබාදීලා පැත්තට කිරීමෙන් ක්‍රීඩාවේ අනාගතය ගැන හිතන්න පුළුවන් ද? ඒ නිසා මම තීරණය කළා මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් කරන කැප කිිරීමට වටිනාකමක් නොලැබෙන නිසා ක්‍රීඩාවෙන් සම්පුර්ණයෙන්ම සමු ගන්න. අකමැත්තෙන් වුණත් එදා ඒ තීරණය මම ගත්තේ කලකිරීමෙන්.

රොහාන් ඒ ගත්තු තීරණය ගැන දැන් මොකද හිතෙන්නේ?

මම ගත්තු තීරණය හරියි කියලා මට හිතෙනවා. මට දැන් පැහැදිලිව පෙනුණා අපේ මලල ක්‍රීඩාවේ අපි කරපු කැප කිරීමට නිසි වටිනාකමක් නොලැබෙන බව. මට එදා මගේ අනාගතය ගැන හිතන්න සිද්ධ වුණා. ඒ වගේම ක්‍රීඩකයෙක් ලෙස මට පැමිණි අභියෝගවලදී බොහෝ අවස්ථාවලදී අසරණ වෙලා ඒ වෙනුවෙන් තනියෙන් මුහුණ දුන්නා. මම තරග කළේ පුද්ගලිකව මගේ ලාභ ප්‍රයෝජන ගැන හිතලා හරි, පදක්කම් ගැන බලාපොරොත්තුවකින් නෙවෙයි. අපේ රට වෙනුවෙන් මගෙන් වෙන්න තිබුණු යුතුකම ඉටු කරන්න. මට මතකයි අපේ අම්මා කියනවා මම ඉපදුණු වෙලාවේ මගේ කකුලේ තිබුණු කළු පැල්ලම දැකලා ඩොක්ටස්ලා කිව්වාලු අම්මාට දියසෙන් කුමාරයෙක් ඉපදිලා කියලා. ඇත්තටම ඒ තරම් බලාපොරොත්තු තියාගෙන හිටපු මගේ මවුපියන්ට ඒ හීනය සැබෑ කරලා දෙන්න බැරි නම් මට මේ රටේ ඉඳලා තේරුමක් නැහැ කියලා හිතුණු නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තේ. ඒ තීරණය ගත්තා නෙවෙයි ඇත්තටම ගන්න සිද්ධ වුණා.

දැන් රොහාන් ඇමෙරිකාවේ මොකද කරන්නේ? ඔයාගේ පවුලේ තොරතුරු ටිකක් දැනගන්නත් කැමැතියි?

මම පදිංචි වෙලා ඉන්නේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ වියනාවල. දැන් නම් කිසිම ක්‍රීඩාවක් කරන්නේ නැහැ. හැබැයි ක්‍රීඩා ලෝලියෙක් ලෙස ක්‍රීඩාවට තවමත් ආදරෙයි. මගේ බිරිය අනුරුද්ධිකායි පුතාලා දෙදෙනයි එක්ක තමයි මගේ කාලය ගෙවෙන්නේ. මම මේ නගරයේ ‘කියුන්‘ කියන පාසලේ රථ වාහන අංශයේ පරීක්ෂකවරයෙක් ලෙස සේවය කරනවා. මම මේ රටට ඇවිත් වසර කිහිපයක් වෙනවා. ඒ කාලය තුළ අපේ රටේ ක්‍රීඩාවට තිබෙන සැලකිල්ලත් මේ රටේ තිබෙන දක්වන සැලකිල්ලත් විශාල පරතරයක් තියනවා දැක්කා. ඇත්තටම ප්‍රදීප් ඔබ අපේ ක්‍රීඩා බලධාරීන් පිළිබඳ සඳහන් කළ තත්ත්වය බරපතළයි. ඒ කියන්නේ අපේ රටේ අනාගතයේ දී දක්ෂයන් බිහි නොවෙයි කියලා ද ඔබ කියන්නේ?

අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. ඒ දක්ෂයන් ඉදිරියට ගෙන යන්න නිසි සැලසුමක් තිබිය යුතුයි කියන දේ මම හැමදාමත් කියනවා. අපේ රටේ ජාත්‍යන්තර තරග දිනුවාට පස්සේ ශ්‍රී ලංකා කොඩිය අරගෙන පෙළපාළියේ යනවා. ඊට පස්සේ සීතල කාමරවලට වෙලා විස්කි බීලා ක්‍රීඩාව දියුණු කරන්න සැලසුම් හදන පිරිසක් ඉන්නව. ඒ පිරිස ලංකාවට ආවට පස්සේ කියපු දේවල් ඔක්කෝම අමතකයි. ඇත්තටම අපේ රටේ තරග දිනනවා. ඒ තරග වාර්තාව තියන්නේ අවුරුදු කීයකට පස්සේද? අපේ රටේ මේ වසරේ ආසියානු මලල ක්‍රීඩා පදක්කමක් දිනා ගැනීම හරිම වටිනවා. මේ නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ පුහුණුවක් ලබාදෙන්න ඕනෙ. ජාත්‍යන්තර පුහුණු පාසල්වලට යොමු කළොත් තමයි ඒ අය ජාත්‍යන්තර තරගකරුවන් සමඟ තරග කිරීමට පුහුණු වෙන්නේ. එහෙම නැතුව තරගයක් දිනුවාට පස්සේ තමුන්ට අභියෝගයක් වුණු ක්‍රීඩකයා හරි ක්‍රීඩිකාව හරි දකින්නේ ඊළඟ වසරේ. මම දැන් ක්‍රීඩකයෙක් නොවන නිසා ක්‍රීඩාව ගැන උපදෙස් දෙන්න කැමැති නෑ. නමුත් ක්‍රීඩා ලෝලියෙක් ලෙස අපට ඉන්න මේ දක්ෂ පරපුර ජාත්‍යන්තර තරග සඳහා සහභාගී කරවීම ගැන අවධානය යොමු කළ යුතුයි. එහෙම නැතුව පුහුණුවී මෙන්ම පමණක් මේ ක්‍රීඩාව ජයග්‍රහණය කරන්න බැහැ.

රොහාන් සමඟ කළ සොඳුරු පිළිසඳරේදී ඔහු දැක්වූ අදහස් බෙහෙවින්ම අපේ අනාගතයට වැදගත්. එය ක්‍රීඩා බලධාරීන්ට කළ අභියෝගයක් හෝ අවමානයක් ලෙස භාර ගැනීමට වඩා ඔහුගේ අදහස් තුළින් යමක් උකහා ගනිිමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ හැකි නම් එය සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයටම ශක්තියකි.

 

 

සම්බන්ධීකරණය - අජන්ත සිල්වා