ක්‍රිකට් පිටියට දකුණින් පායන ගුරු තරුව

ජනවාරි 1, 2024

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ නොමැකෙන සටහන් තැබූ වාර අනන්තය. මිහිරි මෙන්ම අමිහිරි අත්දැකීම් අතුරින් අප තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කිරීම අත්හැර නැත්තේ ඒ නිසාමය. අප තවමත් බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නේ ජයග්‍රහණයක් ගැනය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන අප තබා ඇති බලාපොරොත්තුව ද එලෙසින්ම දල්වාගෙන බලා සිටින්නේ ඔවුන් පසුගිය ආසියානු තරගාවලියේ දී ලැබූ ජයග්‍රහණ නිසාය.

එහෙත් බොහෝ විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතුරින් අපට හුරු පුරුදු නමක් වන්නේ නායක චමරි අතපත්තුය. ඇය ද පසුගිය දා අභියෝග රැසක් මැද ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වීම ඉතා ප්‍රශංසනීය වේ. චමරි හැරෙන්නට අප කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් බොහෝය. එහෙත් ශතකයක් වාර්තා කළ ක්‍රීඩිකාවක් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. විශේෂයෙන් සීමිත ඕවර් තරගයකදී ශතකයක් ලබා ගැනීම සුවිශේෂී දක්ෂතාවයකි.

නිමාවට පත් වූ අන්තර් සමාජ පළමු පෙළ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශතක හතරක් වාර්තා විය. ඉන් තුනක්ම ශතක වාර්තා කළේ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් තිදෙනෙකි. නමුත් ඉන් එක් ශතකයක් වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩිකාවකි.

ඇය පියුමි වත්සලාය... දැනට අධ්‍යාපන අමාත්‍යායංශය නියෝජනය කරන පළමු පෙළේ ක්‍රීඩිකාවකි. එසේම ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පළමු පෙළේ එකම ගුරුතුමියයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන වත්සලා ගාල්ල සවුත්ලන්ඩි බාලිකා විද්‍යාලයේ සේවයකර වර්තමානයේ කතළුව ජාතික පාසලේ සෞඛ්‍ය හා ශාරීරික අභ්‍යාස ගුරුවරියක ලෙස සේවය කරයි.

දකුණතින් පන්දුවට පහර දෙන වත්සලා පානදුර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක ලෙසින් අන්තර් සමාජ ක්‍රීඩා තරගයට එක් වී ඇය මෙවර බී.ආර්.සී. පිලට එරෙහිව ලකුණ 119ක් ලබාගත්තේ හතරේ පහරවල් 13ක් සමඟිනි. සමස්ත තරගාවලියේදීම ඇය ලකුණු 144ක් ලබාගත්තේ පානදුර කණ්ඩායමට විශාල ශක්තියක් වෙමිනි. පන්දුවට පහර දෙන පිතිකාරිනියක ලෙස කැපී පෙනෙන ලෙසින් පිතිහරඹයක යෙදුණු වත්සලාගේ පන්දුවට පහර දුන් විලාශය පිළිබඳ ක්‍රීඩා විචාරකයන් හා තරග නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගත්තේය.

බෙලිඅත්ත ධර්මපාල විද්‍යාලයෙන් මුලින්ම ක්‍රීඩා පිටියට පිවිසි වත්සලාගේ අනාගත සිහිනය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වීමයි. ඒ පිළිබඳ ඇය සඳහන් කළේ මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ රඳවාගෙනය.

‘මට තවම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබිලා නැහැ. මුලින්ම වේග පන්දු යවන ක්‍රීඩිකාවක ලෙසින් හොඳ දස්කම් පෙන්වන්න හැකි වුණා. මාතර දිස්ත්‍රික් ක්‍රිකට් පිල පළමු ශ්‍රේණියට උසස්වීම ලැබූ අවසන් තරගයේදී ලකුණු 16ට කඩුළු 4ක් ලබා ගත්තා. මගේ මුල්ම පුහුණුකරු වුණේ ගලප්පත්ති සර්. ඊට අමතරව මගේ ගමනට උදවු කළ ගුරුවරු රාශියක් සිටිනවා. ඒ වගේම කතළුව ජාතික පාසලේ විදුහල්පතිතුමා මගේ හැකියාවට හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ හැම කෙනෙකුට ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඇත්තටම මගේ දස්කම් තවත් ඉදිරියේදී දියුණු කරගනිමින් ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩිකාවක් වීම තමයි මගේ ලොකුම සිහිනය‘

ඇය තම දක්ෂතාවය තුළින් ඉදිරියට එන්නට විශාල කැපවීමක් කරයි. තමා ලැබූ අධ්‍යාපනය හා පුහුණුව ද ප්‍රයෝජනයට ගනිමින් ඇය අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩා තරුවක් ලෙසින් දිදුලන බවට නිසැකය. ඒ සඳහා ඇයට පියවර තබන්න ශක්තිය ධෛර්ය ලැබෙවායි අපි ප්‍රාර්ථනා කරමු.