ඒයි.. මොකක්ද මේ AI

අප්‍රේල් 1, 2024

වසර ගණනාවක් පුරා නේක විවිධ අවධින් පසු කරමින් පැමිණි ගමන් මග පුරාවට විවිධාකාර වූ ජීවීන් සමූහයක් අතර ඉහළින්ම වැජඹීමට මිනිසාට නිරන්තරයෙන්ම හැකියාව ලැබුණේ මිනිසා සතු වූ බුද්ධිය නිසාමය. නමුත් අද වනවිට ඒ හා සමාන කෘත්‍රිම බුද්ධියක් මිනිසා විසින්ම නිපදවා ඇත. කෘත්‍රිම බුද්ධිය (AI) යන්නෙන් අදහස් කරන්නේ ඇල්ගොරිතම සංයෝජනය තුළින් මිනිස් මොළයේ හැකියාවන් ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා නිර්මාණය කර ඇති යන්ත්‍ර මඟින් ක්‍රියාත්මක කරන ලද බුද්ධි මෙහෙයුම් ය.

 

ඉතින් මොකක්ද මේ කෘත්‍රිම බුද්ධිය?

 

කෘත්‍රිම බුද්ධිය ලොවට ආගන්තුක සංකල්පයක් නොවේ. පරිගණකය ලොවට හඳුන්වා දුන් මුල් අවධියේ සිට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහසක් පරිගණක විද්‍යාඥයින් සතුව තිබිණි.ජෝන් මැකාති හෙවත් කෘත්‍රිම බුද්ධියේ පියා දක්වන අර්ථකථනයට අනුව කෘත්‍රිම බුද්ධිය යනු “ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලියකි” යනුවෙන් පවසන ලද්දේ 1950 වසරේදී ය. එයින් පසුව විද්‍යාඥ ඇලන් ටියුරින් විසින් 1950 වර්ෂයේ දී ටියුරින් පරික්ෂාව හඳුන්වා දෙන ලද අතර එමඟින් යම්කිසි පරිගණක වැඩසටහනක බුද්ධිමත්භාවය මනිනු ලබනවා.

කෙසේ වෙතත් වර්තමානය වන විට විශ්ලේෂණාත්මක, කළමනාකරණ, සැලසුම්, සහ යම් යම් අරමුණු වෙනුවෙන් මෙම කෘත්‍රිම බුද්ධිය භාවිතා කරනු ලබයි.

කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘත්‍රිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘත්‍රිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට හැකියාව තිබෙනවා මිනිසාගේ මැදිහත්වීමකින් තොරවම බාහිර පරිසරයේ වෙනස්වීම් සහ ක්‍රියාවන් තනිවම ඉගෙනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න.

හැබැයි එකක් මතක තියගන්න ඕන, මේ උපකරණ රොබෝ තාක්‍ෂණය භාවිත කරනවා කියලා හැම උපකරණයක්ම රොබෝ කෙනෙක්ගේ ස්වරූපය ගන්නේ නැහැ. විවිධ ස්වරූපවල උපකරණ තිබෙන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය සහිත. පරිගණකයක්, නියමුවන් රහිත ගුවන් යානයක් හෝ එය මිනිස් මෙහෙයවීමකින් තොර තණකොළ කපන යන්ත්‍රයක් වෙන්නත් පුළුවන්. ඒ සරල උදාහරණ කිහිපයක් පමණයි.

 

AI තාක්ෂණය යොදා ගන්නා අවස්ථා

 

සාමාන්‍ය AI හි අරමුණ වන්නේ මිනිසුන්ට සමාන බුද්ධි මට්ටමක් ප්‍රදර්ශනය කිරීමයි.
AI විසින් සෞඛ්‍ය සේවා, මූල්‍ය, ප්‍රවාහන, නිෂ්පාදන සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල යෙදුම් සොයාගෙන ඇත. කර්මාන්තවල විප්ලවයක් ඇති කිරීමට, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ සංකීර්ණ ගැටලු විසඳීමට එයට හැකියාව ඇත. කෙසේ වෙතත්, එය පෞද්ගලිකත්වය, පක්ෂග්‍රාහීත්වය සහ රැකියාවට ඇති බලපෑම වැනි සදාචාරාත්මක සහ සමාජීය අවශ්‍යතා ද මතු කරයි. කාලගුණ විපර්යාස කල්තියා හඳුනා ගැනීමට, අවදානම් හෝ නීරස කාර්යයන් ඉටු කරවා ගැනීම සඳහා, පරිසරය රැක ගැනීමට, රියදුරන් රහිත ගමනාගමනයක් සඳහා, අභ්‍යවකාශය ගවේෂණයට, මූල්‍ය සම්පත්වල ආරක්ෂාව සඳහා, භෞතික ආරක්ෂාව සඳහා, ගෙදර දොරේ එදිනෙදා කාර්යයන් කරවා ගැනීම සඳහා, වෛද්‍ය ක්ෂේත්‍රයට, රොබෝ- මිනිස් සංකලන ජීවී විශේෂයක ආරම්භයට ආදී බෝහෝ අවස්ථා රැසකට මේ වන විට AI තාක්ෂණය යොදා ගැනේ.
වර්තමානයේ බොහෝ තාක්‍ෂණයන්හි AI විශේෂයෙන් පවතී. ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, පරිගණක සහ ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික පද්ධති සහිත සියලු වර්ගවල උපාංග.
ගෘහ ස්වයංක්‍රීයකරණය (බුද්ධිමත් වායුසමීකරණය, විදුලි පහන් සහ උපකරණ ක්‍රියාත්මක කිරීම සහ අක්‍රිය කිරීම ආදිය), ස්වයංක්‍රීය වාහන, ගූගල් සහායක, සිරි (ඇපල්) හෝ ඇලෙක්සා (ඇමේසන් එකෝ) වැනි voice සහායකයින්, ගූගල් පුරෝකථන ශබ්ද කෝෂය
රූප හඳුනාගැනීමේ මෘදුකාංගය, ආරක්ෂක සහ වංචා පාලන මෘදුකාංග, ඩිජිටල් අලෙවිකරණය සඳහා අනාවැකි, ප්‍රවෘත්ති, සංගීතය, චිත්‍රපට, ශ්‍රේණි ආදිය පරිභෝජනය සඳහා අනාවැකි සහ යෝජනා මේ සියලු දේ කෘත්‍රිම බුද්ධිය යොදා ගත් අවස්ථාවන් ය.

වර්තමානය වන විට වඩාත් ජනප්‍රිය වෙමින් පවතින කෘත්‍රිම බුද්ධිය ( Artificial Intelligence ) , රොබෝ තාක්ෂණය, බුද්ධිමය ස්වයංක්‍රීයකරණය ( Intelligence Automation) යන තාක්ෂණයන් තුළින් අනාගත ලෝකය කෙබඳු වේද යන්න පිළිබඳ කුතුහලයක් සමාජයට එක් වී තිබේ. කාර්මික විප්ලව තුනක් අවසානයේ හතරවන කාර්මික විප්ලවය ලෙස ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් ඇතිවන වෙනස හැඳින්විය හැකිය. ඒ අනුව මේ වන විට හතරවන කාර්මික විප්ලවය පිළිබඳව ජනතාවට ඇත්තේ කුකුසකි. ඒ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස හැඳින්විය හැක්කේ මෙම කාර්මික විප්ලවය තුළින් බිහිවන තාක්ෂණය හේතුවෙන් මානව හැකියාවන් භාවිතයෙන් සේවා සපයනු ලබන බොහෝ කර්මාන්ත සහ රැකියා සඳහා මානව සම්පත් සඳහා විකල්ප වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට ඇති හැකියාවයි.

 

AI තාක්‍ෂණය භාවිතය නිසා උද්ගත වෙලා තියෙන ගැටලු මොනවාද ?

 

විශේෂයෙන්ම AI නිසා විශාල පිරිසකට රැකියා අහිමි වීමක් දැක ගන්න පුළුවන්. බටහිර රටවල විතරක් නෙවෙයි අපේ රටවලත් ක්ෂේත්‍ර කිහිපයකම රැකියා අහිමි වීමේ ප්‍රවණතාවක් අපිට දැක ගන්න පුළුවන්. AI ගැන තියෙන තවත් විවේචනයක් තමයි AI තාක්‍ෂණය හරහා තීරණ ගැනීමේදී Machine learning දේවල් හරහා ඒවා කොතරම් දුරට විනිවිදභාවයක් තියෙනවාද කියන එක. විනිවිදභාවය ගැන ගැටලු පවතිනවා.

මේ හරහා ඇති වෙන තවත් විශාල ප්‍රශ්නයක් තමයි පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය පිළිබඳ ඇති වන ගැටලු.

පසුගිය කාලයේදී විශාල සාකච්ඡාවට ලක් වුණ දෙයක් තමයි AI පාවිච්චි කරලා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අනුකරණය වන ඒ පුද්ගලයන්ගේ රූප හා සමානව ඡායාරූප වීඩියෝ පට නිර්මාණය වීම. මෙතනදී ඇති වෙලා තියෙන දෙයක් තමයි යථාර්ථය සහ ව්‍යාජය අතර තියෙන සම්බන්ධය. යථාර්ථය මොකක්ද බොරුව මොකක්ද සම්බන්ධයෙන් ගැටලු ඇති වෙලා තියෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙලා තියෙනවා. සයිබර් Security වගේ දේවල් නිසා. මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් බොහෝමයක් හඳුන්වා දෙන්න පුළුවන්.

 

AI තාක්ෂණයේ අහිතකර පැත්ත

 

කෘත්‍රිම බුද්ධියෙන් සවිමත් අවි ආයුධ තැනීමෙන් මිනිසුන් අතර යුද්ධයකදී මෙම කෘත්‍රිම බුද්ධිය භාවිතය නිසා මිනිසාට සිදුවන්නේ බලවත් හානියකි. AI තාක්ෂණය නිසා කිසිදු අයෙකුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය හැකිය. මන්ද මිනිසාගේ ශ්‍රමයෙන් සිදුවන සියලු දෙය AI මඟින් ඉටුවන නිසාය. කෘත්‍රිම බුද්ධියෙන්, තාක්ෂණයෙන් වැඩ කරන යන්ත්‍ර සහ පද්ධතිවලට වෛරස හෝ හැක් කර ප්‍රහාර එල්ල කිරීමෙන් ඒවා අඩපණ වීම මෙන්ම, ඒවායේ ඇති තොරතුරු ආදිය පිටතට යෑම, වැරදි ලෙස ක්‍රියාත්මක වීම වැනි දෝෂ සහගත තත්ත්වයන් ඇතිවිය හැකිය. මිනිසාගේ කෘත්‍රිම බුද්ධිය තවත් මිනිස් කණ්ඩායමක් විසින්ම විකෘති කිරීම හැක් කිරීමේදී සිදු වේ. කෘත්‍රිම බුද්ධිය යනු රොබෝ සහ රොබෝ අත් වැනි උපාංග වලින් එහා ගිය සංකල්පයකි. එහිදී කෘත්‍රිම බුද්ධිය තුළින් පද්ධති පාලනය කිරීම සිදු වේ. එහෙත් කෘත්‍රිම බුද්ධිය ඇතුළත් උපාංග නඩත්තු කිරීම සහ ඒවා මිලදී ගැනීමට විශාල මුදලක් වැය වේ. උදාහරණ ලෙස පොල් කැඩීම සඳහා අපි කෘත්‍රිම බුද්ධිමය උපකරණයක් ගන්නවා යැයි සිතමු. එහිදී ගසට නැග උවමනා තරමට පැසුණු ගෙඩිය තෝරා, එය ආරක්ෂිතව බිමට දැමීමට කෘත්‍රිම බුද්ධිය සහිත දියුණු යන්ත්‍රයකට හැකිවිය හැකිය. එහෙත් ගමේ සිටින පොල් කඩන මහත්මයාට ගෙවන මුදලට වඩා බොහෝ වැඩි මුදලක් ඒ පොල් කැඩීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිමය යන්ත්‍රයට අපිට ගෙවන්නට සිදු වනු ඇත.

AI හි අනාගත දැක්ම සලකන කල්හි අපට එය කොතනින් ආරම්භ වී කොතනින් කෙළවර වන්නේද යන්න තක්සේරු කළ නොහැකිය. ඇතැම් විට මෙම තාක්ෂණය භාවිත කිරීම හා වැඩිදියුණු කිරීම ඔස්සේ ඉදිරියේදී විවිධ වෘත්තීන් බොහෝමයක් ස්වයං පරිගණක පද්ධතියක් බවට පත්වීමට ඉඩ ඇත. මේ වන විටත් ගොඩනැඟෙමින් පවතින Humanoid Robots සහ Automated Systems හේතුවෙන් බොහෝ දෙනා අතර AI තාක්ෂණය පිළිබඳව අනිසි බියක් හටගෙන තිබෙන බව නම් පැහැදිලි කරුණක්.

තත්ත්වය මෙහෙම වෙනකොට කෘත්‍රිම බුද්ධියේ තර්ජනය දේශගුණික විපර්යාසවලටත් වඩා හදිසි තත්ත්වයන් ඇති කළ හැකි බවට AI තාක්ෂණයේ පුරෝගාමියෙක් වන Geoffrey Hinton මහතා පසුගිය දා රොයිටර් පුවත් සේවය වෙත පවසා සිටියා. ඒ ඔහු සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.

ජෙෆ්‍රි හින්ටන් හඳුන්වන්නේ AI තාක්ෂණයේ ගෝඩ් ෆාදර්වරයෙකු ලෙසයි. ඔහු වසර දහයක් සේවය කළ ගූගල්  සමාගමෙන් ඉවත්වූ බව මෑතකදී ප්‍රකාශ කළා. ඒ එම ආයතනයට හානියක් නොවී මෙම තාක්ෂණයේ ඇති අවදානම ගැන කතා කිරීමට බව ඔහු Twitter සටහනක් තබමින් පවසා සිටිනවා.

හින්ටන් යනු AI පද්ධති සංවර්ධනය සඳහා ඉතා වටිනා කාර්යභාරයක් කරන ලද පුද්ගලයෙක්. 1986 දී AI තාක්ෂණයේ මූලය වන ස්නායුක ජාල සංවර්ධනය  පිළිබඳව වැදගත් සන්ධිස්ථානයක් වන "Learning representations by back-propagating errors" නම් පත්‍රිකාවේ සම-කර්තෘ ලෙස ඔහු කටයුතු කළා. 2018 දී, ඔහුගේ පර්යේෂණය අගයමින් ඔහුට ටියුරින් සම්මානය ද පිරිනමනු ලැබුවා. නමුත් තාක්ෂණික බල්වතුන් නිපදවන යන්ත්‍ර විසින් මින්සුන්ට වඩා වැඩි බුද්ධියක් ලබා ගෙන ලෝකය පවා පාලනය කිරීමට හැකියාව පවතීද යන්න ගැන ඔහු කනස්සල්ලෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කරනවා.

තවදුරටත් අදහස් දැක්වූ Geoffrey Hinton  මහතා මෙසේ පවසනවා,

“මම දේශගුණික විපර්යාස අවතක්සේරු කිරීමට කැමැති නෑ. ඒත් මම කියන්නේ දේශගුණික විපර්යාසය ගැන ඔබ දුක්විය යුතු නෑ. ඒක විශාල තර්ජනයක් තමයි. ඒත් මෙය මීට වඩා වැඩි බලපෑමක් ඇති කරන දෙයක් විය හැකියි.”‍ ඉතින් කෘත්‍රිම බුද්ධියේ නිර්මාපකයන්ම කෘත්‍රිම බුද්ධිය ගැන එසේ පවසනවා නම් සිතිය යුතු දෙයක් තිබෙනවා නොවෙද?