රටම දන්න ත්‍රිපෝෂ පවුල කියන නොකී කතා

අප්‍රේල් 15, 2024

 

 

ඔය ගොල්ලෝ ත්‍රිපෝෂ කාලා තියෙනව ද? හව් සෑ...ඩ්. ත්‍රිපෝෂ කාලා නෑ.. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.. ආස හිතෙයි... මේ දෙබස් ඛණ්ඩය මතක් වුණ ගමන් ඔබටත් මතක් වෙයි ඒ අපූරු පවුල... ත්‍රිපෝෂ ෆැමිලි. කවුරුත් ඒ පවුලට දැන් කියන්නේ එහෙමයි. සමාජ මාධ්‍යජාලාවල එක රැයකින් ජනප්‍රිය වුණු මේ ත්‍රිපෝෂ පවුල තරු පවුලක් වෙලා ඉවරයි. රටම දන්න ත්‍රිපෝෂ පවුල නොකියපු කතාව අද තරුණීට කියනවා. මේ ත්‍රිපෝෂ පවුලේ කතානායකයාගේ උපන් ගම පොලොන්නරුව. හැබැයි අද ඉන්නේ නුවර. නුවර කිවුවට සමාජජාලාවට පිවිසුණොත් මේ කොල්ලාගේ වීඩියෝ හැම තැනකම දකින්න පුළුවන්. දැන් ත්‍රිපෝෂ පවුල ගැන මුළු ලෝකයක්ම දන්නවා. ඔහුගෙන්ම ඒ කතාව අපි අහලා දැන ගනිමු.

 

ත්‍රිපෝෂ ගුළියක් ආපු දුරක් නේද?

සෑහෙන දුර ඇවිල්ලා තියෙන්නේ. මට මාර හැපී..කොයි වෙලාවෙත් මේ දත් ටික එළියොදා ගෙන ඉන්නේ. සල්ලි තිබුණත් නැතත්.. මොන මට්ටමේ හිටියත් මම සතුටින්.

 

කොහොමද මේ ගමන පටන් ගත්තේ?

මේ සිදුවීම වෙලා සති දෙක තුනක් වගේ ඇති. වයිෆ් ත්‍රිපෝෂ ගුළියක් හදන ගමන් හිටියේ.. මම බබාවත් වඩාගෙන පොඩි වචන ටිකක් කියලා වීඩියෝ එකක් කළා. ඒක එක දවසින් වයිරල් වෙනවා. ඒක ජොලියට ආතල් එකට කරපු වීඩියෝ එකක්. ත්‍රිපෝෂ පවුල කියලා නම හැදුණේ එතැනින්. ඒ වීඩියෝ එක වයිරල් වෙච්ච හින්දයි අද මම මෙතැන ඉන්නේ.

 

නම ගම කොහොමද?

මම සුදේශ් ප්‍රියාන් තිලකරත්න. මම පො‍ෙලාන්නරුවෙ කොල්ලෙක්. රජරට කොල්ලෙක්. අම්මා ජැනට් මේරි සිල්වියා. තාත්තා මාකස් ඇන්තනි ෆර්නෑන්ඩු.

 

ඔයා තිලකරත්න වෙද්දී තාත්තා ෆර්නෑන්ඩු වුණේ කොහොම ද?

ඒක වෙන්නේ මම ඉපදෙද්දිමයි. එතකොට මගේ අම්මා කවුද කියන එකෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජැනට් මේරි කියන්නේ මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා. ඒ කියන්නේ මාක්ස් ඇන්තනි ෆර්නෑන්ඩුගේ බිරිය. ඒ වුණාට මාව හදාගත්තේ මගේ අනිත් අම්මා. ඒ කියන්නේ අම්මගේ අක්කා. මගේ ලොකු අම්මා. මේ ලෝකෙට බිහි කරපු අම්මා කොහෙද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. මගේ අම්මාවත් දන්නේ නැතුව ඇති මගේ තාත්තා කවුද කියලා. ඒක අම්මගෙන්මයි අහන්න ඕනේ.

 

අද මේ තැනට එන්න පාර කැපුණේ කොහොම ද?

අද මේ තැනට එන්න ලොකුම හේතුව තමයි මාව හදාගන්න අම්මයි තාත්තයි. එයාලා නිසා මට සහෝදරයෝ තුන් දෙනෙක් හම්බුණා. අක්ක කෙනෙක් හම්බුණා. ඒ පවුල නිසයි මම මෙච්චර දුරක් ආවේ. ඒ නිසා මට කිසිම වෙලාවක අනාතයා කියන ලේබලය වැදු‍ෙණ් නැහැ.

 

ඔයාගේ සහකාරියව හම්බ වුණේ කොහොම ද?

ඇයව හම්බුණේ දැන් අවුරුදු 4කට කලින්. අපි විවාහ වෙලා අවුරුදු 3ක් වෙනවා. අපේ දරුවට දැන් අවුරුද්දයි මාස 2යි. බිරියට වයස 21ක් වෙනවා. ඇය ජැස්මි සංජානා. හරිම ආදරණීය බිරියක්. ඒවගේම ආදරණීය මවක්.

 

ඇයත් එක්ක ගෙවන ජීවිතය කොහොම ද?

සමහර අය කියනවා මායි බිරියයි යූටියුබ් වීඩියෝවල මරාගන්නවා කියලා. එහෙම මරාගන්නෙ නැති පවුල් තියෙනවද.. පවුලක් වුණාම එහෙම පොඩි පොඩි දේවල් තියෙනවා තමයි. එහෙම නැති පවුලක් තියෙනවනම් ඉතින් අටපට්ටමේ දඩිබිඩිස්ට තමයි කියන්න ඕනේ. මොකද දෙන්නට දෙන්නගේ අදහස් ගැළපෙන්න ඕනේ කියලා කවුරු හරි කියනවනම් ඒක බොරුවක්. මොකද මගේ වයිෆ් ගැහැනු කෙනෙක්. මම පිරිමි කෙනෙක්. තනිකරම වර්ග දෙකක්. ඉතින් කොහොමද අපේ අදහස් ගැළපෙන්නේ. ලිංග භේදයෙන් විතරක් නෙවෙයි වයස් පරතරයෙනුත් වෙනස්. හිතන පතන විදිහත් වෙනස්. මෙයාගේ පවුල් පසුබිම වෙනස්. මගේ පවුල් පසුබිම වෙනස්. එයා හැදුණු විදිහ වෙනස්. මම හැදුණු විදිහ වෙනස්.

 

දැන් ඔයා තරුවක් ද?

මාව හැදුවේ මම. මට මාව තරුවක්. මට මාව හයියක්. මට මාව බ්‍රෑන්ඩ් එකක්. අද ලංකාවම දන්න ත්‍රිපෝෂ ෆැමිලි කියන බ්‍රෑන්ඩ් එකේ අයිතිකරු මම. දවස් දහයෙන් ටික්ටොක් එකේ ෆලෝවස්ලා ලක්ෂයකුත්, ලයික් මිලියනයකුත් ආවා.

 

ඒක දක්ෂතාවය ද?

ඒක දක්ෂතාවට වඩා එතැන තියෙන්නේ උත්සාහය. කවුරුහරි කියනවනම් මම හිට් වුණේ ත්‍රිපෝෂ කනගමන් හව් සෑඩ් කියලා වීඩියෝ එකක් දාපු නිසා කියලා. ඒක වැරැදියි. මොකද මම අවුරුදු දහයක ඉඳන් මෙතැනට එන්න ට්‍රයි කරනවා. ඉන්න තැනට සිග්නල් නැහැ. මම වැව් බන්ට් එක උඩට ලැප් එක අරන් ගිහින් සිග්නල් හෙවුවා. මාව දන්න අය පෞද්ගලිකව දන්නවා මම කී දෙනෙක්ගෙන් කතා අහලා තියෙනවද කියලා. මූ මෝඩයෙක්.. ගොන් ආතල් දෙන එකෙක්.. පිස්සෙක්... එහෙමයි කට්ටිය කිවුවේ. ඒක ඇත්ත.. එහෙම ගොන් ආතල් දීපූ... එකා ඒ ගොන් ආතල්වලින්ම ගොඩ ගියා. මට සෝෂල් මීඩියා වීඩියෝ ක්‍රිෙය්ටර් කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තියෙනවා.

 

එක රැයකින් තරුවක් වුණා කිවවට ලොකු ප්‍රතික්ෂේපවීම් ගොඩක අයිතිකාරයෙක්?

ප්‍රතික්ෂේප වීම මුලින්ම ලැබෙන්නේ මාව මේ ලෝකෙට බිහිකරපු මගේ අම්මගෙන්. එයා තමයි මාව බලාගන්න බැහැ කියලා මාස දෙකෙන් මගේ අම්මට මාව දීලා තියෙන්නේ. මම මගේ අම්මට අම්මගේ අක්කා කියන්න කැමැතිත් නැහැ. ලොකු අම්මා කියන්න කැමැතිත් නැහැ. මොකද එයා තමයි මගේ අම්මා. මොකද මාව බිහිකරපු අම්මා මගේ අනිත් අම්මට මාව බාර දීලා නෙවෙයි ගිහින් තියෙන්නේ. මගේ අම්මා.. ඔයාට බැරිනම් මං හදාගන්නම් කියලා තමයි බිහිකරපු අම්මාගෙන් අරගෙන හදාගෙන තියෙන්නේ. එහෙම මාව හදාගන්න ගන්න කොටත් අපි හිටියේ වාඩියක. පරාක්‍රම සමුද්‍රය බන්ට් එක අයිනේ පොල් අතු පැලක. සහෝදරයෝ තුන් දෙනෙයි අක්කයි අම්මයි තාත්තයි. එහෙම අමාරුවෙන් ජීවත් වෙද්දී තමයි එයාලා මාව ගන්නේ.

 

මොකක්ද ඔයාගේ වෘත්තිය?

මම සැලෝන් එකක් කරනවා. ටැටූ ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. බිරියගේ ටැටු එක කළෙත් මම. ඊට අමතරව දැන් කොණ්ඩේ කපන වැඩෙත් පටන් ගත්තා. රෑට සිකියුරිටි ජොබ් එකක් කරනවා. එහෙම ඉද්දි තමයි පොඩි විවේකයක් ලැබුණොත් වීඩියෝ එකක් කරලා දාන්නේ. කවුරු හරි කියනවනම් අපි මේ ආතල් එකේ වීඩියෝ දාලා සැප ජීවිතයක් ගෙවනවා කියලා ඒක බොරුවක්. ඉතින් මගේ බිරියයි දරුවවයි ජීවත් කරවන්න මම උදේ රෑ මහන්සි වෙනවා. දැනටත් මම ඉන්නේ පොලොන්නරුව ධීවර ගම්මානේ. මට කරවල වාඩියේ ඉන්නත් පුළුවන්. ගෙදර ඉන්නත් පුළුවන්. රජ මාලිගයේ ඉන්නත් පුළුවන්. මට ඕනෙ තැනක ඉන්න පුළුවන්. දැන් ජීවත් වෙන්නෙ නුවර.. පොලොන්නරුවෙ ඉඳන් මෙහෙට ආවා.

 

කොයි වෙලාවකවත් ජීවිතය එපා වෙලා නැද්ද?

ජීවිතේ එපා වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. හැමෝටම මොනම අවස්ථාවක හරි ජීවිතය එපා වෙච්ච.. කලකිරිච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ වගේ තැන්වලදී කඩා වැටෙනවා කියන්නේ ඒක තමයි එපා වීම. ෆීනික්ස් කුරුල්ලෙක් වෙන්න ඕනේ. පිච්චිලා අලුවෙලා ගියත් ආයේ නැඟිටින්න ඕනේ.

 

පාසල් ළමුන්ට නොමිලේ කොණ්ඩෙ කපලා දෙන්න හිතුවේ ඇයි?

පාසල් ළමුන් සඳහා කොණ්ඩය කපා ගන්න නොහැකි නම් මා හමුවන්න. මේ ගෙවෙන්නේ කාටත් අමාරු කාලයක්. මේ ගම මුස්ලිම්, සිංහල කලවම් වෙච්ච ගමක්. ඉතින් දිගන කෙංගල්ල අවට ඉන්න සමහර පවුල්වල දරුවෝ 4-5 ඉන්නවා. ඉතින් ළමයි හතර පස් දෙනෙක්ගේ කොණ්ඩෙ කපන්න ලොකු ගාණක් යනවා. ඉතින් මට හිතුණා එයාලට උදවුවක් වෙන්න. ආර්ථික අතින් අපහසුතා තියෙන පාසල් දරුවන්ගේ මම නොමිලයේ කොණ්ඩේ කපනවා. එහෙම අපහසුතා තියෙන අයට පුළුවන් මගේ සැලෝන් එකට ඇවිත් කොණ්ඩේ කපාගන්න.