කාන්තාවක් විසින් ප්‍රථම වරට නිර්මාණය කළ ගොඩකවෙල තොරණ

මැයි 20, 2024

 

ළඟ ළඟම එන වෙසක් මංගල්‍යය නිමිත්තෙන් රට පුරාම ලහි ලහියේ තොරණ ඉදිවෙන කාලයක් මේ. තොරණ විතරක් නෙවෙයි වෙසක් කූඩු වෙසක් කාඩ්.. වෙසක් සැරසිලි... පින්කම්... දන්සල්.. බැති ගී.. වෙසක් කියන්නේ මේ හැමදේම එකතුවක් කිව්වොත් හරියටම හරි. හැබැයි වෙසක් මාසයේ සැබෑ අරුත ඒ විදිහටම පෙන්නන පාට පාට කොළ ටිකකට පාට පාට ලයිට් ටිකකට විතරක් පුළුවන් කියලා හිතන්න බැහැ.

මොකද ඒ හැඟීම ඒ සැදැහැ සිතිවිලි තියෙන්න ඕනේ හිත්වල. ඒ විදිහේ පහන් සිතිවිලි මහ ගොඩක් හිතේ තියාගෙන තනි උත්සාහයෙන් තොරණක් නිර්මාණය කරන ගුරුවරියක් ගැනයි මේ කියන්න යන්නේ.

ඇය ජනනි අලුදෙනිය. ඇය ගුරු වෘත්තියට අවතීර්ණ වන්නේ දෘශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා අවසන් කිරීමෙන් පසුවයි. ර/ඇඹි පල්ලේබැද්ද මහ විද්‍යාලයෙන් සහ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ අතර දැනට චිත්‍ර ගුරුවරියක් වශයෙන් සේවය කරන්නේ ද ර/ ඇඹි පල්ලේබැද්ද මහ විද්‍යාලයේ.

ඒ වගේම 2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් අැය චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත්කර ඇති අතර විවිධ තරගවලින් ජයග්‍රහණයකර තිබෙනවා.

භද්‍රඝට ජාතකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය කළ ජනනි අවුරුදු 1 1/2ක දියණියකගේ මවක්. ගුරු වෘත්තියත් මව් පදවියත් නිසි ලෙස ඉටුකරන ඇය තොරණ නිර්මාණ කටයුතු සඳහා රාත්‍රී කාලයේදී කැප වෙයි. ඇගේ මේ දිරිය ශක්තියට සහය වන්නේ ඇගේ සැමියායි. ඔහු මාධ්‍යවේදී නුවන් හෙට්ටිආරච්චි. අනෙක් කරුණ නම් ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ ප්‍රථම තොරණ මෙයයි.

තොරණ රූප රාමු 08ක් සහිතව අමතර චිත්‍ර 04ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණයකර තිබෙන්නේ ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේයි. පත්මසිරි මහතා විසින් මෙහි විදුලි ආලෝකකරණය සිදු කරන අතර තොරණ සංවිධානය එම වැසියන් විසින් සිදු කෙරේ. මූල්‍යම දායකත්වය චතුරංග ජේ. විතාරණ විසිනි. කොස්නාගොඩ, ගොඩකවෙල සති දෙකක් පුරා මෙය මහජන ප්‍රදර්ශනයට විවෘතයි.