වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
මෙහෙම සාරිය ඇන්දොත් කොහොමද හැඩ
මනාලියක වන දා වේල් එකකින් සැරසෙන්නට ඇතැම් යුවතියන් දක්වන්නේ නොතිත් ආශාවකි. වේල් එකක් දමන්නට නම් පහතරට ක්‍රමයට සාරි එකකින් හෝ බටහිර ක්‍රමයට ගවුමකින් සැරසිය යුතුවේ.
අපි බලමු මනාලියක් වනදා කොහොමද සාරියකින් හැඩ වෙන්නේ කියා.
සාරිය අඳින ක්‍රම දෙකක් තිබේ.
* පොට සකස් කර සාරිය ඇඳීම
* රැලි සකස් කිරීමෙන් පසු පොට දැමීම
මෙම ක්‍රම දෙකින් වඩාත්ම උචිත වන්නේ පොට සකස්
කිරීමෙන් පසු සාරිය ඇඳීමයි.
01 සාරිය
** සාරිය ඇඳීමේදී පළමුවෙන්ම දකුණු පසින් සාරිය ගෙන පිටුපස වැසෙන සේ වම් පසින් ගසනු ලැබේ. මෙහිදී සාරිය අගට ගැටයක් නොගසන්න. එය සවි වී තිබීමට නම් කටුවක් ගසා ගන්න. එසේ ගසා ගැනීමෙන් පසු වටයක් කරකවා රැලිවලට ඉඩ තබා පොට සකස් කරගන්න.
** මෙහිදී සාරිය අඳින තැනැත්තියට කකුල් දෙක මදක් මෑත් කර සිට ගැනීමෙන් පසු සාරිය ඇන්දවීම කළ යුතුයි. මන්දයත් මෙම ක්‍රමයේදී කකුල් දෙක ළං කර සිට ගැනීමෙන් පසු සාරිය අන්දවා අවසානයේදී ඇවිදීමට අපහසු වනු ඇත.
** පොට සකස් කර ගත යුත්තේ කණපිට යට පැත්තට සිටින සේ රැලි තැබීමෙනි. මෙහිදී පොට හැට්ටයේ කරට තබා යටින් කටුවක් ගසා ඊළඟට අඟල් 8ක රැල්ලක් තබා රූපයෙහි දැක්වෙන පරිදි පැත්තකට ගසාගන්න.
** ඉන්පසු රැලි සකස් කළ යුත්තේ පොට හදාගැනීමෙන් පසුවය. පොටේ කණවාටිය හොඳින් පහළට ඇද පොට දමා ඇති පැත්තේ පහළට ද මදක් මෙහායින් කටුවක් ගසා ගන්න.
** කටුව ගසා ගැනීමෙන් පසු එතනින් හැඩයකට තවත් පුංචි රැලි තුනක් තබා කටුවක් ගසා ගන්න. එසේ ගසා ගැනීමෙන් පසු මහත රැල්ලකුත්, ඉන් පසුව කුඩා රැලි කිහිපයකුත් තබා රැලි සකස් කර පැත්තකට ගසා ගන්න.
** රැලි ටික සායට යට කිරීමේදී අතින් විහිදුවා යට කරන්න. අවශ්‍ය නම් පොටේ රැලි ටික ගලවා උවමනා ආකාරයට සකස් කළ හැකියි.
02 සාරිය
පෙර සඳහන් කළ පරිදි සාරිය ඇඳ ඉණට පටියක් බැඳ ගත යුතුය. එයද සාරිය ඇඳිය හැකි තවත් ක්‍රමයකි.
03 සාරිය
මෙම රූප සටහනේ පරිදි මුලින්ම සාරිය ඇඳගත යුතුය. ඉන්පසු පොටේ යට ඇති කණවාටිය ගෙන එය සාරි පොටේ ඉදිරියෙන් බෙල්ට් එක යටින් හා සාරිපොට යටින් ගෙන සායට යට කරන්න. කවුල් හැඩයක් ඉන්පසුව ගනියි. සාරියේ පොට බුරුලට ගෙන ඉණට ගසාගත යුතුවේ. එවිටයි කවුල් හැඩයක් ගන්නේ.
04 සාරිය
මෙම ක්‍රමයට සාරිය ඇඳීම උත්සව අවස්ථාවකට සුදුසු වේ. පළමුවෙන්ම සාරිපොට කිහිල්ල යටින් ගෙන අනිත් පැත්තේ උරහිසින් පහළට දමන්න. කිහිල්ල යටින් ගැනීමේදී බුරුල් වේ යයි සිතන්නේ නම් කටුවක් ගසන්න. දෙවන රූප සටහනේ දැක්වෙන්නේ එම අවස්ථාවයි. සාරිපොට උරහිසින් පහළට ගෙන බෝ එකක් උරහිසට සාදා ගන්න එසේ නැත්නම් උරහිස් පහළට ගත් කොට විහිදුවා බෙල්ට් එක බැඳ ගත හැකියි. මෙම ක්‍රමයට සාරිය ඇඳීමේදී සාරිය අඩි හයක් හතක් පමණ දිගට තිබිය යුතුයි. මේ සඳහා බෝඩර් සාරියක් ගන්නේ නම් වඩාත් චමත්කාර ජනක වේ.
සාරිපොට ගෙන එක් කොනක් එක් අතකටත් අනිත් පැත්ත තවත් අතකට අල්ලාගෙන සාරිපොට ඇඳ රැලි සකස් කරගන්න. අත් දෙකම එකම සැරේ රැලි කර ගත යුතුවේ. එවිට එක ප්‍රමාණයටම රැලි කර ගත හැකි වේ. ඉන්පසුව ඉහත සඳහන් පරිදි ඇඳ ගත හැකිවේ.
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4
ඇගයීම් නිලධාරිනි)
රූ රටා - නිලක්ෂි ආරියරත්න