වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
ඉතිහාසයම වෙනස් කරමින් පොලිස් මුල් පුටුවලට ආ දිරිය කතුන් මෙන්න
මේ අවසන් වන්නේ 2024 අවුරුද්දේ අවසන් සති කිහිපයයි. මේ අවුරුද්ද අවසන් වෙද්දි අහන්න දකින්නට ලැබෙන සුබ ආරංචි බොහොමයි. ඒ කාන්තාවන් වෙනුවෙන් මේ වසර ලියැවී තිබීමයි. ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ අයුරින් මෙවර පාර්ලිෙම්න්තුවට කාන්තා නියෝජනයන් 22ක් හිමි වෙද්දී පොලිස් සේවයේ මුල් පුටු හොබවන්නත් කාන්තාවන් සිව් දෙනෙක්ට අවස්ථාව හිමිව තිබෙනවා. ඉතිහාසය අලුත් කරමින් ලෝකයටම එකතු වන මේ පුවත සුවිශේෂී වන්නේ ඒ නිසාමයි.
එසේ ඉතිහාසය අලුත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස එහි මෙතෙක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියත්, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියත්, පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මියත් පත්කර තිබේ. මේ හැරුණු කොට පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට ද කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක පත්කර ඇත. ඇය මදාරා ආරියසේන මහත්මියයි. පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස පත් ව ඇත්තේ දර්ශිකා කුමාරි මහත්මියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් වූ ඉමේෂා මුතුමාල මහත්මිය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම ආධුනික කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියන් තිදෙනා අතර ද සිටින්නියකි. ඇය ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පොලිස් සේවයට එකතු වන්නේ 2007 නොවැම්බර් 03 වැනිදා ය. 2017 මාර්තු 23 වැනිදා පොලිස් අධිකාරිවරියක ලෙස උසස්වීම් ලැබූ ඇයට ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ධුරය කාන්තා නිලධාරින්ට විවර වන්නේ නම් එම තනතුර දක්වා ඉහළ යෑමට හැකියාවක්ද ඇත. ඇය රුහුණ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත. පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස සේවයේ නිරතව ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ අධීක්ෂණ නිලධාරිනිය ලෙස ද ඇය කලක් කටයුතු කර තිබුණා ය. ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබ ඇත්තේ 2021 වසරේදීය.
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අධ්‍යක්ෂ ලෙස පත් ව ඇති දර්ශිකා කුමාරි මහත්මිය ශ්‍රී ලංකා පොලීසියට එක්වන්නේ 1997 වසරේදී ය. ශ්‍රී ලංකා පොලීසියේ ස්ථීර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් පිරිසක් ඉතිහාසයේ පළමුවරට බඳවාගත් අවස්ථාවේදී දර්ශිකා කුමාරි එම කණ්ඩායමේ සිටි සාමාජිකාවකි.
සහකාර පොලිස් අධිකාරිවරියක වශයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ අධ්‍යක්ෂ ලෙස 2008 වසරේදී සේවයේ නිරතව සිට ඇති ඇය 2008 සහ 2020 කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිට ඇත. අනතුරුව ඇය 2020 වසරේ සිට 2022 දක්වා කාලයේදී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙසත් සේවයේ නිරතව ඇත. 2022 වසරේදී එවකට සිටි පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ද කටයුතු කර ඇති ඇය පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යෂිකාව ලෙස සේවයේ නිරත වූවාය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් කර සිටින පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස ද කලක් සේවයේ නිරතව සිටියා ය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලංකා රාජිනී මහත්මිය වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නීය. ඒ අතර පළමු වාර්තාව වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ස්ථීර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවාගත් පළමු කණ්ඩායමේ ඇය ද සාමාජිකාවක වීමයි.
එමෙන්ම ඇය දිවයිනේ බොහෝ ප්‍රදේශවල උප පොලිස් පරීක්ෂිකාවක සහ පොලිස් පරීක්ෂිකාවක ලෙස සේවය කර ඇල්පිටිය, මිටියාගොඩ, බෙන්තොට, පේරාදෙණිය, අම්බලන්ගොඩ යන පොලිස් ස්ථානවල විවිධ පැමිණිලි අංශවලත් ළමා හා කාන්තා කාර්යාංශවලත් පරිපාලන අංශවලත් ස්ථානාධිපති ලෙස ද කටයුතු කර ඇත. පොලිස් පරීක්ෂිකවකව ලෙස මීටියාගොඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී ආධුනික සහකාර පොලිස් අධිකාරියන් ලෙස උපාධිදාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට මුහුණ දෙමින් ඇය ඉහළින්ම සමත්ව ඇත. 2008 වසරේ නොවැම්බර් 03 වැනිදා පොලිස් සේවයට ඇය නැවත එක්වන්නේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙසිනි. ඇය සමඟ එදා තවත් කාන්තා නිලධාරිනියන් දෙදෙනකු, සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් සේවයට එක්වන අතර, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස් සේවයේ නිරතව සිටියදීම ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පොලිස් සේවයට එක්වන පළමු කාන්තා නිලධාරිනිය වන්නේ ද ඇයයි.
ඇය සමඟ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරියන් ලෙස පොලිස් සේවයට එක් වූ ඉමේෂා මුතුමාල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස වාර්තා පොත් අතරට එකතු වන විට එම කණ්ඩායමේම මදාරා ආරියසේන මහත්මියට හිමු වූයේ පොලිස් රෝහල් අධ්‍යක්ෂ ධුරයයි.
පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින් සිටි ඇය පොලිස් වෙද්‍ය භාර අධ්‍යක්ෂ ධුරයට පත්වන්නේ දෙවැනි වරටය. පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස ඉතිහාසයේ පළමු වරට කාන්තා නිලධාරිනියක පත් වූයේ නම් ඇයයි.
මෙසේ ඉතිහාසය අලුත් කරමින් පොලිස් මුල් පුටු කාන්තාවෝ සිව් දෙනකුට හිමි වූහ.
මෙසේ ඉතිහාසය අලුතින් ලියන දිරිය නිලධාරිනියන්ට තරුණී සුබ පැතුම්!