වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
රස්තියාදු නොවී තැපැල් හැඳුනුම්පත හදන්නෙ මෙහෙමයි

තැපැල් හැඳුනුම්පත කියන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය තුළ හමුවන පළමු හැඳුනුම්පතයි. මෙය වඩාත් වැදගත් වන්නේ පාසල් සිසුන් සඳහාය. බොහෝ දෙනකු මෙම හැඳුුනුම්පත නිවැරදිව සාදාගන්නා ආකාරය පිළිබඳ නොදැනුම්වත් බව නිසා විවිධ අසීරුතාවලට මුහුණපායි. මේ ලිපිය කියවන ඔබට නිවැරදිව ඔබේ දරුවාගේ තැපැල් හැඳුනුම්පත සාදාගන්නා ආකාරය දැනගැනීමට හැකියාව ඇත.
පාසල් ළමුන් සඳහා තැපැල් හැඳුනුම්පත් නිකුත් කිරීම,
සිංහල, දෙමළ හෝ සිංහල භාෂාවෙන් අත්සන් කළ හැකි ඕනෑම පාසල් ශිෂ්‍යයකු සඳහා තැපැල් හැඳුනුම්පතක් නිකුත් කළ හැකිය. පාසල් සිසුන්ගේ අනන්‍යතාව තහවුරු කළ යුතු අවස්ථාවල දී තැපැල් හැඳුනුම්පත වලංගු හැඳුනුම්පතක් සේ පිළිගනු ලබන අතර සියලුම පාසල් දරුවන් තැපැල් හැඳුනුම්පතක් ලබාගෙන තිබීම වැදගත් වේ.
තැපැල් හැඳුනුම්පතක් ලබාගන්නා ආකාරය,
1. අයදුම්පත සම්පූර්ණ කිරීම
ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් තැපැල් හැඳුනුම්පතට අදාළ අයදුම්පතක් ලබා ගැනීමට හැකියාව ඇත. (පාසල් මට්ටමෙන් සිසුන් කණ්ඩායමකට එකවර හැඳුනුම්පත් සකස් කළ යුතු වේ නම් පාසලේ ගුරුවරයකු මැදිහත්වී අවශ්‍ය හැඳුනුම්පත් පාසලට ආසන්නම තැපැල් හෝ උපතැපැල් කාර්යාලයකින් ලබාගත හැකිය.)
අයදුම්පත නිවැරදිව පැහැදිලි අකුරෙන් සම්පූර්ණ කළ යුතුය.
නම උප්පැන්න සහතිකයේ සඳහන් පරිදි සඳහන් කළ යුතු අතර අයදුම්කරුගේ උස අඩි සහ අඟල්වලින් සඳහන් කළ යුතු වේ.
අයදුම් පත්‍රයේ පසුපිට සාක්ෂිකරුවන් විසින් කළ යුතු ප්‍රකාශය විද්‍යාලයේ විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති සහ උප ගුරුවරයකු විසින් කළ යුතු අතර විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පතිගේ නිල මුද්‍රාව තැබීම අනිවාර්ය වේ.
හැඳුනුම්පතට අදාළ ඡායාරූප දෙකෙහි පසුපිට ශිෂ්‍යයාගේ නම සහ උපන්දිනය සඳහන් කර විදුහල්පති හෝ බලයලත් වෙනත් ගුරුවරයකු විසින් අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතු වේ.
ඉන් එක් ඡායාරූපයක් අයදුම් පත්‍රයේ ඡායාරූප ඇලවීමට ඇති ස්ථානයේ නොගැලවෙන පරිදි හොඳින් ඇලවිය යුතුය.
2.ඡායාරූපය ලබා ගැනීම
තැපැල් හැඳුනුම්පත සඳහා අඟල් 2 1/4 × 3 1/4 ප්‍රමාණයේ රළු කඩදාසියේ මුද්‍රිත, වටේ සුදු බෝඩරයක් සහිත කළු සුදු, දුඹුරු සුදු හෝ වර්ණ ඡායාරූප දෙකක් (02ක්) ලබාගත යුතුය.(ඡායාරූපය කුමන හෝ ආකාරයකට සංස්කරණය කර නොතිබිය යුතු අතර ජංගම දුරකතන මඟින් ලබාගත් ඡායාරූප ද නොවිය යුතුය.)
ඡායාරූපයේ සිටින අයදුම්කරුගේ කන් පෙති දෙකම පැහැදිලිව පෙනෙන සේ තිබිය යුතු අතර, වැලමිටෙන් ඉහළ උඩුකය ඡායාරූපයක් විය යුතුය. කොණ්ඩය පිටුපසට වන සේ පීරා තිබිය යුතුයි.
ඡායාරූපය මත අත්සන් යෙදිය යුතු බැවින් එම අත්සන පැහැදිලිව හඳුනාගත හැකිවන පරිදි යෙදිය යුතුවේ. සුදු හෝ ලා පැහැති ඇඳුමකින් සැරසී ඡායාරූපය ලබා ගත යුතුය.
3. තැපැල් හැඳුනුම්පත් ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ලේඛන,
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
විදුහල්පති හෝ බලයලත් ගුරුවරයකු විසින් අත්සන් කර නිල මූද්‍රාව තබන ලද ඡායාරූප 02ක්, එයින් එක් ඡායාරූපයක් පමණක් අයදුම්පතට අලවා තිබිය යුතු අතර අනෙක් ඡායාරූපය නොඅලවා ඉදිරිපත් කළ යුතු වේ.
උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් නම් උප්පැන්න සහතිකයට අමතරව සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.
4. තැපැල් හඳුනුම්පත ලබා ගන්නා ආකාරය,
තැපැල් හැඳුනුම්පත් සාමාන්‍ය සේවාව යටතේ හෝ එක්දින සේවාව යටතේ ලබා ගත හැකිය.
එක් දින සේවාව,
එක් දින සේවාව යටතේ තැපැල් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව රු. 200.00කි. එම ගාස්තුවට අදාළ මුද්දර අයදුම් පත්‍රයේ නියමිත ස්ථානයේ ඇලවිය යුතුය. එක් දින සේවාව යටතේ තැපැල් හැඳුනුම්පත් නිකුත් කරනුයේ මරදාන, යාපනය, ගම්පහ, හලාවත, කළුතර, කුරුණෑගල, රත්නපුර, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, මාතර, මඩකලපුව, අනුරාධපුර සහ තැපැල් මූලස්ථාන යන තැපැල් කාර්යාලවලින් පමණි. ඉහත සඳහන් කරන ලද ලේඛන සියල්ල අයදුම්කරු විසින්ම මෙහි සඳහන් කළ තැපැල් කාර්යාලයකට භාර දී එදිනම හැඳුනුම්පත ලබාගත හැකිය.
තැපැල් මූලස්ථානය සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.4.00 දක්වා විවෘතව පවතී. ප්‍රධාන තැපැල් මූලස්ථානය ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටා ඇත.
සාමාන්‍ය සේවාව,
සාමාන්‍ය සේවාව යටතේ තැපැල් හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ගාස්තුව රු.50.00කි. එම ගාස්තුවට අදාළ මුද්දර අයදුම්පත්‍රයේ නියමිත ස්ථානයේ ඇලවිය යුතුය. දිවයිනේ ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් සාමාන්‍ය සේවාව යටතේ තැපැල් හැඳුනුම්පත් නිකුත් කෙරේ. පාසල් මට්ටමින් සිසුන් කණ්ඩායමකට එකවර හැඳුනුම්පත් සකස් කරන්නේ නම් පාසලට ආසන්නම තැපැල් හෝ උපතැපැල් කාර්යාලයකට භාර දිය හැකිය. එහිදී ශිෂ්‍යාව හෝ ශිෂ්‍යයා ද තැපැල් කාර්යාලයට යා යුතු වේ. සාමාන්‍යයෙන් දින 07ක් තුළ හැඳුනුම්පත සකස් කිරීම සිදුවන අතර අයදුම්පත් භාරදුන් කාර්යාලයෙන්ම හැඳුනුම්පත ලබා ගත හැකි වේ. මෙහිදී ද ශිෂ්‍යයා තැපැල් කාර්යාලයට ගොස් අත්සන් කර හැඳුනුම්පත භාර ගැනීම කළ යුතු වේ.
එසේම තමන් පදිංචි ස්ථානය හෝ පාසලට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් තැපැල් හැඳුනුම්පත ඉල්ලුම් කිරීම වඩාත් පහසු වේ.
උපදෙස්,
පාලන ලේකම් (කාර්ය මණ්ඩල)
සමන්තිකා ප්‍රේමරත්න