ලොකු ඉස්කෝලේ මහත්තයා

කෙටි නවකතාව- (දෙවැනි කොටස)
මාර්තු 31, 2025

 

විශ්‍රාම යන කුසුමලතා ගුරුමාතාව ගුරු අභ්‍යාස විදුහලේ ලැබූ පුහුණුව නිසාම ප්‍රාථමික විෂයයන් මෙන්ම නැටුම් විෂයෙනුත් හපන්කම් පෑ බවත් තමන් උගත් ශිල්ප, මේ දරුවන්ට නොමසුරුව දෙමින්, ඔවුන්ට නව ලොවක දොරටු හැර දුන් බවත් පැවසූ අධ්‍යක්ෂතුමා මෙවන් කෘතහස්ත ගුරු යුවළකගේ සේවය අහිමි වීම පාසලට දැරිය නොහැකි පාඩුවක් බවත් කීවේය.

 

එතුමා තවදුරටත් කතා කරමින් කනිෂ්ඨ පාඨශාලාවක් වශයෙන් පැවති මේ මැදපතන විදුහල අ.පො.ස. සා.පෙළ පන්ති පැවැත්වෙන විදුහලක් බවට පත්වී ඇත්තේ මෙතුමාගේ අවංක කැපවීම හා නොපසුබට උත්සාහය නිසාම බවත්, ගම්වැසියන් සැමදෙනාම එතුමන්ට කෘතඥ විය යුතු බවත් පැවසීය. මෙවිට සභාවෙන් නැඟුණේ කන් බිහිරි වන තරමේ අත්පොළසන් හඬකි.

 

ගුරු හිඟයක් පැවති කාලවල දී, විදුහල්පතිතුමා ගණිතය, සිංහල, ඉතිහාසය, භූගෝලය වැනි විෂයයන් තමන්ම උගන්වා දරුවන් විභාගවලින් සමත් කළ බවත්, එතුමන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවියෙකු බවත් ඔහු පැවසීය.

 

සැබෑ අරුතින්ම දිසාපාමොක්වරුන් වැනි වූ ගුරු යුවළකගේ සමුගැනීම විදුහලටත් ප්‍රදේශයටත් විශාල පාඩුවක් බව පැවසූ එතුමා විදුහල්පතිතුමන්ටත්, මැතිනියටත් බොහෝ කාලයක් නිදුකින් සිටීමට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අත්පොළසන් හඬ මැද අසුන් ගත්තේය.

 

පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ උත්සව සභාව අමතමින් වදාළේ, මේ විදුහල්පතිතුමන් මුලින්ම විදුහල්පතිවරයෙක් වශයෙන් පත්වන විට ගමට පාසලක් නොතිබුණු බවත්, බණ මඩුවේ පැදුරු එළාගෙන සිසුන් ඉගෙනුම් කටයුතු කළ බවත්ය.

 

විදුහල්පතිතුමන්, ගමේ පිරිස කැටුව සිය වරකටත් වඩා මන්ත්‍රීතුමන් හා කලාප අධ්‍යක්ෂතුමන් හමුවීමෙන් පාසලට ගොඩනැඟිල්ලක් අනුමත කරගත් බවත්, පාසලට අවශ්‍ය ඩෙස් පුටු කළුලෑලි සියල්ල ගමේ දෙතුන් දෙනෙක් උදවු කරගෙන විදුහල්පතිතුමා තම දෑතින්ම නිම කළ බවත් දෙපාර්තමේන්තු නිලධාරින් පවා ඒවා ඉතා අගය කළ බවත් උන්වහන්සේ පැවසූහ.

 

විදුහල්පතිතුමන්ගේ පියා ප්‍රදේශයේ දක්ෂ වඩුවෙක්ව සිටි බව තමන් වහන්සේ දන්නා බවත්, ජන්මයෙන්ම ඒ හැකියාව විදුහල්පතිතුමන්ට ලැබී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

 

“විදුහල්පතිතුමා ගමට ඇවිත් මුලින්ම කළේ ඒ වෙනකොට හේන්, කුඹුරු, කන්දක්, ලන්දක් ගානේ රස්තියාදු වෙවී හිටපු ගමේ දරුවො ටික එකතු කරගෙන ඒ අයගෙ ඕනෑ එපාකම් සපුරා දෙමින් අකුරු සාත්තරේ උගන්වන්නට අඩිතාලම දාපු එකයි.

 

අනාගතයක් පේන මානෙකවත් නොතිබ්බ ගමේ දරුවන්ට අනාගතයක් හදලා දුන්නු ලොකු ඉස්කෝලෙ මහත්තයා සැබෑ දෙවියෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.” යනුවෙන් පැවසූ හිමියෝ, විදුහල්පතිතුමා විශ්‍රාම යාම, මැකිය නොහැකි පාඩුවක් බව ද සංවේගයෙන් සඳහන් කළහ.

 

ගමේ වයෝවෘද්ධයෙක් වූ සියාතුහාමි නැඟී සිට, උත්සව සභාවට කියා සිටියේ ලොකු මහත්තයා මේ ගමට නොඑන්නට ගමට පාසලක් නොලැබෙන්නට තිබූ බවයි.

 

ලොකු මහත්තයා ගමට පැමිණි මුල් කාලයේ දී සිසුන්ගේ පාසල් පැමිණීම ඉතා දුර්වල වූ බවත්, පාසලේ නම් ලකුණු කරල ඉවරවෙලා ලොකු මහත්තයා හේන්වලට ඇවිත් හේන් කුඹුරුවල නට නටා හිටපු කොලුවො ටික ඉස්කෝලෙට එක්කහු කරගෙන ගියබවත්, හවසට ලොකු මහත්තයයි, ඉස්කෝලෙ හාමිනෙයි තමන්ගේ ගෙවල්වලට ඇවිත්, ළමයින්ට අකුරු සාත්තරේ දෙන එකේ වටිනාකම කියා දුන් බවත් ඔහු පැවසීය.

 

තමන්ගෙ දරුවන් අද ආණ්ඩුවෙ රස්සාවල් කරන්නෙ ලොකු මහත්තයටයි, නෝනටයි පින්සිද්ධවෙන්න බවත් තම දරුවන්ගෙ දෑස් පාදලා ලොකු මහත්තයා කළේ නිවන් දකින පිනක් බවත් තම දෑස් පිස දමමින් සියාතු පැවසීය.

 

ඉන්පසුව නැඟී හිටි අප්පුහාමි සීයා,

 

"අපෙ හාන්දුන්නේ!

 

මේ උත්තමයො නොහිටින්න මයෙ කොල්ලා දැන් ඉන්ට තිබුණෙ ආණ්ඩුවෙ බෝඩිමේ කූරු ගණන් කර කර.! කොල්ලො රැලේට වැටිලා ඌ දවස් ගණන් ගෙදර නෑවිත් හිටියා.

 

ඉස්කෝලෙ ගියෙ යලට මහට.

ඒ ගිය දවසට හැන්දෑවට ගමේ මහ එවුන් නඩු කියාගෙන ගෙදරට එනවා. මූ මොකක් හරි අලුගුත්තේරුකමක් කොරලා.!

 

ඉතින් මේ දෙයියො තමයි ඌ ගොඩ දැම්මෙ! කොලුවාට ආදරෙන් කතා කරලා, උගෙ අඩුපාඩුකම් සම්පූර්ණ කොරල, මයෙ කොල්ලගෙ දෑස් පෑදුවේ මේ උත්තමය තමයි.!

 

දැන් මයෙ කොල්ලා මට රටක් රාජ්ජයක් වගේ. .! උගෙ සුදුසුකම්වලට ආණ්ඩුවෙ කන්තෝරුවෙ රස්සාවක් හරි කරලා දුන්නෙත් අපෙ දෙයියො තමා. මට තවමත් මැවිලා පේනවා හාන්දුන්නේ, කොල්ල කැලෑ පැන්න දවස්වලට වේවැලකුත් වහන් කරගෙන ඇවිල්ලා ඌව ආණ්ඩු මට්ටු කරපු හැටි!” කරේ තිබුණ ලේන්සුවෙන් ඇස් දෙක පිහිදමින් අප්පුහාමි වාඩිවුණේය.

 

දායක සභාවෙ සභාපති පීරිස් සිංඤෝ නැඟිට, “අනේ අපේ හාමුදුරුවනේ !ඒ කාලෙ අපේ කොල්ලො කුරුට්ටො ඉස්කෝලෙ නොගියෙ උන්ට හාමතේ හින්ද බව ලොකු මහත්තයා දැනගත්තා.

 

කොල්ලන්ගෙ බඩ පිරෙන්න උදේට මොනවහරි දෙන්නයි කියලා එතුමා අපිව කැඳවලා කිවුවා. අපි ඔක්කොම කතා වුණා මොනවහරි අපේ ගෙවල්වල තියෙන දෙයක් එකතු කරලා ඉස්කෝලෙ එන එවුන්ට දෙමු කියලා. ඉතින් ගෙවල්වල තිබ්බ විදිහට ඒ කාලෙ අපි ඉරිඟු, මුං ඇට, කව්පි, කඩල මාරුවෙන් මාරුවට ඉස්කෝලෙදි තම්බලා දුන්නා. මෙන්න හාමුදුරුවනේ බලාගෙන ඉන්නැද්දි කොල්ලො ඉස්කෝලෙ එන එක වැඩි වුණා. අපේ ලොකු මහත්තයා ගාණෙත් සතියකට සැරයක් කොල්ලොන්ට බත් වේලක් දුන්නා.

 

ඉතින් අපේ ලොකු මහත්තයගෙ සූත්තරේ හින්ද තමයි මේ ඉස්කෝලෙ මෙහෙම දියුණු වුණේ.!

 

අනේ! අපෙ හාමුදුරුවනේ උන්නැහේලා පැන්සොන් යන එක නම් අපේ ගමටම නස්පැත්තියක්!”

 

ඔහු හූල්ලමින් කීවේය.

 

ගමේ වයස්ගතම කාන්තාව මංගොනෝනා උන්දැත් හැරමිටි ගහ ගහ අද ඉස්කෝලෙට ඇවිල්ලා. උන්දැ හැරමිටියට වාරුවෙලා නැඟිට්ටා.

 

“අවසරයි !අපෙ හාන්දුන්නේ!

 

මට හිටපු එකම කොලුවා නයා ගහලා මැරුණට පස්සෙ, මයෙ ලේලිත් ඒ සාංකාවටම ලෙඩින් වැටිලා වැඩි දොහක් යන්ට කලියෙන් මියැදුණා. මයෙ මිනිපිරියි මායි තනිවුණා.

 

කෙල්ල ඇටෙන් පොත්තෙන් මිදෙන්න කලින් එක එකාගෙ ගෙවල්වල වළං හෝදන්න යනකොට තමයි මේ උත්තමයො මයෙ කෙල්ලව බේරගත්තෙ.!

 

මයෙ කෙල්ලට ඕනි කරන සබ්බ සකලමනාවම හරි කොල්ල දීල ඒකිගෙ ඇස් දෙක පෑදුවෙ මේ උත්තමයො දෙන්න තමයි.!

කෙල්ල අකුරු කරන්ට ගියෙත් ඉස්කෝලෙ ගෙදර නැවතිලා. කන්න බොන්නත් දීලා, හවසටත් නෝනා මහත්තයයි, ලොකු මහත්තයයි කෙල්ලට අමාරු පාඩම් වැඩ කියල දීලා තමයි මයෙ කෙල්ලව ගොඩදැම්මෙ.! මේ උත්තමයො බුදුන් දැක නිවන් දකින්ට, මයෙ කෙල්ල දැන් ඉස්කෝලෙ ගුරුවරියෙක්.” කියපු මැංගො උන්දෑ කඳුළු පිහගත්තා.

 

සභාවේ නිහඬතාව බිඳුණේ වරින්වර නැඟුණ සුසුම්හඬින් හා ඉකිබිඳුම් හඬින් පමණි.

 

උත්සව සභාවේ පිටුපස අසුනකින් සිහින් හඬක් නැඟෙන විට කවුරුත් පසුපස බැලූහ.

 

“අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙනුත්. උත්සව සභාවේ හැම දෙනාගෙනුත් අවසරයි, ගරු අධ්‍යක්ෂතුමනි,

 

මම සුරංගනී !

 

මේ විදුහලින් ප්‍රථමවතාවට අ.පො.ස.සා.පෙළ විභාගෙන් ඉහළ ප්‍රතිඵල ගත්තේ මම.!

 

විභාගෙට අවුරුද්දකට කලින් තමයි ලොකු මහත්තයා අපිට හවස පන්ති පටන්ගත්තෙ. හැම විෂයයකටම අවශ්‍ය ගුරුවරු හිටිය නැති ඒ කාලෙ එතුමා අපිට මහන්සි නොබලා විෂයයන් තුන හතරක් විභාගෙට ඉගැන්නුවා. අවශ්‍ය අතිරේක පොත් ගෙනාවෙත් එතුමාම තමයි.

 

පන්තියේ අපි හැමෝම ඒ පොත් බෙදාගෙන පාඩම් කළා. එකතුවෙලා සාකච්ඡා කළා.

හැමදාම හවස පාඩම් කරපු හැමෝටම ලොකු ඉස්කෝලෙ හාමිනේ මොනව හරි බඩ පිරෙන්න කන්න දෙයක් එක්ක තේ දුන්නා.

 

සිංහල පාඩමේ අපිට තේරුම් ගන්න බැරිවෙච්චි අමාරු කොටස් සේරම තේරුම් කරලා දුන්නෙත් එතුමියයි. අපි අද මේ ඉන්න තැන් අපිට හදල දුන්නෙ අපේ ලොකු මහත්තයයි නෝනයි !

 

ලබන සතියේත් හමුවෙමු