සුජීව සිරිමෙවන් තරුණීට අරන් එන අලුත්ම නවකතාව

මැයි 12, 2025

 

දවස වෙහෙසකරය. කොළොම්තොට, දහවල දූවිලි ගිනියම් සුළඟින් හෙම්බත් ව හිඳ දැන් විඩා නිවයි. වෙරළබඩ තෙත කරදිය සුළඟ මැරයින් ඩ්‍රයිව් එකෙන් ඔබ්බට හමා විත් මහල් නිවැසි සඳළු මත හැපෙයි. ගාලුපාර මෝරයි. මඟ දෙපස දිගැසි ළඳුන් රත් උල් තොල් දිදුලයි. පුළුලුකුල් ළැමහසුන් නුරා උතුරන දසුන් සැණින් ඡේදනය කර මගී නැවතුම් පසු කරයි.

 

නිගූ - නිගූ නේත්‍ර ද සිල්වා. සිය පර්ජෝ ෆයිව් ඩබල් සීරෝ එයිට්- එස් යූ වී රථය ගාලුමුවදොර දෙසට පදවයි. ඔහුට හදිසිය. දකුණු පසින් ම තබාගෙන ගොස් වන් වේ මඟෙහි සෙසු රිය පසු කෙරුම ක්‍රීඩාවකි. එහෙත් මොහොතින් මොහොත හිත ගැස්සෙයි. ඈ ඩච් එක ළඟ කොන්ක්‍රීට් බංකුවක වාඩි වී ඔහු එනතුරු බලා සිටියි.

 

ජීවිත කාලයට ම උදා වන්නේ එක් වසන්ත කාලයක් පමණකැයි කම්පා වී උදාසීන වීමෙහි පලක් නැත. අනපේක්ෂිත ව වුව ද යළි වසන්තයක් උදා වෙයි. මොහොතින් මොහොත ජීවිතාශා දැල්වෙන, අවන්හල් අඳුරු කොරිඩෝවල මුදු සිපුම් පහසෙහි දැවටෙන, රැය පුරා මිහිරි මායා වසඟයක ගිල්වන එබඳු වසන්තයක් උදා වන්නට යන විට, දෝත් මොනතරම් දෙපසට විහිදා එය පිළිගත යුතු ද?

 

ගාලුමුවදොර පසු වෙයි. පරණ පාර්ලිමේන්තුව ආඩම්බරයි. කිංස්බරිය ළඟ කලබලයි. නිගූ රිය දකුණට හරවයි. ඈ නෙත් පෙර මඟට දැල්වෙයි. සිමෙන්ති බංකුවෙන් නැඟිටියි. පෙර මඟට එන්නට සැරසෙයි. සැඳැ මළ හිරු රත වැදී ඇගේ සවන් පත් අග රිදී කුණ්ඩල දිදුලයි. රිය නතර වෙයි. අමුතු රෝස පාට නිය සායම් ගෑ දිගැඟිලි අතකින් ඉදිරි වම්පස දොර හැරෙයි. නිගූගේ හිත තව තවත් කලබලයි. ඈ නැඟුණු පසු රථය සෙමෙන් ඉදිරියට ඇදෙයි. වික්ටෝරියා සීක්‍රට් මුදු විලවුන් සුවඳින් නැහැ තුඩු කිතිකැවෙයි. හෑන්ඩ් බෑගය මත වූ ඇගේ දකුණත ඇද ඔහු වමතට තෙරපා ගනියි. ඈ නිගූගේ උරහිස මතට බර වී මුහුණ ඔහු වෙත උඩුකුරු කරයි. අනුරාගය ද ආදරය ද පිරි හාදුවක් ඇගේ නළලත මත තැබෙයි. යෝර්ක් වීදිය දෙසට නොගොස් රථය දකුණු පැත්තට ඇදෙන වාහන පොදියට එක් වෙමින් නිගූ ඈ දෙස බලයි.

“අපි කොහෙද අද යන්නෙ?”

“ දන්නෑ...., ඕ‍ෙන දිහාවක”

 

ඈ තව තවත් හරිබරි ගැසී ඔහුගේ උරහිසට තුරුලු වෙයි.

ඈ අසෙනි තේනුවර. ‘තිසර’ මීඩියා නෙට් වර්ක්හි වැඩසටහන් නිෂ්පාදකවරියකි. විසි නවයයි. අවිවාහකයි. වසර හතක පමණ කාලයක් තිස්සේ ඈ නිගූ හඳුනයි. ඒ ඈ හොරණ ශ්‍රීපාලී සරසවියෙහි සිසුවියක ව හුන් කාලයේ සිටයි. එකල නිගූ පිටපත් රචනය පිළිබඳ දේශන පැවැත්වීමට බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස එහි පැමිණෙයි. දේශනය අතරතුර වරින් වර අසෙනි දෙස බැලෙයි. හිස් මුදුන් කොට බැඳි මුහුළස ද සිනා රැලි අතර දෙකොපුලෙහි මැවෙන ඩිම්පල් ද දෑල විහිදුණු දිගු නේත්‍ර කාන්තිය ද ඇගේ වසඟයයි. අැගේ ඇඳුම් විලාසිතාව ද අමුතු රෝස පාට නිය සායම් තැවරූ දිගු ඇඟිලි තුඩු ද යෙහෙළියන් දෙසට හැරී සල්ලාපයේ යෙදී හුන් විරාමයක සවන් පත් අග ලඹ දෙන රිදී කුණ්ඩල ද ඈ තුළ ඇතැයි සිතෙන කුතුහලජනක සෞන්දර්යය ඉඟිකරයි. ඇතැම් දවසක දේශනය අවසන පවරන පැවරුමක් ගැන තවදුරටත් අසා ගන්නට අසෙනි දෙසුම් හල් දොරකඩ මඳක් නතර වෙයි. නිගූගේ කටහඬ ද කතා කරන විදිහ ද නළලට වැටෙන අක්බමරු කැරලි කෙහෙරැලි ද නිතර උර රැඳි අමුතු අමු රෙදි මල්ල ද ඔහුගේ වසඟයයි. මේ අනුරාගී වසඟයත් සමඟ ම අසෙනිට නිගූ කෙරෙහි දැඩි ගෞරවයක් ද තිබෙයි. නිගූගේ දේශනය අතරතුර මතුවන ඇතැම් විවාදාපන්න සමාජීය කාරණාවලදී ඔහු පවසන නිදහස්කාමී අදහස්වලට ඈ මහත් සේ ආසක්ත වෙයි.

 

“ගැහැනිය කියන්නේ පිරිමියාගේ රෝග ලක්ෂණය. ගැහැනු රඟ දක්වන්නෙ පිරිමියාගේ ආශාව. ඒ හින්ද පිරිමි ගෑනුන්ව නිදහස් කරන්නෙ නෑ.. නිදහස විඳින්න ගෑනුන්ට වුවමනාවකුත් නෑ..උන් කරන්නෙ නිදහස අහිමි කර ගත් වේදනාවෙන් සතුටු වීම.”

 

දේශනය අතරතුර නිගූ මතු කරන මෙබඳු අදහස් අසෙනි බෝඩිමේදී ද මෙනෙහි කරයි. එක ඇඳ බෙදා ගත් යෙහෙළිය වූ අනුත්තරා සමඟ ද පවසයි. හැම දෙයක් දෙස ම සැකයෙන් බලන රුදුරු ආදර යදමකින් තමා බැඳ තැබූ ආදරවන්තයෙකුගේ ග්‍රහණයෙන් අසීරුවෙන් හෝ ගැල වී යාමට ඈ උත්සාහ දරමින් සිටි කාලයකි එය. එබැවින් මුලදී දෙසුම්හල් දොරකඩ ඔවුන් අතර සිදු වූ විෂයානුබද්ධ කතාබහ මිතුරු සංලාපයක් දක්වා දිගේලි වෙයි. ඔහු දේශන සඳහා සරසවියට නොපැමිණෙන කාලවලදීත් ඈ සරසවිය හැර ගොස් නොයෙක් මීඩියා ආයතනවල වැඩ කරන අතරතුරදීත් ඔවුන් අතර පැවති ඒ මිතුරු සංලාපය නතර නොවෙයි. ඔහු විදෙස්ගතව සිටි දෙවසරක පමණ කාලය හැරුණු විට අනෙක් කාලවලදී විටින් විට හෝ එකිනෙකා කෙරෙහි සොයා බලන්නට මැසෙන්ජර් සක්‍රීය වෙයි. එකිනෙකා කෙරෙහි පැවති මේ හිතමිතුරු භක්ත්‍යාදරය එක්වරම උමතු ප්‍රේමයක් බවට පත් වූයේ අහම්බයකින් නොවන බව ඇය දනියි.

 

“කියන්ඩකො අනේ.. අපි කොහෙ ද යන්නෙ?

බැරිස්ටා එකෙන් කෝපි එකක් බීලා ඉමු ද?”

“අන්න හරි”

“ඊට පස්සෙ”

 

“ඊට පස්සෙ ගෙදර..”

නිගූ එම අවසන් පිළිතුරට අකමැති බව අසෙනි හොඳින් දනියි. ඇයට වුවමනා වූයේ ඔහු ඇවිස්සීමටයි. රථය ටවුන් හෝල් දෙසට ඇදෙයි. බැරිස්ටා මිදුලට හරවා බිත්තියට මුහුණ ලා නතර කෙරෙයි. බහින්නට පෙර එකිනෙකා මොහොතක් උනුන් දෙස හැරෙති. ඔහු ඇගේ නෙත් ගැඹුරට කිමිදෙයි. තවත් නිමේෂයකින් තමාගේ දෙතොල් ඔහුගේ දෙතොල් ග්‍රහණයට නතු වන බව ඇය දනියි. එහෙත් නිම්හිම් නැති අනුරාගයේ මිහිරිතම වදන් බඳු ඒ දෙතොල් සිපුම් සංග්‍රාමය කොතැනකින් නිමා වනු ඇද්දැයි ඔවුහු නොදනිති. තවත් රථයක් පැමිණ සමාන්තරව නැවතූ බැවින් සෙමින් දෙපසට වෙති. තවත් නිමේෂයක් පමා වන නිගූ ඇගේ අත් දෙක ම තමා වෙත ඇද වැරෙන් අල්ලා ගනියි.

 

“ මං අනිද්දට අපාර්ට්මන්ට් එකට යනවා, යතුරත් ඉල්ලා ගත්තා”

“අහ් එහෙම ද?.. එතැන මොකුත් නෑ නේද? අපි මොනවා හරි ටිකක් ගමු නේද? යමු මං අරන් දෙන්නම්.. උයා ගන්නව ද නැද්ද කියන එක පස්සෙ තීරණය කළත් තේ එකක් හරි හදා ගන්න වුවමනා දේවල් ටික ගන්ඩ එපායෑ..”

අසෙනිට ලොකු උනන්දුවක් ඇති වෙයි. හයිඩ් පාර්ක් ආර්පිකෝ එකට ගොස් අලුත් අපාර්ට්මන්ට් එකෙහි මුළුතැන්ගෙට වුවමනා කළමනා ටික කරත්තයට එකතු කරන සැටි සිහින මැවෙයි.

නිගූගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක මාතෘකාව ලියවෙමින් තිබෙයි. එය ශෝකාන්තයක් ද සුඛාන්තයක් දැයි කිසිවකුට කිව නොහැකිය. තම විවාහ ජීවිතය සැබවින් ම බිඳ වැටී වසර දෙකහමාරක් පමණ ගත වී ඇති බව ඔහු දනියි. එහෙත් කාංචනා කිහිප වතාවක් ම කියා සිටියේ තමාගේ හිත වෙනතකට ඇදී ගොස් ඇති බවත් හිත හදා ගන්නට කල් දෙන ලෙසත් ය.

කාංචනා - කාංචනා අමරසිංහ නිගූගේ බිරියයි. නිගූ තම ආත්මාභිමානය පවා යටපත් කරගෙන වසර දෙකහමාරක් තිස්සේ බලා සිටියි. චූටි දුව - සාරාගේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු කුමක් හෝ තීරණයක් ගත යුතු යැයි ඔහු සිතා සිටියි. කාංචනා එළිපිට ම ඇගේ පෙම්වතා සමඟ දුරකතනයෙන් කතා කරන්න පටන් ගෙන දැන් මාස කිහිපයක් ගත වී තිබෙයි. ඈ අල්මාරියේ දොරක් ඇරගෙන ඊට මුවා වී ඇගේ පෙම්වතා සමඟ කතාකරමින් සිට හසු වූ අවස්ථාවේදී නි‍ෙවසෙහි විශාල රණ්ඩුවක් ඇති වෙයි. ඇයට පහර දීමට වුවමනා වුවත් ඔහු ආවේශයෙන් මෙන් තම කලිසමෙහි පටිය ගලවා එයින් ලී තරප්පු පේළියට ගැසූ අයුරු සිහිපත් වෙයි. සාරා හඬමින් මැදට පැන අම්මා බදා ගත් අයුරුත් ඇය ද කැටුව කාමරයට ගොස් දොර වසා ගනිමින්,

“ තියාගනින් උඹේ මහ ලොකු ආදරේ.. කෑවා උඹ මගේ ජීවිතේ.. “ යනුවෙන් කෑ ගසා කී සැටි තවමත් ඔහුට ඇසෙයි. ඒ වන විටත් ඊටත් වඩා රුදුරු රිදුම් වදන්වලින් ඈ ඕ‍ෙන තරම් ඔහුට පහර දී ඇති බැවින් ඔහු නිහඬවම සිටින්නට පුරුදු වෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා විශේෂ උපාධිය ලබන කාංචනා අමරසිංහ පසුව පරිපාලන සේවා විභාගයෙන් සමත් වී රාජ්‍ය පරිපාලනයට පිවිස සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස වසරක කාලයක් සේවය කොට පසුව අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරියක් බවට පත් වෙයි. පේරාදෙණි සරසවි ප්‍රේමයේ මිහිරිතම පලයක් ලෙස ඔවුන් ඇරඹූ යුග දිවිය දසවසරකින් පසුව බිඳී සුන්බත් වන විට සුන්බුන් වූ නැව් බඳ අතරෙහි බෝල ඇස් දෙකක් එක්ක සුරතල් සිඟිති මුහුණක් පෙනෙයි. ඒ චූටි දුව - සාරාගේ මුහුණයි.

 

තවත් කොටසක් ලබන සතියට...