වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
ඉස්තරම් රත්රන් ගන්න හෙට්ටිවීදියට එන්න

ඔන්න ආදරණීයයන්ගේ ආදරණීය මාස ටිකෙන් ටික ළං වුණා. අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය හෙමි හෙමිහිට ගෙවී ගිහින් දැන් ඉතින් උදා වෙන්නේ විවාහ මංගල උත්සව කාලයයි.
විවාහ මංගල්‍යය සඳහා ඔබ කොතෙකුත් විය. පැහැදම් කළත් ඒවායින් ඔබේ අනාගතය වෙනුවෙන් ඉතිරි වන්නේ රන් ආභරණ මිලදී ගැනීම් පමණයි. එබැවින් මෙවර කොටුවේ සවාරියෙන් ඔබ රන් ආභරණ මිලදී ගැනීමට සුදුසුම ඉසව්වකට ගෙන යාමට අප තීරණය කළා.
ඉතින් විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් තමයි පිටකොටුවේ හෙට්ටිවීදිය. තමන්ගේ මංගල උත්සවයට අවශ්‍ය කරන රන් ආභරණ හිතේ හැටියට තෝරගන්නත් තමන් කැමැති ආකාරයට සාදවා ගන්නත් පමණක් නොව අඩු මුදලකට මිලදී ගැනීමටත් බොහෝ දෙනකු ගොඩවන්නේ මේ හෙට්ටිවීදියටයි.
ඉතින් විවාහ මංගල මාසයන් වෙනුවෙන්ම වෙෙළඳපොළට එකතු වුණු අලුත්ම මෝස්තරයේ මාල, වළලු, මුදු, කරාඹු ඇතුළු රන් ආභරණ බොහොමයක් මේ වනවිටත් හෙටිටිවීදියේ දකින්නට ලැබේ. මේවා කැටයම් සහිතව සුන්දරව හැඩ, වැඩ කළ ලොකු, කුඩා රන් ආභරණ ලෙසින් ද වේ. එසේම මාලය, වළල්ල, මුද්ද, කරාඹුව ආදිය ඇතුළු සියල්ල එකම විලාසිතාවකට සැකසූ ආභරණ කට්ටල ද ඒ අතර වේ.
මේ එක්කම පිටකොටුව රෙක්ලමේෂන් වීදියේ ශාන්ත ජෝන් මත්ස්‍ය වෙෙළඳපොළ තිබූ ස්ථානය අද රත්රන් පුරවරයක් ලෙසින් දිදුලයි.
කොළොම්පුරේ සිත්ගත් තවත් සුන්දර ස්ථානයක් ලෙසින් මේ පස්මහල් ප්‍රාසාද ගොඩනැඟිල්ල හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ස්වර්ණාභරණ සහ මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය මෙයයි. 'Colombo Gold Centre'
නමින් හඳුන්වන මෙය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ නාගරික සංවර්ධන අධිකාරිය දැයට තිළිණ කළ ව්‍යාපෘතියකි.
ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ ජීවිත උසස් තත්ත්වයකට ඔසවා තැබීමේ අරමුණින් මෙය ඉදිකරවා ඇත. ඒ වගේම ඔබේ කාලය, ශ්‍රමය, ඉතිරි කරමින් සුව පහසුවට ආරක්ෂිතව අපූරු සාප්පු සවාරියක අත්දැකීම විඳගන්නට ආරාධනා කරන මේ රන් පාරාදීස සැබවින්ම ඔබේ අනාගතයට වටිනාකමක් ගෙනදේවි.
විශේෂයෙන්ම දේශීය පාරිභෝගිකයන් වගේම විදේශීය සංචාරකයන්ට ද හිතේ හැටියට පහසුවෙන්ම එකම ස්ථානයකින් සිය රන් අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසී තිබේ. දැනටමත් මෙහි වෙෙළඳසල් 75කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබේ.
මේ රන් ආභරණ ගොඩනැඟිල්ලට පිවිසීමේදී වාසි ගණනාවකි. ඔබ වෙනදා වැඩි මුදලක් අතේ තබාගෙන සොර සතුරු බියෙන් මිරිකෙමින් ගමන් කරන අයෙක් වෙන්නට ඇති. එහෙත් මේ ගොඩනැඟිල්ලට පිවිසීමේදී ඔබ සැබෑම සුරක්ෂිතය. එසේම අව්වෙන්, වැස්සෙන් ආරක්ෂිතය. දහඩිය දාගෙන රන් ආභරණ තේරීමක් අවශ්‍ය වන්නේ නැත. වායු සමීකරණය කරන ලද නවීන වෙෙළඳ සංකීර්ණයක් තුළ හිතේ හැටියට නිවීසැනසිල්ලේ ආභරණ මිලදී ගැනීමට හැකියාව ඇත.
නවීන තාක්ෂණික ආරක්ෂක උපක්‍රම සහිත මේ ස්ථානයට ආරක්ෂක අංශ මඟින් නොඅඩුව ආරක්ෂාව සැපයීම සිදුවේ.
තවත් පැත්තකින් ඔබට සුවිශේෂී සේවාවක් ද සපයාගත හැකියි. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු කිහිපයකම ශාඛා මෙහි දැකිය හැකි වේ. ඒවායේ කාර්යක්ෂම මුදල් ලබා ගැනීමට ඔබට අවස්ථාව සැලසේ. එමෙන්ම විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථාන වගේම ඔබ මිලදී ගන්නා ආභරණවල ගුණාත්මක අගය සහ ප්‍රමිතිය පරීක්ෂා කරවා ගැනීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ශාඛාවක් ද මෙහි පිහිටුවා තිබීම විශේෂත්වයකි.
මෙම මධ්‍යස්ථානය දැනට සතියේ දින හතම සහ පොහොය දිනයේ පවා විවෘතව පවතින අතර පෙරවරු 8:00 සිට රාත්‍රී 10:00 දක්වා විවෘතව තැබේ. එකම වහලක් යට වෙෙළඳසල් විශාල සංඛ්‍යාවක ඇවිද බලා තම රුචිකත්වය සහ අතේ ඇති මුදලට හොඳ තෝරා ගැනීමක් කරන්නට මෙම වෙළෙඳ සංකීර්ණයට පියනැඟිය හැකියි.
ශාන් රඹුක්වැල්ල