වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
MOTHER ' S BOY

ස්වර්ණාභරණ මන්දිරයක් හිමිකාර පවුලක බාල සොහොයුරා අසෙනිට යෝජනා කොට, ඔවුන්ගේ නෑදෑ සනුහරය ම අසෙනිලාගේ නිෙවසට පැමිණි සති අන්තය විකට ජවනිකා පෙළක් මෙන් ඈ තවමත් ආවර්ජනා කරයි. ඔවුන් එදින හැසිරෙන්නේ මඟුල තීන්දු වී ඇති ලෙසිනි. මනමාල සුහුඹුල් පෙනුමැති බාල සොහොයුරා අක්කලා දෙන්නාත්, කරුණාබරැති අම්මාත් විසින් සුරතල්කරනු ලැබීම අධිතාත්වික නිරූපණයක් බඳු ය. අම්මා විටින් විට බාල පුතු කරා ගොස් කමිස කොලරය සකසයි. අක්කලා දෙන්නා ද චූටි මල්ලී කෙරෙහි ම රැඳ වූ නෙත් ඇති ව සිටිති. අයියලා දෙදෙන ද ඒ සමඟ පැමිණි තව මාමෙක් ද පුළුවන් හැම අවකාශයක් ම ඉවහල් කර ගනිමින් තම වත්පොහොසත්කම් හඟවති. අක්කලා ද අම්මා ද රත්රන් පොරවාගෙන සිටිති.
අයියලා දෙන්නාගේ ද අත්වලත් කරෙහිත් කඹ වැනි රන් දම්වැල් පටලා තිබෙයි. එහෙත් මනමාල තරුණයා තුළ වූයේ හුරුබුහුටි ප්‍රසන්න බවකි. ඔහු සමඟ වචනයක් දෙකක් හෝ කතා කරන්නට අසෙනිට උවමනා වී තිබුණ ද නෑදෑයන්ගේ කලබලය අතර ඊට ඉස්පාසුවක් නොලැබෙයි. අසෙනිගේ අම්මා ද මේ ඝෝෂාවෙන් විපිළිසර ව සිටියි. අසෙනිට ඒ ගැන ඇත්තේ සියුම් සතුටකි. එය මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ලැබෙන කදිම අනුබලයකි.
පසුව මේ තරුණයා කිහිප වරක්ම අසෙනි සමඟ දුරකතනයෙන් කතා කරන විට ද ඔහු අහිංසක, අවංක ගතිගුණ ඇති කොල්ලෙකු බව ඇයට සිතෙයි. ඒත් ඒ තරම් නෑදෑ පිරිවරක් සහ සහෝදර සම්පත්තියක් මැද කෙසේ ඔළුව ගසාගෙන ජීවත් විය හැකි දැයි ඇයට සිතෙයි. ඒ සියල්ලටමත් වඩා ඔහු සමඟ කතා කරන අවස්ථා කිහිපයකදී ම අම්මාගේ තීරණය තමාගේ ද තීරණය වන බව කියන්නට ඔහු සාඩම්බර ලෙස උත්සාහ ගත් අයුරු ඇයට සිහි වෙයි.
"ඔයාලගේ පවුලෙ අය හරි එකතුයි නේ ද?
අපිට නම් ඉන්නෙ ඔය ලොක්කයියා විතරයි."
දිනක් මේ තරුණයා සමඟ දුරකතනයෙන් කළ සංලාපය අතරතුරදී අසෙනි පවසයි.
"අපෝ අපේ අම්මා ඉන්නකල් කාටවත් බෑ ඈත් වෙන්න. තාත්තා ඉන්න කාලෙදි වුණත් මොන දේ වුණත් කෙරෙන්නෙ අම්මගෙනුත් අහල තමා.."
එය ඔහු සැලකුවේ තමා කීකරු පුතෙකු වීම ඇයට තමා තෝරාගැනීම පහසු කරවන වැදගත් නිර්ණායකයක් ලෙසිනි. එහෙත් අසෙනිට එය තමාගේ අනාගත සහකරුවා තුළ පෙනෙන නුසුදුසුකමකි.
අසෙනිගේ තුරුණු සිත මුලින් ම පැහැරගත් පිරිමි චරිතය විශාරද හරේන්ද්‍ර නාදසිංහයි. ඒ වූකලී ඈ උසස් පෙළට සංගීතය හැදෑරූ අවදියයි. තම යෙහෙළියන් සමඟ "නාදනූපා" කලායතනයට ගිය ඒ මල්බර සමය තවමත් ඈ සිහි කරන්නේ උන්මාදනීය සිහිනයක් ලෙසයි. අසෙනි එම කලායතනයට පිවිසෙන්නේ වයලීනය ඉගෙන ගැනීමටයි. හරේන්ද්‍ර ඒ වන විට ද රූපවාහිනී වැඩසටහන්වල පවා නිතර දක්නට ලැබෙන දක්ෂ වයලීන වාදකයෙකි. ඔහු දක්ෂ සංගීතාචාර්යවරයෙකු ලෙස ද ප්‍රකටයි. ඔහුගේ දිගු ඇඟිලි තුඩු වයලීනයේ තත් මත හසුරුවන ඒ ඉන්ද්‍රජාලික නිමේෂය අසෙනිගේ තුරුණු සිත කලඹයි. ඈ ඔහු දෙස බලා සිටින්නේ ගෞරවය ද මුසු ශෘංගාරී හැඟීමකිනි. එහෙත් සංගීත පන්තිය තුළ දී මෙළවුණු අසෙනිගේ ශෘංගාරයෙන් පෙලඹුම් ලබන්නේ අනෙකෙකි.
ඒ තම සහචරයන් සමඟ මෝටර් සයිකල් මත නැඟී පන්ති අරින වේලාව බලා කෙල්ලන් දඩයමේ ගිය යෞවනෝන්මාදයෙන් මඬනා ලද ලලීන්ද්‍රයි. ලලීන්ද්‍ර සමඟ ඇරඹූ අසෙනිගේ ප්‍රථම ප්‍රේමය සිවු වසරකින් නිමා වෙයි. ඔහු සමඟ ප්‍රේමාවනද්ධ වූ පළමු වසර තුළ ඈ පියෙවියෙන් මිදී සිහිනයක සැරිසරයි. එහෙත් දවසින් දවස තම අරුමැසි ප්‍රේමවන්තයා තුළ සැඟව සිටි වධකයා හඳුනා ගන්නට ඇයට හැකි වෙයි. ලලීන්ද්‍රගේ කඩවසම් පෙනුමත්, හැඩකාර රැවුළත් ව්‍යායාමයෙන් වාත්තු කළ ජේත්තුකාර සිරුරත් යට පත් කර ගෙන සැකය, හීනමානය, ලිංගික ඊර්ෂ්‍යාව ඉස්මතු වෙද්දී අසෙනි ඔහුගේ යදඩු බඳු අවයවවලට මෙල්ල වී හමාරය.
මවුපියන්ගේ ද ගුරුවරුන්ගේ ද ඇසට වැලි ගසා ආ ගිය තැන් සහ කළ කියුම් කෙරුම් ඇයට දිරවා ගන්නට නොහැකි වෙයි. ඇනුම් බැණුම් තැවුල් හැඬුම් මැද ඈ කෙසේ හෝ උසස් පෙළ සමත් වී සරසවි වරම් ලබයි. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයට පිවිසුණු පසු තම ප්‍රථම ප්‍රේමයෙහි සමාප්තිය සලකුණු කිරීමට ද ඈ වරම් ලබයි. ඉන් පසු වරින් වර හමු වුණු පිරිමි චරිත කෙරෙහි ඈ ආසක්ත වී ඇතත් ඒවා පෙම් බැඳුම් සේ වර නොනැඟෙන්නට ඈ වග බලා ගනියි. සරසවියේදී ඇයට නිගූ හමුවීමත් වසර ගණනකට පසු යළිත් ඔහුගේ ඇසුරට වැටීමත් දෙක ම අහම්බකාරකයි.
ටවුන් හෝල් බැරිස්ටාව අසලින් නික්ම හයිඩ් පාර්ක් කෝනර් ආර්පිකෝ රථගාලෙහි නිගූගේ රථය නතර වෙයි. පිටත කළුවර මෝදු වෙයි. නගරය එළි කිරණින් නැහැවෙන්නට පටන් ගනියි. රථයෙන් බසින්නට සැරසෙත් ම ඉදිරි අසුන් අතර රඳවනයෙහි තබා තිබුණු නිගූගේ ජංගමය නාද වෙයි. තිරය මත "kaanchana" යනුවෙන් සනිටුහන්ව තිබෙයි. විමතියත් බියත් මුසු දෙනෙතින් අසෙනි නිගූගේ මුහුණට එබෙයි.