බන්ධන

කෙටි කතාව - 1 කොටස
මැයි 26, 2025

 

අරුන්දතී සමාජ ක්‍රියාකාරියක් ලෙස පෞද්ගලික ආයතනයක සේවයේ යෙදී සිටී. විවිධ රෝහල්වලට ගොස් අසරණව සිටින රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ගෙනැවිත් දීම උපස්ථානය සඳහා කෙනෙකු අවැසි නම් සපයා දීම ඇගේ කාර්යයයි. අරුන්දතීගෙ මුළු කාලයම වැය වන්නේ රෝහල තුළත් රෝගීන් ඇසුරෙත්ය. බොහෝ දුර බැහැර සිට පැමිණ රෝහල්ගත වන සමහර දෙනෙකු බලන්න කිසිවෙක් නොපැමිණියත් අරුන්දතී ඔවුනට ඥාතියෙක් මිතුරියක් වී සිටී. ඇය එතරම් රෝහලට සමීපව කටයුතු කරයි.

 

පාර්වතී රෝහලේ පිරිසුදු කටයුතු කරන සේවිකාවකි. නිතරම බාස්කට් එකත්, කොස්සත් රැගෙන රෝහල් භූමිය පුරා සැරිසරන ඇය උපකාරයක් ඇවැසි රෝගියෙක් සිටී නම් නොපමාව ඒ සඳහා ද යොමු වෙයි. තම සේවා මුරය අවසන් වුවද ගිලන් යහනේ වැතිර සිටින අසරණ රෝගියෙකුට උපස්ථානය අවශ්‍යනම් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මල මුත්‍ර පවා ඉවත් කොට රෝගියා පිරිසුදු කර දීමටත්, කෙනෙකු නැතිනම් ළඟ සිටීමටත් කටයුතු කරන හිත හොඳ ගැහැනියකි.

 

සිරිනාථ එම රෝහලේම කාරුණික වෛද්‍යවරයෙකි. තම මුළු කාලයම රෝගීන් වෙනුවෙන් කැප කළ ඔහු ගතට මෙන්ම සිතටද ප්‍රතිකාර කරන දක්ෂ වෛද්‍යවරයෙකි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ භුක්ති විඳි ඔහු ඉන් ලබාගත් දැනුම නොමසුරුව බෙදා දෙන අතර මිල මුදල් නැති රෝගීන් සඳහා තම වියදමින් අවශ්‍ය බෙහෙත් පෝෂණීය ආහාර පාන පවා ගෙනැවිත් දෙයි.

 

නිතරම රෝහලට එන යන අරුන්දතීට පාර්වතීව හමුවන්නේ අහම්බෙනි. කාත් කවුරුත් නැති අසරණ රෝගියෙක් ළඟ සාත්තුවට නවතා තියන්න කෙනෙකු නැතිකමින් අරුන්දතී අසරණව එහෙට මෙහෙට කතා කරමින් මහත් අපහසුතාවකට පත්ව සිටි මොහොතක දෙව්දුවක් සේ පාර්වතී පැමිණියේ ඈත සිට බොහෝ වෙලාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

 

නිතර නිතර රෝහලේ දුටු විට සිනහසෙන අරුන්දතීව පාර්වතීට අරුමයක් නොවුණාට අරුන්දතීට නම් ඇය ගැන මතකයක් නොවීය.

 

" මැඩම් මොකද කලබලයෙන් වගේ ''

 

ඒ හඬින් අරුන්දතී වටපිට බලද්දී තමා අසල විමසුම් ඇසින් බලා සිටින රෝහල් පිරිසුදු කරන්නියක් දැක ඇය මතකයට නඟා ගැනීමේ නිෂ්ඵල උත්සාහයක යෙදිණි. තමාගෙන් උපකාරයක් පතා පැමිණියෙක් යැයි සිතා,

 

" නැහැ එහෙම මොකුත් කලබලයක් නැහැ. මොකක්ද මගෙන් කෙරෙන්න ඕ‍ෙන "

" මම දැක්ක ටික වෙලාවක ඉඳලා මැඩම් කලබලයෙන් ඉන්නවා ඒකයි ඇහැවුවේ. මම මැඩම්ව දැකල තියෙනවා මෙහෙ ඉන්නවා.”

 

අරුන්දතීට ඇය ගැන විශ්වාසයක් ඇතිවුණේ කිසිදු උපකාරයක්

 

බලාපොරොත්තු නොවන මුහුණ දැකීමෙනි.

 

"මේ ලෙඩෙක් ළඟ ඉන්න කෙනෙක්

 

හොයනවා. එනව කිවුව කෙනාට අද එන්න

 

බැරිලු."

 

"කැමති නම් මම ඉන්නම් මැඩම් කෙනෙක් හොයා ගන්නකම්."

"අනේ ලොකු උදව්වක් ඔයාට පුළුවන්නම්, කීයද ගාණ."

 

" සල්ලි එපා නෝනා. මම මේව සල්ලි බලන් කරන්නෙ නැහැ. අනික මම දන්නවා මේ මැඩම්ගෙ කවුරුවත් නෙමෙයි කියලත්. පුළුවන් කාලෙ අපිත් කාට හරි උදවු කරන්න ඕනෑ. "

 

මුදල් පසු පස හඹා යන ලෝකයක ඇයවන් කම්කරු ගැහැනියකට එච්චර බුද්ධියක්. උසස් හදවතක්, අරුන්දතීට පුදුමයකුත් පැහැදීමකුත් ඇතිවුණා.

 

" ඒකට කමක් නැහැ වියදමට මේක තියාගන්න. මම ඉක්මනින් කෙනෙක් හොයා ගන්නම්.” අත් බෑගය ඇද මුදල් ගෙන පාර්වතී අත තබන ගමන් ඇය පැවසුවා.

 

'" එපා මැඩම් මේක උදව්වක්. මම මේ වගේ කාත් කවුරුත් නැති අයට උදව් කරනවා."

 

පාර්වතී එපාම කිවුවත් අරුන්දතී කෙසේ හෝ ඇය අත මුදල් තැබුවාය. එතැනින් ඇරඹි මේ දෙන්නාගෙ මිත්‍රත්වය දිගටම ගලාගියේ රෝහල ඇසුරේය. පාර්වතීට ප්‍රශ්නයක් වූ විට හිතට දුකක් දැනුණහම, දරුවන් ගැන කතා කරන්න නිතරම දුව ගියේ අරුන්දතී වෙතටය.

 

වෛද්‍ය සිරිනාථට අරුන්දතී හමු වූයේ ඇය බලාගත් වයස්ගත පුද්ගලයකුගේ වෛද්‍ය වාර්තාවක් සම්බන්ධයෙනි. හුදෙක් එය

 

රෝගියකුගේ ඥාතියෙක් සහ වෛද්‍යවරයෙකුගේ හමුවක්ය.

 

වරින් වර රෝගියාගේ තොරතුරු දැන ගැනීමටත් අවශ්‍ය බෙහෙත් ලියවා ගන්නත්,

 

සිරිනාථ හමු වූ විට ඇය ඇසුරේ සිටින වෙනත් රෝගීන් ගැන කතාබහ කරන්නත්

 

අරුන්දතී උත්සුක වූයෙන් සිරිනාථගේ අවධානය ඇය වෙත යොමු විය. කරන සත්කාර්යන් නිසා ඇති වූ පැහැදීමෙන් ඔහුද ඇයට අවශ්‍ය සෑමවිටම උපකාරයට සූදානම්ව සිටියේය.

 

අරුන්දතීගේ රෝගීන්ගේ විස්තර සොයා අවශ්‍ය උපදෙස් දීමත්, වෛද්‍ය සබඳතා මත

ප්‍රමුඛතාවක් ලබා දීමටත් සිරිනාථ එක් වූ අතර රෝගීන්ට අවශ්‍ය උපස්ථානය සඳහා පාර්වතී එක් විය.

 

මේ දෙදෙනාගේ උදවු ඇතිව රෝහල තුළ සිය ස්වේච්ඡා සේවය සාර්ථකව කරගෙන යද්දී හදිසියේම පාර්වතී අසනීපව රෝහල් ගත කළ පුවත දැනගත් විගසම අරුන්දතී ඇය සොයා ගියාය. දිගු කාලයක් තමාට උපකාර කළ ඇය රෝගී සයනයේ වැතිර සිටින අයුරු දැක අරුන්දතීගේ දෙනෙතේ කඳුළු පිරුණි.

පාර්වතීගේ සුරත ගෙන සිත සනසන වදන් තෙපලමින් ගිලන් මන සුවපත් කරන්න උත්සාහ දරද්දී ' මට දුක දරුවො දෙන්න ගැන මැඩම්. මට මොනව හරි වුණොත්, අප්ප දාල යනකොට උන් පොඩියි. අම්මයි, අප්පයි දෙන්නම වුණේ මම.''

 

ඇය හඬමින් දොඩන්නට වූයෙන්, තම සුරතින් ඇගේ මුව වැසූ අරුන්දතී

" එහෙම හිතන්න එපා. ඔයා ඉක්මනට සනීප වෙයි. එතකම් මම දරුවො දෙන්න බලා ගන්නම්. බය නැතිව ඉන්න. මම ඉන්නවනෙ."

 

පාර්වතී ඇගේ සුරත තදින් ග්‍රහණය කරමින් දුබල ලෙස කෘතඥපූර්වක සිනහවක් පෑවාය. වෛද්‍ය සිරිනාථ හමුවට අරුන්දතී ගියේ පාර්වතීගේ තත්ත්වය පිරික්සනු රිසියෙනි. තමා නොදැන සිටි රෝහල් පිරිසුදු කරන්නියක් අරුන්දතීගේ සමාගමට එක් වී සිටියත් කවදාවත් අරුන්දතී ඇය තමා හමුවට කැඳවූ බවක් ඔහුගේ මතකයක නැත. රෝහලේ වැඩ කළත් තමා එවැන්නියක් ගැන නොදැන සිටියේ බාහිර සම්බන්ධතා අඩු නිසා විය හැකිය.

 

සිරිනාථ පාර්වතී බලන්නට වාට්ටුවට ගියේ අරුන්දතී නිසාය. ළාබාල වයසේදී විවාහ වී දරුවන් ලද ද පාර්වතී තවම තරුණ වියේ පසු වූ පියකරු තැනැත්තියකි. තමා ඇය නොදැක සිටීම පුදුමයක් යැයි ඔහුට සිතුණි. පාර්වතී නම්, මේ මැදිවියේ පසු වූ අවිවාහක වෛද්‍යවරයාව හොඳින් හඳුනයි. කා අතරත් ප්‍රසිද්ධ කාරුණික වෛද්‍යවරයෙක් වූ ඔහු අරුන්දතී මැඩම්ගේද හිතවතෙක් බව ඇය දැන සිටියාය.

 

බොහෝ වේලාවක් පාර්වතීගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කළ සිරිනාථගේ නළල රැලි ගැසෙනු ඔහු මුහුණ දෙස මහත් ඕනෑකමකින් බලා සිටි අරුන්දතී නෙතට හසුවිය.

 

" ඇයි ඩොක්ටර් මොකුත් ප්‍රශ්නයක්ද?''

" ඔව් මේවයෙ හැටියට නම් එයාට කැන්සර් එකක්."

 

තැතිගත් හද ගැහෙන හඬ සිරිනාථටත් ඇසේවි දැයි සැකයෙන් මෙන් අරුන්දතීගෙ අත ළය මත රැඳුණි.

සුසුමක් හෙළුෑ ඇය හෙමින් හෙමින් හඬ අවදි කළාය.

 

"සුව කරන්න පුළුවන් නේද ඩොක්ටර්."

" බලමු. මම පාර්වතීට ප්‍රතිකාර කරන ඩොක්ටර් එක්කත් කතා කරල කරන්න පුළුවන් දෙයක් කරන්නම් ''

 

'අනේ ඔව් ඩොක්ටර්. කොහොම හරි මොනව හරි කරලා පාර්වතීව සනීප කරගන්න ඕ‍ෙන.''

ඇගේ දුකද පාර්වතී කෙරෙහි වූ අනුකම්පාවද, අපේක්ෂාවෙන් පිරි හඬද සිරිනාථගේ හදවතට දැනුණි.

 

**********

කුණු ඇළ කණ්ඩියේ පිහිටි එකට යාවුණු පේළි ගෙවල් සමූහය වෙත අරුන්දතී ආවේ නහය වසාගෙනය. එතරම් දුර්ගන්ධයක් පල්වූ ඇළෙන් වහනය වුවත් ජීවත් වන්නෝ එයට හුරුව ඇති නිසා නහය කට වසාගෙන පිළිවෙළකට හැඳ පැලඳ වත්තට සපැමිණි අමුත්තිය දෙස විපරම් කරන්නට වූහ. පිරිස අතරින් ඇය පාර්වතීගේ කුඩා නි‍ෙවස අසීරුවෙන් සොයා දොරට තටිටු කරත්ම,

''අම්මා ඇවිත් .... අම්මා ඇවිත්''

ගෙතුළ සිට කෑගසාගෙන සතුටින් පැමිණි කුඩාවෙක් අරුන්දතී දැක තුෂ්නීම්භූතව දොර ළඟ නැවතී '' ආච්චියේ ආච්චියේ කවුද ඇවිත් " යැයි මොර දුන්නේය.

 

 

 

ලබන සතියට...