වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
අලුත බැඳපු ජෝඩුවලින් බබාල ගැන අහන්නෙපා

ශ්‍රී ලංකාවෙයි ලෝකේ වෙනත් රටවල් අතරෙයි ලොකු වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ වෙනස්කම්වලින් පළමුවැනි දේ තමයි වෙනත් රටවල අනිත් කෙනාගේ ශරීරය ගැන, පෞද්ගලික ජීවිතය ගැන, රස්සාවල්, ආදායම වගේ දේවල් ගැන අහන්නේ නැහැ. සමහර රටවලට ඒවා ගැන කතා කරන්නවත් බැහැ. ඔයා මහතයි, ඔයා කළුයි, ඔයාගේ ආදායම කොහොමද වගේ දේවල් අහන්න බැහැ.
ඉතින් මම මෙහෙම ප්‍රවේශයක් ගත්තේ ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට දකිනවා, ඒවගේම මගේ සායනයේදී මුණගැහෙන අයත් ඉන්නවා, "අපිට නම් ළමයි නැති එක ප්‍රශ්නයක් නැහැ. එක එක්කෙනා ඇවිල්ලා දැන් බැඳලත් අවුරුදු දෙකකට වැඩියිනේ. ළමයි නැත්තේ මොකද? වගේ ප්‍රශ්න අහනවා. ඒක තමයි මගෙ වයිෆ්ට දරාගන්න බැරි. එයා මානසිකව වැටිලා ඉන්නේ ඒ නිසයි." කියලා කියන අය මට ඕෙන තරම් මුණ ගැහිලා තියෙනවා. ඉතින් කිසිම දවසක පුද්ගලික ජීවිතය ගැන අහන්න එපා. විශේෂයෙන්ම ඇයි තාම ළමයි නැත්තේ කියලා කිසිම විවාහක ජෝඩුවකින් අහන්න එපා. ඒක අපිට අදාළ ප්‍රශ්නෙකුත් නෙවෙයිනේ. අනික ඒක අපිට වැඩකුත් නැහැ. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් තව කෙනෙක්ගෙන් අහන්න කලින් දෙතුන් සැරයක් හිතන්න ඕනේ කියලා. ඔයා තාම බැන්දේ නැද්ද? ළමයි නැද්ද? රස්සාවක් නැද්ද? ඒ වගේ ප්‍රශ්න අහන්න එපා. ඒකෙන් අනිත් කෙනාට ඇතිවන චිත්ත පීඩාව කොච්චරද කියලා කවුරුත් කවදාවත් තේරුම් ගන්නේ නැහැ.
මම ගොඩාක් දන්න පවුල්වල ඒ විදිහේ දේවල් නිසා කිසිම ගමනක් යන්නේ නැතුව මුළුගැන්වෙලා ඉන්න අය මට මුණගැහිලා තියෙනවා. ඉතින් ඒ වගේ අයව ප්‍රධාන සැසි දෙක තුනකට සම්බන්ධ කළාට පස්සේ සමාජයට යොමු කරන්න අපි ලොකු වෙහෙසක් ගන්නවා. මොකද එයාලා කැමැති සමාජයෙන් වෙන් වෙලා හුදෙකලා වෙලා ඉන්න. ළමයි ගැන අහන නිසා. සමහර අය එක එක ප්‍රතිකාර ක්‍රම ගැන පවා උගන්වන්න යනවා. ඒ කියන අය සමහර විට ඒ දේවල් හරියට දන්නෙත් නැහැ. හැබැයි කියනවා. “අර ඩොක්ටර් ළඟට යන්න, මේ ඩොක්ටර් ළඟට යන්න අර බෝධියට යන්න, අර කෝවිලට යන්න, අර පන්සලට යන්න” කියලා. පන්සල් කෝවිල්වලදී ඇති වෙන්නේ විශ්වාසය විතරයි. අද ලෝකය දියුණුයි. නවීන විද්‍යාව තුළ මේවාට ඕෙන තරම් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ශුක්‍රණුවල ශක්තිය මදිනම් ඒවා ශක්තිමත් කරන්න පුළුවන්. ඩිම්බ මෝරන්නේ නැත්නම් ඒවාට ප්‍රතිකාර කරන්න පුළුවන්, ගර්භාෂගත රෝග තියෙනවා නම් ඒවට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ තරමට තාක්ෂණය දියුණුයි. කොතැනද ගැටලුව තියෙන්නේ කියලා හොයාගන්නත් පුළුවන්.
ඉතින් කිසිම අවස්ථාවක ඇයි ළමයි නැත්තේ කියලා අහන්න එපා. අපි කැමැති නැත්නම් අපේ ශරීරය ගැන අහනවට ඒ වගේ තමයි අනිත් පැත්තේ අයත් කැමති නැහැ. ඒ වගේම ළමයි ඉන්නවා නම් “ළමයි කොහෙද ඉස්කෝලේ යන්නේ? ඇයි ඒ ඉස්කෝලෙට යන්නේ? ඇයි මැත්ස් කරන්නේ නැතුව ආර්ට්ස් කරන්නේ? ඇයි බැට්මින්ටන්වලට යන්නේ ස්වීමින් කරන්න තිබුණනේ.” ඒ වගේ නොකෙරෙන දේම ගැන කියලා අනිත් කෙනාව වට්ටනවා.
ශක්තිමත් මානසික මට්ටමක් තියෙන අයව එහෙම වැටෙන්නේ නැහැ. හයිය හිතක් තියෙන කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් අැහුවාම උත්තර දෙන්නේ හිත වට්ටගෙන නෙවෙයි. “අනේ ඔයා හොඳටම මහත් වෙලා නේද? කියලා ඇහුවාම” ඔව් අනේ ඒක තමයි.” ඒක ගණන් නොගෙන ඉන්න අයත් ඉන්නවා. හැබැයි වැටෙන හිතක් තියෙන කෙනෙක්ගෙන් “ඇයි අනේ ඔච්චර මහත?” කියලා ඇහුවාම කියන්නේ “අනේ මොනවා කරන්නද මම කොච්චර කෑම අඩු කළත් මහත අඩු වෙන්නේ නැහැනේ.” වගේ දේවල් කියන්න ගිහින් තමාගේ හිත වට්ට ගන්නවා.
මම ප්‍රතිකාර කරන එක ගැහැනු ළමයෙක් ඉන්නවා. එයා විවාහ වෙලා අවුරුදු 11ක්. ඇය අනන්ත අප්‍රමාණ සමාජයෙන් නින්දා අපහාස වින්දා. නමුත් ප්‍රශ්නෙ තිබුණේ එයාගේ මහත්තයගේ. මේ ගැහැනු ළමයා තවම කන්‍යාවක්. එයා මාව මුණ ගැහෙන්න එනකොට එයාට වයස අවුරුදු 32ක් වෙනවා. එයා විවාහ වෙලා තියෙන්නේ අවුරුදු 20 ලබනකොටම වගේ. හැබැයි එයා ඒ රහස රැකගෙන ගොඩක් කල් හිටියා. මොකද එයා ආදරය කරලා තමයි විවාහ වෙලා තිබුණේ. ඉතින් එයා හිතුවා එයාගේ සැමියට අගෞරව කරන්න හොඳ නැහැ කියලා එයා සද්ද නැතුව හිටියා. එයා අනන්ත අප්‍රමාණ වද වින්දා, දුක් වින්දා. එක එක්කෙනාගෙන් වචන ඇහුවා. උපදේශන සේවාවෙදි දෙපැත්තෙම මවුපියෝ ගෙන්නලා මේ කතාව කියන්න වුණා. මොකද ඇයව දිගටම මේ තත්ත්වයෙන් තියන්න බැරි නිසා. එතකොට තමයි දැන ගන්නේ ඒ පිරිමි ළමයා පුංචි කාලේදී ලිංගික අතවරයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා එයා ලිංගික සම්බන්දතාවලට බියක් දක්වනවා. ඒ කතාව දිහා බැලුවම ප්‍රශ්නේ දන්නේ නැතුව අර ළමයට අවුරුදු 11ක්ම රිදවපු එක කොයි තරම් අපරාධයක් ද? ඒ නැන්දම්මා තමයි මේ ගැහැනු දරුවට ගොඩාක්ම පීඩනය දීලා තිබුණේ. ඒ අවස්ථාවේදී ඒ නැන්දම්මා තමන් කරපු දේවල් ගැන ගොඩාක් කම්පා වුණා. ඒ ගැහැනු දරුවට දණගහලා වඳින්නත් ලෑස්ති වුණා. ඔයා අපේ නම්බුව බේරගන්න මේ තරම් දුකක් හිරකරන් හිටපු එකට ඔයාට පිං සිද්ධ වෙනවා. ඔයාට බුදු බව අත්වෙනවා කියලා පොළොවේ හැපි හැපි ඇඬුවා. ඒ නිසා කිසි දෙයක් හරියට නොදැන මුකුත් කියන්න හොඳ නැහැ. හරියට දැනගත්තත් දෙයක් අහන්න කලින් ටිකක් හිතන්න ඕනේ. දිව අග තියෙන වචන ලිස්සලා යනවා. ඒවා ආපහු ඇදලා ගන්න බැහැ. ඉතින් ඒක නිසා කාටවත් කියන්න යන්න එපා, අපිට අදාළ නැති අපිට වැඩක් නැති අපිට කිසිම උදව්වක් කරන්න බැරි දේවල් කියවලා තව කෙනෙක්ගේ හිත රිද්දන්න ඕනේ නැහැ කියලයි මම නම් හිතන්නේ.
අනිත් එක ලෝකයේ ගොඩක් දේවල් තත්පරෙන් වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි කියලා කිවුවට ඒ වෙනස් වීම හොඳයි. ගහකින් කොළයක් වැටුණේ නැත්නම් අලුත් දල්ලක් එන්නේ නැහැනේ. කිරි දතක් වැටුණේ නැත්නම් අලුත් දතක් එන්නේ නැහැනේ. ඒ වෙනස් වීම්වලට හැඩ ගැහෙන්න පුළුවන් කියලා හිතන්න ඕනේ. හැමදාම හැම දෙයක්ම එකම විදිහට තියෙන්නේ නැහැ. දේවල් වෙනස් වෙනවා. දරුවෝ ඉඳලත් දුක්
විඳින මවුපියෝ ඉන්නවා. දරුවෝ නැතුව සතුටින් ඉන්න මවුපියොත් ඉන්නවා. දරුවෝ ඉන්න එක, පවුලක තියෙන්න ඕනේ දෙයක් තමයි. හැබැයි දරුවෝ නැති වුණා කියලා ඒ පවුල විනාශ වෙන්නේ නැහැ. දෙන්නට දෙන්නගේ ආදරය, ගෞරවය, සැලකිල්ල ඒක නැති වෙන්නේ නැහැ.
ඉතින් කාගෙන්වත් නැති දේ ගැන අහන්න එපා. තියෙන දේ ගැන අහන්න. තියෙන දේ අගය කරන්න, වටිනාකමක් දෙන්න. එතකොට තමයි කාට වුණත් ලොකු සතුටක් භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. අනිත් කෙනාගේ හිත රිද්දලා ලොකු සතුටක් ලබනවට වඩා අනිත් කෙනාව වචනයකින් හරි සතුටු කරන්න පුළුවන් නම් ඒකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. හරිහැර කර කර සතුටු වෙන එකට ජීවත් වෙනවා කියලා කියන්නේ නැහැ.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව