නැතුවම බැරි AI

මැයි 27, 2025

කෘත්‍රිම බුද්ධිය හෙවත් AI විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් සැබෑ ජීවිතයට ගමන් කරමින්, අපගේ දිනපතා ජීවිතයේ අත් හළ නොහැකි කොටසක් වී ඇත. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව, AI නිරතුරුවම අපගේ දෛනික චර්යාවන්හි විවිධ පැතිවල තැන්පත් වී ඇති අතර, කාර්යයන් පහසු ලෙස, වේගවත්ව සහ ඊටත් වඩා විනෝදය වැඩි කිරීමට නිහඬව ක්‍රියා කරයි.

 

උදෑසන අවදි වූ මොහොතේ සිටම AI අප ජීවිත හා බද්ධ වී පවතී. උදෑසන අවදිවීමට සහාය (Digital assistant) වන ඔරලෝසුවේ (morning alarm) සිට සේවයට වාර්තා කිරීමට ගමන් කළ යුතු පහසුම මාර්ගය නිර්දේශ කරන (Recommend) යෙදුම ලෙස ද AI අපගේ දිනය කාර්යක්ෂම කිරීමට දායක වෙයි. මෙම අනර්ඝ සම්බන්ධතාව බොහෝ විට අවධානයට ලක් නොවේ. නමුත්, ඒ අපගේ තාක්ෂණය සහ අවට ලෝකය සමඟ ඇති සම්බන්ධතාව හොඳින් ගොඩනඟන වැදගත් පාර්ශ්වකරුවෙකි. AI සාමාන්‍යයෙන් වර්ග දෙකකට වර්ග කළ හැකිය. ඒ මුදෘකාංග තාක්ෂණය (softwear) සහ මූර්තිමත් (embodies) තාක්ෂණය වශයෙනි. පළමු කාණ්ඩය chatbots සහ හඬ සහකරු (voice assistant) වැනි AI යෙදුම්වලින් සමන්විත වන අතර, ඒවා භාවිත කිරීම සඳහා අමතර දෘඪාංග (hardware) අවශ්‍ය නොවේ. දෙවැනි කාණ්ඩය AI භාවිත කර නිර්මාණය කළ ස්වයං ධාවන මෝටර් රථ සහ ඩ්‍රෝන් වැනි උපාංගයන්ගෙන් සමන්විත වේ.

 

කුලී රථ සඳහා ඇප්ස්

 

ඔබ ඇප් එකක් හරහා රියැදුරකු වෙන් කර ගන්නා විට, AI පසුපසින් (behind) සිට ඔබට ළඟම ඇති රියැදුරකු වෙත ඔබව යොමු කරයි. එමෙන්ම ඔබට ගමන් කිරීමට සුදුසු වේගවත්ම හා පහසුම මාර්ගය නිර්දේශ කරයි. එමඟින් ඔබට අවශ්‍ය ස්ථානයට ඉක්මනින් හා පහසුවෙන් ළඟා වීමට අවස්ථාව AI විසින් සලසා දෙයි. AI සතු හැකියාව නිසා ඔබට ඉක්මනින් සහ කාර්යක්ෂමව යා යුතු ස්ථානයට ඔබව රැගෙන යයි.

 

චැට්බෝට්ස්

 

අද වන විට වඩාත්ම පරිණාම වූ AI මෙවලම් අතරින් චැට්බෝට්ස් ඉදිරියෙන්ම සිටියි. OpenAI විසින් නිර්මාණය කළ ChatGPT වැනි චැට්බෝට්ස්, මිනිසුන්ගේ භාෂාවන් හඳුනාගෙන එයට අනුරූපව වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාව ඇති ශක්තිමත් භාෂා ආකෘතියක් (Language model) වේ. මෙම මෙවලම් විවිධ කාර්යයන් සඳහා උදවු සපයන අතර වෘත්තීමය මෙන්ම පෞද්ගලික කාර්යයන් සඳහා ද අතිශය ප්‍රයෝජනවත් වේ.

මෙම චැට්බෝට්ස්, තොරතුරු සෙවීම, පර්යේෂණ පත්‍රිකා සාරාංශ කිරීම සහ ව්‍යාපෘති සහ රචනා සඳහා අදහස් නිර්මාණය කිරීමට පවා උපකාර කළ හැකිය. වෘත්තීමය වශයෙන් ඊ-මේල්ස් ලිවීම, ප්‍රසන්ටේෂන් කන්ටෙන්ට් නිර්මාණය මෙන්ම කවි, කතා වැනි නිර්මාණාත්මක කටයුතු සඳහා ද සහාය වෙයි.

 

හඬ සහකරුවන්

 

Siri, Google Assistant සහ Alexa වැනි ඩිජිටල් සහකරුවන් මේ වන විට බොහෝ දෙනකුගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වී තිබේ. මෙම AI බලගැන්වූ (AI - Powered) සහකරුවන්ට සිහිකැඳවීම් සකස් කර (set reminders), ඔබේ ප්‍රියතම සංගීතය වාදනය කිරීම හඬ විධානයකින් පමණක් ඔබේ ස්මාර්ට් ගෘහ උපකරණ පාලනය කිරීම වැනි කාර්යයන් කළ හැකිය. ඔබේ ආවේණික භාෂාව හඳුනාගැනීම සහ එය පරිවර්තනය කිරීමේ හැකියාවෙන් මෙම සහකරුවන් සන්නද්ධ වෙයි.