වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා පාත් වෙලා

විසි එක් වැනි දින සටහන
2016 ජූනි 29 අඟහරුවාදා
කඩේ රයිස් කාපු හින්දද මන්දා ආපු තිබහට රෑ එළිවෙනකල් වතුර බිබී හිටිය මිසක් එක පැයක් නින්ද කැඩෙන්නැතුව ගත උන්නෑ. ඔක්කෝමත් හරි පාන්දර තුනේ විතර ඉඳලා පුතාට බඩ බුරුලට යන්ඩ පටන් ගත්තනෙ.
" කම්මැළිකමට ගෙදර උයල කන්ඩ දෙන්නැතුව කඩෙන් මල ජරාවල් ගෙනැත් ළමයින්ට කවල දැන් ඉතින් නිවාඩු දාලා බෙහෙත් අරන් දෙන එකයි ඇත්තෙ. මට නම් නිවාඩු ගන්ඩ බෑ."
" ඔය ටික කියන්ඩ නම් ගෙදර මිනිහෙක් ඉන්ඩ ඕනෙද?"
තිස්සගෙන් මට එහෙම අහන්ඩ හිතුණත් ළමය අමාරුවෙන් ඉන්න වෙලාවෙ රණ්ඩුවක් ඇදගන්ඩ බැරි හින්දා මං සැර බාල කරලා, " මං හිතලා ළමයිට ජරාව කන්ඩ දුන්නෑනෙ තිස්ස. මෙව්වට තමා වඳින්ඩ ගිය දේවාලෙ ඉහේ කඩා පාත්වෙනව කියන්නෙ."කියලා හිතේ දුක නිවා ගත්තා.
තිස්ස හිතන් ඉන්නෙ පඩිය ජොයින්ට් එකවුන්ට් එකට දැම්මහම එයැයිගෙ ඔක්කෝම යුතුකම් වගකීම් අවසානයි කියලා. පුතා අසනීපෙන් නෙමෙයි නම් මං එයාට කියා දෙනවා ළමයි ගැන බලන්ඩෝනැ මං විතරක්ද කියල. ආයි නම් බඩගින්නෙ මළත් ඔය හෝටලෙන් කෑමක් ගේන්නෑ. දන්න කියන අයටත් ඕකට යන්ඩ එපා කියල කියන්ඩෝනැ.
" ඔයා හැමදාම නිවාඩුනෙ සාම. ඔහොම නිවාඩු ගත්තම ඕගොල්ලොන්ගෙ ළමයින්ට නෙමෙයි මටයි මෙතැන බඩ යන්නෙ. "
මාස ගාණකට පස්සෙ නිවාඩුවක් ඉල්ලුවම ලොක්ක කතා කළේ හරියට මං හැමදාම නිවාඩු අරන් පිනට පඩිගන්න ගානටයි. ඛේමා එහෙම නිවාඩු ගත්ත නම් එයාගෙ වැඩත් අපි කරන්ඩෝනැ. අපේ ළමේකුට ලෙඩක් දුකක් හැදිලා නිවාඩුවක් ඉල්ලුවාම තමයි ඔක්කෝටම බඩ යන්නෙ.
අපරාදෙ ඇස් පොට්ට වෙනකම් පාඩම් කරලා විභාග පාස් වෙලා කැම්පස් ගිහින් මහලොකු ආණ්ඩුවෙ රස්සා කියල මෙවුවට ආවෙ. විභාග කරන්ඩ මහන්සි වෙච්චි වෙලාවෙ සිල්ලර කඩයක් දාගත්ත නම් මෙලහට සුපර් මාකට් එහෙකවත් අයිතිකාරයෙක්. අපේ ගමෙත් ඕ ලෙවල්වත් පාස් නැතුව බිස්නස් කරලා කෝටිපතියො වෙච්චි කී දෙනෙක් නම් අපි පයින් යද්දි හොඳ හොඳ වාහනවලින් පියාඹනවද? උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා ළමයි දෙන්නට කියා දෙන්ඩ වෙන්නෙ ඉතින් හිතට විරුද්ධව තමයි.