වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
රටම මවිත කළ පුංචි කිඳුරී

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධාන කළ 49 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේදී නව තරග වාර්තා දෙකක් සමඟ රන් පදක්කම් දෙකක් හිමිකර ගැනීමට වයස අවුරුදු 11ක් වූ රුසන්සා දිසලි ලොකුවිතාන පුංචි ක්‍රීඩිකාවිය සමත් විය.
නුගේගොඩ රෝයල් ජාත්‍යන්තර පාසලේ හයවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය මේ තරග වාර්තා සනිටුහන් කළේ වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයෙන් වීමද සුවිශේෂී සිදුවීමකි.
ඇය මීටර් 100 නිදහස් ආර තරගය මිනිත්තු 01.08.27 කින්ද මීටර් 50 නිදහස් ආර ඉසව්ව තත්පර 30.58කින් නිම කිරීමට සමත් විය. මේ නව තරග වාර්තා දෙකට අමතරව ඇය මීටර් පනහ පසුපස ආර තරගය තත්පර 37.08 සහ ළය ආර ඉසව්ව 39.81 කින් නිම කරමින් රන්පදක්කම් දෙකක්ද හිමිකර ගත්තේ සමස්ත තරගාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිම් කරගත් ක්‍රීඩිකාව ලෙසිනි.
මෙලෙසින් තරග වාර්තා තබමින් මේ තරගාවලිය ජයගත් පසුව ඇයගේ මව සමන්තිකා දීපාලී තම දියණියගේ හැකියාව ගැන මහත් අභිමානයෙන් යුතුව අපට සඳහන් කළේ මෙලෙසිනි.
"ගිසලි දුව තමයි අපට ඉන්න එකම වස්තුව. ඇය විතරයි අපට ඉන්න එකම දරුවා. එයා පුංචි කාලේ පටන්ම වතුරට හරිම ආසයි. මට මතකයි එයා හුඟක් පුංචි කාලේ වතුර බේසමකට බැහැලා පීනන්න පුදුම ආසාවක් තිබුණේ.අපි එයාගේ ආසාවට අවස්ථාව දුන්නා. දුව අවුරුදු හතක් වෙනකොට අන්තර් පාඨශාලා තරගාවලියට ඉදිරිපත් වුණා. එයා ඉදිරිපත් වුණු මුල්ම තරගය තමයි කොපිගාසා තරගාවලිය. දුව පළමුවෙන්ම ජයග්‍රහණයක් හිමිකර ගත්තේ ඒ තරගයේදී තමයි. ඊට පස්සේ දුව ඉදිරිපත් වුණු සෑම තරගයකදීම පළවෙනි දෙවැනි තුන්වැනි ස්ථාන දිනාගෙන හොඳින්ම ක්‍රීඩා කළා.
එයා පුංචි කාලෙ පටන්ම මලල ක්‍රීඩාවටත් පිහිනුම් ක්‍රීඩාවට වගේම දක්ෂයි. නමුත් ඒ ක්‍රීඩා දෙකම පුහුණුවීම අපහසු නිසා අපි කිවුවා එයා කැමති ක්‍රීඩාවක් තෝරගන්න කියලා. අපේ කිසිම බලපෑමක් නැතුව තමයි පිහිනුම් ක්‍රීඩාව තෝරා ගත්තේ.
ඇත්තටම දුවගේ දක්ෂතාවය නිසාම එයාට ඉගෙනුම ලබන රෝයල් ජාත්‍යන්තර පාසලෙන් ශිෂ්‍යත්වයකුත් ලබා දීලා තියෙනවා. නමුත් එයාගේ පුහුණුවීම් සඳහා සෑහෙන වියදමක් වගේම කැපවීමක් අපට කරන්න සිද්ධ වෙලා තියෙනවා.මගේ සැමියා රුවන් සංජීවන ලොකුවිතාන. ඔහු සේවය කරන්නේ නැඟෙනහිර පළාතේ.
ඒ නිසා ආර්ථික වශයෙන් අපි වැඩිය ශක්තිමත් නැහැ. දරුවගේ පුහුණුවීම් කටයුතුවලට පානදුරේ ඉඳන් නුගේගොඩට මටත් හැමදාම එන්න සිද්ධ වෙනවා. ඒ වගේම දරුවා වෙනුවෙන් සම්පූර්ණ කාලය මට යොදවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මට රැකියාවක් කරන්න කාලයක් නැහැ.
දරුවා පුහුණුවීම් කටයුතු කරන අසේල ප්‍රදීප් පෙරේරා සර් දරුවගේ දක්ෂතාවය නිසා ලොකු සහයෝගයක් අපට දෙනවා.ඒත් දරුවාගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍රාහක ආයතනයක් සහයෝගය දැක්වුවොත් මීට වඩා ජයග්‍රහණ ලබා ගන්න ඉදිරියේදි හැකියාව ලැබෙයි.
අපි දරුවට සෑම වෙලාවෙම කියන්නේ එයාගේ දක්ෂතාව තියෙන ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් කාලය යොදවන්න. එයා කේම්බ්‍රිජ් විෂය මාලාව තමයි හදාරන්නේ.අපට වෙන දරුවෝ නැති නිසා මෙයාගේ හැකියාව වෙනුවෙන් උපරිම කැපවීම වියදම් කරනවා.නමුත් සැමියාගේ රැකියාවෙන් විතරක් මේ සියලු වියදම් දරා ගැනීම අපහසුයි. දරුවව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න අපට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ සියලුම අභියෝග ජයග්‍රහණය කරමින් අපේ දුව රට වෙනුවෙන් ලොකු ජයග්‍රහණයක් ගෙනෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා."
සැබවින්ම එම ආත්ම විශ්වාසය හා හැඟුම්බර අදහස්වල රැඳී ඇත්තේ තම දියණිය දිගු ගමනක් රැගෙන යාමේ අධිෂ්ඨානයයි. ඒ වෙනුවෙන් ඇයට ශක්තියක් වන්නට කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් ඉදිරිපත් වෙයි නම් එය ඔවුන්ට විශාල ශක්තියකි.එසේම අපේ රටේ අනාගතය බබළවන්නට සිටිනා ක්‍රීඩා තරුවක් වෙනුවෙන් ලබා දෙන අගනා දිරිගැන්වීමකි.