වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
මං අද එන්න පරක්කු වෙයි

ජීවිත කතාවේ ඇතැම් තැන් ලියවෙමින් තිබෙන්නේ කොතරම් මායාවී ස්වරූපයකින් දැයි නිගූට සිතෙයි. එක් සමයක දෑත් විදහා වැලඳ ගත් ඇතැම් දේ තවත් සමයක අදාළ නැති සාධක බවට පත් වෙයි. අනපේක්ෂිත නිමේෂයන්හි සිත් යටි මඩියෙහි සඟවා ගත් අනන්ත ආශා දිගේලි වන්නට පටන් ගනියි.
ජීවිතයේ සුවිශේෂ හැරවුම් මංසන්ධි හමුවන්නේ අප සිතන පතන අයුරින් ම නොවෙයි.
දුම් දමන උණු කෝපි මග් එකක් සමඟ දුම් වැටියක් දැල්වෙයි. ඔෆිස් කාමරයට යාබද එළිමහන් බරාඳයේ අසුනක් මත සනීප ඉරියව්වක හිඳ නිගූ කල්පනා ලොවක සැරිසරයි. මේ නිගූ විසින් ම ගොඩනඟා ගත් තමන්ගේ ම සේවා ස්ථානයයි. ඩුප්ලිකේෂන් පාරෙන් ෆිෆ්ත් ලේන් එකට හරවා මඳ දුරකින් හමුවන අතුරු මාවත කෙළවරෙහි පිහිටි සන්සුන් පෙදෙසක ඉපැරණි නිවෙසක ඔහුගේ "අයිකොනික් අයි" ප්‍රචාරණ ආයතනය පිහිටා තිබෙයි. තම නිර්මාණශීලිත්වයත්, ශිල්පීය නිපුණත්වයත් කෙරෙහි අපමණ විශ්වාසවන්ත වූ සේවාලාභීහු පිරිසක් ඔහු වටා සිටිති. පසුගිය මාස හයකටත් වැඩි කාලයක පටන් තමා පෙෙළන දැඩි මානසික ආතතිය මධ්‍යයේ වුවද ඔවුන්ගේ අවශ්‍යතා උසස් වෘත්තීය මට්ටමකින් සිදු කර දීමට නිගූ සමත්ව සිටියි.
එසේ වුව ද දවසින් දවස නරක අතට හැරෙමින් සෝදාපාළුවට ලක් වෙමින් පිරිද්දිය නොහැකි විවරයකින් දෙපසට කරවා ඇති නිගූගේත්, කාංචනාගේත් යුග දිවිය දෙස බලා සිටින විශාල පිරිසක් සිටිති. පාසල් සමයේ මිතුරෝ ද සරසවි සමයේ මිතුරෝ ද සේවය කළ ආයතනවල මිතුරෝ ද ඇතුළු විසල් මිත්‍ර පර්ෂදයක් විපරමින් බලා සිටිති. කල්පනා සයුරේ නිසලව පාවෙන නිගූට තම මිතුරෙකු වූ ජයන්ත කහටපිටිය කවියාගේ කවියක් සිහිපත් වෙයි.
"හිතවතුනි,
මේ නුඹලාට කාලයයි.
උදලු අරගෙන එන්න
අපේ ප්‍රේමය වළලා දමන්න
බියර් සිගරට් අරගෙන එන්න
අපේ ප්‍රේමය පුළුස්සා දිය කර හරින්න
වැට උඩ ඉන්න මම
ඒ පැත්තට
මේ පැත්තට
තල්ලු කර
පෙරළුණා නේදැයි දුක් වෙන්න"
සැබවින් ම තමා දැන් සිටින්නේ ද එබඳු දෙගිඩියාවක නොවේදැයි නිගූට සිතෙයි. ඔහුට මේ දෙගිඩියාවෙන් ගැලවෙන්නට නොහැකි වී ඇත්තේ සාරා නිසයි. අතීත මතකයන්ගෙන් ශේෂ වුණු වේදනා කැබලිති මෙලන්කොලික ආස්වාදයක් උරුම කර දෙමින් තිබෙයි. අමුතුවෙන් පෑරෙන්නට දෙයක් ඉතුරු වී නැත. අසෙනිගේ ආදරය තුළ ඔහු යළි ගර්භාෂගත වෙමින් සිටියි.
කාංචනාගේ රහස් පෙම හෙළි වූ මොහොතේ පටන් ඈ නිවෙසෙහි හැසිරුණු ආකාරය නිගූගේ මතකයට නැඟෙයි. ඇගේ එකදු ඉරියව්වකින් හෝ හැසිරීමකින් කිසිදු වරදකාරී හැඟීමක් ප්‍රකට නොවෙයි. ඈ නිගූ කෙරෙහි කිසිදු අවධානයක් නොදක්වමින් තම දෛනික කටයුතු කරගෙන යයි. උදෙන්ම අවදි වෙයි. පෙරදා රෑ සකස් කර ගත් ඉවුම් පිහුම් කළමනා සකසුරුවම්ව ගෙන වෙනදාටත් වැඩි උවමනාවකින් කෑම උයයි. සාරා ද අවදි කරවාගෙන ඈ ඉක්මනින් අන්දවා ගැනීමට කෑ කොස්සන් නඟයි.
" සාරා හොඳ පුතා වගේ නැඟිටලා ගිහින් මූණ හෝදගෙන ලෑස්ති වෙන්න."
සාරා තවමත් පොරෝනයට ගුළි වෙමින් ඇඟමැලි කඩමින් පමා වන විට කාංචනාගේ හඬ උස් වෙයි.
" ළමයෝ ඉක්මනින් නැඟිටලා ලෑස්ති වෙන්ඩ නේද මං කිව්වෙ."
කාංචනාගේ ඒ වචනවලට ද සාරාගෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණහොත් කාංචනා යක්ෂාවේෂ වෙයි.
" කෙල්ලෙ..... උඹට මං ඊළඟට කොහොම ද කියන්ඩෝනෙ."
තුන්වැනි ඇමතුම තෙක් සාරා ඇඳ මත ඇඟමැලි කඩන්නේ කලාතුරකිනි. ඈ බොහෝ විට දෙවැනි වර ඇමතුමෙන් ම නාන කාමරයට වැදී දත් මැද මූණ සෝදා පෙර දා රෑ කාංචනා මැද තැබූ සුදු ගවුම ඇඳ සූදානම් වෙයි.
ව්‍යංජන තුන හතරක් සාදා කලින් දා මාළු ඇඹුල් තියල් ද සකස් කර තබා ගත් සමහර දිනවල කාංචනා බත් මුල් දෙකක් ම බැඳගෙන යයි. කිහිපවරක් ම මේ බත් මුල් බැඳිල්ල දකින අම්මා ඒ අමතර බත් මුල රැගෙන යන්නෙ කාටදැයි සිතයි. මුලින්ම අම්මා සිතුවේ එය නිගූට ගෙන යාමට බඳින බත් මුලක් බවයි. එහෙත් රැගෙන යා යුතු කෑම බීම ආදී කළමනා දමා ගන්නා රෙදි මල්ලට ම එය ද දමා ගනියි. මේ බත් මුල ගැන හටගත් අම්මාගේ කුහුල ඈ තම සිත යටම ඔබා ගනියි.
ගෙවුණු පේරාදෙණි සරසවි සමයේදී කාංචනා සෑම දිනකම උයයි. උදේ වරුවේ දේශන අවසන් කර පැමිණ ඇතැම් යෙහෙළියන් සැප නින්දක් ගන්නා අතර කාංචනා, නිගූ වෙනුවෙන් රස කෑම වේලක් සකසයි. ඈ එය කරන්නේ මහත් සතුටකිනි. රාමනාදන් ශාලාවට ගොස් නිගූ ඇය ද කැටුව සරසවි බිමේ සොඳුරු ඉසව්වල ඇවිද ගෙම්බා කැන්ටිමේදී හෝ වූස් වළේදී ඈ ගෙනෙන බත් මුල ලෙහයි. ඇතැම් දිනවල ඈ නිගූ මහත් සේ ප්‍රිය කළ කරවල හොද්ද වෙනම බඳුනකට දමාගෙන පැමිණෙයි. මේ හැම මොහොතකම ඈ තුළ සිටින අම්මා කෙනෙක් නිගූ දකියි. ඈ මෙබඳු හැන්දෑවරුවල ඇවිදින්නට එන්නේ මෆ්ලර් එකක් ද බැඳගෙනයි. ඇයට පීනසය ඇති බව කියයි. ඇතැම් දිනවල සුප් හෝ කොත්තමල්ලි සාදාගෙන ඈ සතුව ඇති උණුසුම රැඳෙන බඳුනක බහා ගෙනැවිත් නිගූ ඉදිරියේ දිග හැර ඔහු මවිත කරවයි. තමා ඈ අසල කුඩා දරුවෙකු නොවේදැයි ඒ හැමවර නිගූට සිතෙයි.
කාංචනා ඉතා ඉක්මනින් සාරිය අඳියි. ඈ වඩා හැඩ ඔසරියට යැයි නිගූට සිතෙයි. ඔහු ඒ බව කිහිප වරක් ඇයට කියා තිබෙයි. ඔහු සෙලින් එකෙන් ගෙනැවිත් දුන් වැඩ දැමූ සාරි ඈ ඔසරියට අඳියි. සාරියක් මිලදී ගන්නා හැම වරකම එහි වර්ණයට ගැලපෙන චාම් කර පලඳනාවක් ද ගැනීමට නිගූ අමතක නොකරයි. එහෙත් මෑතක සිට කාංචනා වැඩිපුර අඳින්නේ සාරියයි.
නිගූ මින් පෙර දැක නැති අලුත් සාරියක් ද ඇඳ වැඩට යාමට සූදානම්ව කාංචනා ඔහුගේ කාමරයට එබෙයි.
" ඔයාට පුළුවන් ද අද දුවව ඉස්කෝලේ ගාවින් ගන්න. මං අද එන්න ටිකක් පරක්කු වෙයි."
ඈ ආපසු එන්නට පමා වන දිනවල ඒ බව නිගූට කියන්නේ පමා වීමට හේතුව ද ඊට එක් කරමිනි. කමිටු රැස්වීම්, බෝර්ඩ් මීටින්, විගණන කටයුතු වැනි හේතු ඈ කියයි. දැන් ඈ හේතු නොකියාම පරක්කු වෙන බව පමණක් කියයි. නිගූට ද එදිනට නියමිත හමුවීම්
රැසක් යෙදී තිබෙයි. දුව අනුලාවෙන් රැගෙන කහතුඩුවට ඇරලවා ආපසු පැමිණිය යුතුය. නිගූට තරමක් කේන්තිය.