නිවෙසේම සිට සල්ලි හොයන්න හොඳම ව්‍යාපාරයක්

ජනවාරි 23, 2023

අතට අමතර මුදලක් සොයාගන්න

කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරයක් පටන් ගන්න

 

ආර්ථික බර, අපහසුව අප සෑම කෙනෙකුට වෙනදාට වඩා මේ කාලේ තදින්ම දැනෙනවා. විශේෂයෙන් කාන්තාවක් ලෙස ඔබට මේ ආර්ථික බර වෙනදාට වඩා හොඳින් ම දැ‍ෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ගෘහණියක ලෙස මුළුතැන්ගෙයි උයන පිහන සෑම දෙයක් ගැනම වෙනදාට වඩා සිතන්න සිද්ධ වෙලා. හැබැයි එහෙම කියලා අපට මේ ආර්ථික අපහසුතායෙන් පලා යන්න බැහැ. කොහොම හරි ඒ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. දැන් තියන ආර්ථික බරෙන් මිදෙන්න තියෙන හොඳම විකල්පය තමයි අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම.ඔබ බුද්ධිමත් කාන්තාවක් නම් මෙවැනි අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම අපට අපහසු නැහැ. අවශ්‍ය වෙන්නේ පුංචි කැපවීමක් කිරීමයි.

 

ගෘහණියකට නිවෙසේ සිටම කරන්න පුළුවන් හොඳම ස්වයං රැකියාවක් තමයි කුළුබඩු නිෂ්පාදනය හා අලෙවි කිරීම කියන්නේ. කුළුබඩු ව්‍යාපාරය කිව්වාම එය අංග ගණනාවකට බෙදී යනවා. ඒ අතුරින් මිරිස් කුඩු නිෂ්පාදනය විශේෂයි. ලංකාවේ කුළුබඩු අතුරින් වැඩිම පාරිභෝජනයක් තිබෙන්නේ මිරිස්වලට. ඔබ මුලින්ම කුළුබඩු නිෂ්පාදනයට ප්‍රවේශ වෙනවා නම් පළමු පියවර වෙන්නේ මිරිස් කුඩු නිෂ්පාදනය ආරම්භ කිරීමයි. ඉන්පසුව ඔබට පුළුවන් අනෙකුත් කුළුබඩු නිෂ්පාදන සඳහා පහසුවෙන්ම ප්‍රවේශ වෙන්න. ඒ කියන්නේ මිරිස් නිෂ්පාදනය කරනවා නම් උළුහාල්, අබ, ගම්මිරිස්, සූදුරු, මහදුරු වැනි තුනපහ වර්ග ඔබට පහසුවෙන්ම නිෂ්පාදනයලා ප්‍රවේශ වෙන්න පුළුවන්.

 

ඇත්තටම ඔබට මේ ව්‍යාපාරය බැලූ බැල්මට තරමක් පහසුයි කියලා සිතන්න පුළුවන්. නමුත් ඕනෑම පහසු ව්‍යාපාරයක් වුණත් සාර්ථක වෙන්න දැනුම අවශ්‍යය යි. දැනුමක් නොමැතිව යන එක තරමක් අවධානම්. ඇත්තටම මෙලෙස දැනුමක් නැතුව යන ගමන අතරමඟදී අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං ඔබ මුලින්ම කළ යුත්තේ මේ ව්‍යාපාර ආරම්භ කිරීමට පෙර ටිකක් වෙළෙඳපොළ හඳුනා ගැනීමයි. වෙළෙඳ පොළ හඳුනා ගන්නවා කියන්නේ විශාල සමීක්ෂණ කිරීම නෙවෙයි. ඔබ ආරම්භ කරන ව්‍යාපාරයට වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම සොයා බලන්න පුළුවන්. ඒකට ඔබ කළ යුත්තේ ඉතාම සරල දෙයක්. මුලින්ම ඔබගේ නෑ හිතවතුන්ගෙන් අහන්න ඔවුන් මිරිස් මිලදී ගන්නේ කොහෙන්ද කියලා. ඒ මිරිස්වල ගුණාත්මකභාවය ගැනත් අහන්න.ඔවුන් මිලදී ගන්නා මිරිස්වල සාම්‍යය මිල දැනගත්තොත් ඔබට පුළුවන් මිරිස් ව්‍යාපාරයක් සඳහා වැය කරන්න වෙන ප්‍රාග්ධනය කොයි තරම් ද කියලා තීරණය කරන්න.

 

ඔබ මිරිස් නිෂ්පාදනය සඳහා මුලින්ම කළ යුත්තේ අඩු මුදලට හොඳ මිරිස් සොයා ගැනීමයි. මේ සඳහා හොඳම තැනක් තමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය. සාමාන්‍යයෙන් තොග වෙළෙඳසල්වලට වඩා සෑහෙන මුදලක් අඩුවෙන් මේ ආර්ථික මධ්‍යස්ථානයෙන් මිරිස් මිලදී ගන්න අවස්ථාව තිබෙනවා. සාමාන්‍යයෙන් මිරිස් වගේ ව්‍යාපාරවලදී වැඩිම ලාභයක් ලබාගන්නේ අතරමැදි වෙළෙඳ ව්‍යාපාරිකයන්. ඒ නිසා ඔබ මේ වගේ තැනකින් මිරිස් තොගයක් මිලදී ගත්තොත් ඔබට හොඳ ලාභයක් ලබා ගන්නත් පුළුවන්.

 

මිරිස් කුඩු නිෂ්පාදනය

 

වියළි මිරිස් කරල් මේ ආකාරයට තොග මිලට මිලදී ගත් පසුව මුලින්ම කළ යුතු වන්නේ ඔබ මිලදී ගත් මිරිස් කරල් සියල්ලම හොඳින් සෝදා පිරිසුදු කර ගැනීමයි. පළමුව ඔබ මේ මිරිස් කෙටීම සඳහා මැෂිමක් මිලදී ගැනීමට වඩා හොඳම ක්‍රමය වන්නේ මිරිස් කොටන විශාල මෝලකට එය රැගෙන යෑමයි. මෙලෙස ඔබ මිරිස්කුඩු මිලදී ගැනීමේදී එම මිරිස් ගොවිමහත්වරුන්ගෙන් ම මිලදී ගන්න පුළුවන් නම් ඒකත් සෑහෙන ලාභයක්. ඔබ මෙලෙස සෝදා වේළා ගන්නා ක්‍රමය අනුව තමයි මේ මිරිස් දිගු කාලයක් කල් තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ.

 

මෙලෙස කොටාගත් මිරිස් කුඩු පැකින් කිරීම දෙවැනි පියවරයි. වියළි මිරිස් විවිධ මට්ටමෙන් වෙළෙඳපොළේ පවතිනවා. මේ අතුරින් තරමක් රතු පැහැ මිරිස් වර්ග මිල අධිකයි. නමුත් මිල අඩු පැහැය අඩු මිරිස් වර්ගයන් කිහිපයක් තිබෙනවා. මේ වර්ග කිහිපයෙන්ම ඔබට පැකැට් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම වර්ග කිහිපයක් මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා මිරිස් කුඩු වර්ග හොඳම තත්ත්වයේ මිරිස්වලට වඩා අඩු මුදලට අලෙවි කරන්නත් හැකියාව තිබෙනවා.

 

ඔබ මෙලෙස මිරිස් පැකැට් කරන විට එහි ලේබලයක් ගැසීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එම ලේබලයේ නිෂ්පාදිත දිනය, මිල හා කල් පවතින කාලයත් නිවැරැදිව පැහැදිලිව සඳහන්ව තිබිය යුතුයි. මෙලෙසින් ඔබ මිරිස් කුඩු නිෂ්පාදනය ආරම්භ කර පසුව අනෙකුත් කුඩු වර්ග පැකැට් කර අලෙවිය සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන්. කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, මසාලා පවුඩර්, මස්කරි පවුඩර් වැනි වර්ග දෙවැනි පියවර ලෙස පටන් ගන්න පුළුවන්.

 

ඔබ මෙලෙස ආරම්භ කර මුලින්ම එක් කඩයක් හෝ කඩ කිහිපයකට අලෙවියට තබන්න. එහි අලෙවිය අනුව තවත් කඩ කිහිපයකට අලෙවිය සඳහා ලබා දෙන්න. ඔබට මේ ව්‍යාපාරයේදී සාර්ථක වෙළෙඳාමක් සඳහා තරගකාරී මිලට වඩා අඩුවෙන් ලබාදීමට සිදුවනු ඇත. එවිට ඔබට ඉතාම පහසුවෙන්ම සාර්ථක ව්‍යාපාරයක් කරා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත. එසේම මේ ව්‍යාපාරය පිළිබඳ හොඳ පුහුණුවක් හා දැනුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාර අංශයේ පාඨමාලාවක් හදාරන්න. එවිට ඔබට ව්‍යායපාර දියුණුකර ගැනීම සඳහා උපදෙස් මෙන්ම සාර්ථක ව්‍යාපාරික දැනුමක් ද ලැබෙනු ඇත.