විවිධ රසයට උයන්න කුකුළු මස් කපන විදි..

ඔක්තෝබර් 13, 2021

 

ආහාර ලබා ගැනීමේ මූලික අරමුණ කුසගින්න සංසිඳවා ගැනීමයි. එසේ වුවද ඉන් අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට හා වර්ධනයට අවශ්‍ය වන පෝෂ්‍ය කොටස් ලැබීම ද සිදු වේ.

අද බොහෝ දෙනාට විටමින්, යකඩ ආදී පෝෂ්‍ය කොටස් බාහිරින් පෙති, කරල්, දියර මාර්ගයෙන් ගැනීමට සිදු ව ඇත්තේ ආහාර රටාවේ සමබලතාවක් නැතිවීම හේතුවෙනි. මේ නිසා සමබල ආහාර රටාවකට හුරුවීම නිරෝගී දිවියකට වැදගත් වේ.

සිරුරේ ක්‍රියාකාරීත්වයට බෙහෙවින් අවශ්‍ය වන මස් මාංස ආහාරයට ගැනීමට ඇතැම් අය අකැමැත්තක් දැක්වුවත් සිරුරට පහසුවෙන් ම ප්‍රෝටීන් ලබා ගත හැකි ප්‍රධානම ආහාරයක් ලෙසින් මස්,මාළු ආහාරයට එක්කර ගැනීම දැක්විය හැකියි. අනෙකුත් මස්වර්ගවලට වඩා අපේ රටේ කුකුළු මස් ආහාරයට ගන්නා පිරිස ප්‍රමාණයෙන් ඉහළ ය.

මාළු ආහාරයට ගැනීමේ දී කපා ගන්නා විවිධ වූ කපා ගැනීමේ ක්‍රමයන් ගැන අප මෙයට පෙර කතා කළෙමු. අද අපි කුකුළු මස් විවිධ ලෙසින් ආහාරයට සකස් කරගැනීම සඳහා කපා ගන්නා ක්‍රම කිහිපයක් පිළිබඳ දැනුම්වත් වෙමු.

 

n කුකුළු මස් සාමාන්‍ය ව්‍යාංජනය සකසා ගැනීම සඳහා මධ්‍යම ප්‍රමාණයට එනම් අඟල් දෙකක පමණ ප්‍රමාණයේ කැබැලිවලට කපා ගන්න. මස් කැපීමේ දී සෑම කැබැල්ලක් ම සමාන ප්‍රමාණවලට කැපීම අපහසු වුවත් හැකි තරම් එකම ප්‍රමාණයට කැපීමට උත්සාහ කරන්න.

 

n පැරැණි ක්‍රමයට කුකුළු මස් ව්‍යාංජනය සකසන්නේ නම් ඒ සඳහා සාමාන්‍ය ව්‍යාංජනයට වඩා තරමක් ලොකුවට මස් කපා ගත යුතුය.

 

n දැන් බොහෝ විට උත්සව අවස්ථාවන්වල දී මස්, මාළු බැද ඉවීම සිදු කරයි. මෙලෙස ඉවීමෙන් මස් කරියට වැඩි රසයක් ලබා ගත හැකියි. මස් බැද ඉවීම සඳහා ලොකු කැබැලි ලෙස කපා ගත යුතුය. මන්ද මස් බැදීමේ දී තරමක් ඇකිලීමකට ලක්වන බැවිනි.

 

n මස් වර්ගවලින් මෝජු සකසා රසවිඳි ඔබ එහි රසයට වැඩි කැමැත්තක් දක්වනවා නිසැකයි. මස්වලින් මෝජු සැකසීමේ දී මස් කුඩා කැබැලි ලෙස කපා ගත යුතුයි.

 

n මස් කළු ගම්මිරිස් ව්‍යාංජනය කටට සැරට ආහාර ගැනීමට කැමැති කාටත් වැඩි රසයක් ලබා දෙන්නකි. මස් කළු ගම්මිරිස් ව්‍යාංජනය සෑදීම සඳහා මස් කැබැලි අඟලක පමණ ප්‍රමාණයේ කැබැලිවලට කපා ගත යුතුය.

 

n මස් ඩෙවල් කිරීම බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන්නකි. විශේෂයෙන් ම කටගැස්මක් ලෙස ද ඩෙවල් කළ මස්වලට වැඩි දෙනෙක් ප්‍රියතාවක් දක්වයි. කුකුළු මස් ඩෙවල් කිරීම සඳහා කපා ගැනීමේ දී කකුල් කොටස් හා අත්තටු කොටස් වෙනම කපා කඳ කොටස තරමක කැබැලිවලට කපා ගත යුතුය.

 

n කුකුළු අත්තටු අග පුරවා බැදුම සඳහා අත්තටු කොටස සම්පූර්ණයෙන් ම කපා ගත යුතුය. මෙය සෑදීම සඳහා කුකුළු මස් වැඩි ප්‍රමාණයක් ගත යුත්තේ එක් කුකුළෙකුගෙන් අත්තටු දෙකක් පමණක් ලබා ගන්නා නිසයි. වැඩියෙන් මස් ගෙන ආ දිනයක කුකුළු අත්තටු අග පුරවා බැදුමක් ඔබටත් සකසා ගත හැකියි.

 

n ඩ්‍රම්ස් ස්ටික් නැතිනම් කුකුළු අඬු බොහෝ දෙනෙක් කැමැති ආහාරයක්. මේ සඳහා කුකුළු අඬු කපා ගත යුත්තේ එම අඬුවල ඉහළ කඳට සවිවන කොටස අසලිනි.