සය නිවුන් දරුවන් ට ජීවය දුන් විනාඩි දෙකේ වෛද්‍ය මෙහෙයුම

නොවැම්බර් 3, 2021

 

ඔක්තෝබර් 20 දිනට යෙදී තිබුණු ඒ පින්බර වප් පොහෝ දිනය ඔවුන් එකවර දරුවන් සයදෙනෙකුගේ ම මුහුණු බලන්නට තරම් වූ අතිශය දුර්ලභ භාග්‍යවන්ත මව්පියන් වූ දිනයයි.

එදා එනම් 20 දා මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 16ක් ගතවද්දී එනම් ඔක්තෝබර් 21 දා සය නිවුන් දරුවන් මෙලොවට බිහි විය. ඒ සඳහා ගතවූයේ විනාඩි 2 කි. මෙම විනාඩි දෙකේ මෙහෙයුමට අනුව 12.16ට පළමුව දුවෙක්, දෙවනුව පුතෙක්, 12.17ට තෙවනුව හා සිවුවෙනුව පුතුන් දෙදෙනක්, 12.18ට පස්වන සහ සයවන ලෙස දියණියන් දෙදෙනක් වශයෙන් දරුවන් සයදෙනාම මෙලොව එළිය දුටුවේ ලංකාවේ පළමු සය නිවුන් දරු උපත ලෙස ඓතිහාසගත වෙමිනි. පළමුව බිහිවූ දරුවාගේ බර ග්‍රෑම් 1600ක් වෙද්දී අන්තිමටම ගත්තේ ග්‍රෑම් 830ක දරුවෙක්.

ආදර්ශමත් දිවි පෙවෙතක් ගත කරමින් එකිනෙකාට බෙහෙවින් ම බැඳුණු ප්‍රභාත් උදයංග හා දිලිනි වාසනා යුවළගේ මුල් පදිංචිය වව්නියාව මාමඩුව ප්‍රදේශයයි. සිංහල බෞද්ධයින් වූ ඔවුන් කුඩා කල පටන් දැන හැදින සිටි අයයි. ඈතින් ඥාතිතක්වයක් ද ඇති අයයි.

ඔවුන්ගේ ආදර කතාව මේ දක්වා ගලා ආ අන්දම අපි මේ ආදරණීය පියා උදයංගගෙන් ම අසා දැන ගනිමු.

දිලිනි ගේ අම්මා මට පොඩිකාලේ ඉඳලම ආදරෙයි. දිලිනි මට වඩා අවුරුදු පහක් බාලයි. එයාගේ මල්ලි අවුරුදු 10ක් බාලයි. චූටිම නංගි අවුරුදු 16ක් බාලයි. ඒ අයට පොඩි කාලේ මම ගණන් කියා දුන්නා. ඒ හින්දම අපේ පවුලත් එක්ක ඒ පවුල හරිම හිතවත්. මට ඉන්නේ අක්කා කෙනෙක් විතරයි.

ගම වව්නියාව වුණාට අපි ඉගෙන ගත්තේ අනුරාධපුරයේ. මම ඉගෙන ගත්තේ අනුරාධපුරයේ ශාන්ත ජෝශප් විදුහලේ. එයා ස්වර්ණපාලි බාලිකාවේ. යුද්දේ නිසා වව්නියාවේ සිංහල පාසල් එතරම් දියුණු නැහැ. සාමාන්‍ය හැකියාවක් ඇති දෙමව්පියෝ දරුවන්ට ඉගෙනීමට අනුරාධපුරයට එවනවා. අපිත් ශිෂ්‍යත්වය සමත්වෙලා ආවා.

මම 2007 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරුණා. දිලිනි කොළඹ ජාවා ඉන්ස්ටිටියුට් එකේ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරුවා. මම කොළඹට රැකියාවක් සඳහා ආවේ 2012 දි. එයා ඇවිත් තියෙන්නේ 2016දී විතර. මේ වෙද්දි මම එයා කොළඹ ඉන්නවා කියලාවත් දන්නේ නැහැ.

පස්සේ කාලෙක දී එයාගේ නැන්දලා අපේ නැන්දලා එක්ක කතා කරලා එයාගේ අම්මා අපේ අම්මා එක්ක කතා කරලා ඒ අයගේ යෝජනාවක්, අදහසක් විදිහටයි අපි මුණ ගැහුණේ. අපි දෙන්නගෙ ම ඔෆිස් තිබුණේ නාරාහේන්පිට. ඊට පස්සේ මම එයාව හම්බ වුණා. හරියටම 2018 අප්‍රේල් 20. කතාබහ කරද්දි අපේ අදහස් හොඳින් ම ගැළපෙන බව තේරුම් ගියා. අවුරුදුදක් පමණ ඇසුරු කරලා 2019 මැයි 16දා අපි විවාහ වුණා. අපේ විවාහ උත්සවය පැවතියේ අනුරාධපුරයේ. මුලින් ම පදිංචි වුණේ කැලණියේ. අපි තවම ඉන්නේ කුලී නිවෙසක. ඉගෙනගෙන කොළඹට ආපු ගමන් එකවරම ලොකු දියුණුවක් වෙන්න බැහැනේ. ඉඩම් අරන් ගෙවල් හදන්න... වගේ දේවල් ටිකෙන් ටික කරන්නයි හිටියේ. කොළඹ රැකියාවක් කළාට එක සැරේටම ස්ථාවර වෙන්න අමාරුයි.

අපි දෙන්නා එකිනෙකාට පුදුමාකාර විදිහට උදව් කරගත්තා. ඒ වෙද්දි මම MBA එක සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ඒ සඳහා ලොකුම සහයෝගය ලැබුණේ බිරියගෙන්. ඇය මාව සෑහෙන්න උනන්දු කළා. එයා තමන් ගැන නොසිතා මගේ අධ්‍යාපනය ගැනම හිතුවා. ඒ අවුරුද්ද ඇතුළත මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් MBA එක සම්පූර්ණ කරගන්න ලැබුණා. ඉංජිනියරින් ඉන්ස්ටිටියුට් එකේ මගේ චාටඩ් එක කරගත්තා. අවුරුද්දක් ඇතුළත මට ඒ දෙකම කරගන්න ලැබුණා. අපිට තිබ්බට වඩා හොඳ කාර් එකකට යන්න ලැබුණා. ඒ වගේ දවසින් දවස අපි දියුණු වුණා.

අපි දරුවෝ ගැන හිතාගෙන හිටියා. නමුත් මුල් මාස කිහිපයේ නම් ලොකු උන්නදුවක් දැක්වූයේ නැහැ. අවුරුදු 30ට කලින් බබෙක් ඕන කියලා එයා කිව්වා. නිරෝගී දරුවෙක් හදනවා කියන පසුබිමේ ඉඳන් අපි වෛද්‍යවරයකුත් හමුවෙන්න හිතුවා. විටමින් එහෙම අරගෙන හොඳ සැලැස්මකට යන්න හිතුවා.

මම ඉඳහිට යාළුවෝ ඇසුරු කළා. රැකියාවේ පාටිස් වගේ දේවලදි මත්පැන් ටිකක් බිව්වා. නිතර නොවුණත් ඉඳහිට මේ දේවල් වුණා. එයා කිව්වා ඔයා ඒ දේවල්වලට යන්න, හැබැයි පන්සිල් පද පහ හරියටම රකින්න. මගේ ජීවිතේ ලොකුම සංවර්ධනය වුණේ ඇත්තට ම එතැනදි.

දරුවෝ පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් සැලැස්මකට අනුව නිරෝගී දරුවෙක් හදන්න හිතූ නිසා සාපල්‍යතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලිණ පලිහවඩන හමුවුණා. ඔහු ලංකාවේ ඒ සම්බන්ධයෙන් සිටින අංක එකේ වෛද්‍යවරයා ලෙසයි මම දකින්නේ. දකුණු ආසියාවේම පවා දරුවෝ සම්බන්ධයෙන් ඕනෑම යුවලකට ගැටලුවක් තියෙනවා නම් මේ වෛද්‍යවරයාව මුණ ගැහෙන්න පුළුවන්.

අපි සෞඛ්‍ය පුරුදු වෙනස් කළා. කෑම බීම එහෙම. ව්‍යායාම් කළා. මේ 2020 දි. මේ වෙද්දි බිරිය රැකියාව කළා. වයිෆ් කෙනෙක් ගෙදර ඉන්න අවශ්‍ය නැහැ. එයා ඉගෙන ගත්ත කෙනෙක්. එයත් ජීවිතය විඳින්න ඕන. යාළුවෝ ඇසුරු කරන්න ඕන. මට ඕන වුණේ හැමවෙලේම එයාව සතුටින් තියන්න.

ගැහැනු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලොම නිවෙසේ සිට නෙවෙයි නම් උසස් අධ්‍යාපනය හදාරන්නේ, රැකියාවන් කරන්නේ ගොඩක් ම කන්නේ කඩ කෑම. මේ නිසා දරුවෝ නැතිව දරුවෝ ප්‍රමාද වෙලා ගොඩක් අයට දුක් විඳින්න වෙලා තියෙනවා.

අපිත් මාස කිහිපයක් දරුවෙක් පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් උත්සාහ කළා. නයින් වෙල්ස් රෝහල තියෙන්නෙත් මගේ ඔෆීස් එක ළඟ. මේ රෝහලේ නිස්කලංක වටපිටාව... මේ හැම දෙයක්ම අපේ හිත් ගත්තා. ඩොක්ටර් තිළිණ පුදුමාකාර විදිහට අපිට සමීප වුණා. ඒ වෙද්දි මගේ බිරිය කිලෝ 75ක් බරයි. එයා ඩොක්ටර් ගෙන් අහලා තිබුණා මම බර වැඩියි නේද කියලා. ඩොක්ටර් කිව්වේ, ඇයි මහත අයට බබාලා හම්බ වෙන්නේ නැද්ද කියලා. එයාගේ උස අඩි 5 අඟල් 3යි. සාපල්‍යතාව වැඩි කරන්න ඩොක්ටර් එයාට එන්නතක් දුන්නා. විටමින් දුන්නා. 2021 අප්‍රේල් වෙද්දි එයා ගැබිනියක් වුණා.හරියටම මාස හතරකට පස්සේ.

දිලිනි දරුවන්ට හරිම ආදරෙයි. ඕනෑම කෙනෙක්ගේ දරුවෙක්ව සුරතල් කරනවා. අපි රුවන්වැලිසෑයට, උඩමළුවට ගිහින් තමයි හැමදේම පටන් ගන්නේ. අභිධර්මයට අපි කැමතියි. කොළඹ ඉද්දි අපි කැලණි විහාරයට ගියේ. කිරි ආහාර පූජා කරද්දි අපි දරුවෝ ප්‍රාර්ථනා කළා. ශාසනයට වැඩදායි දරුවෝ, ශාසනයට පූජා කරන්න දරුවෝ ලැබෙන්න ඕන කියලා අපි හිතුවා. දරුවෝ කියපු නිසාද දන්නේ නැහැ අපිට දරුවෝ හයක්ම එකවර ලැබුණේ.

අප්‍රේල් 28 අපි පළමු ස්කෑන් එක කළේ. එදා පෝය දවසක්. ස්කෑන් රූම් එකේදි ඩොක්ටර් තිලිණ කිව්වා බබෙක් ඉන්නවා කියලා. ටික වෙලාවකින් තව බබෙක් ඉන්නවා කිව්වා. අපිට හරිම සතුටුයි. බබාලා තුනයි කියද්දි මට හිතාගන්න බැරිවුණා. හතරවෙනි බබා කියද්දි මට නැගිට්ටවුණා. එවෙලේ මම කිව්වා ඩොක්ටර් තවකෙනෙක් හිටියත් කමක් නැහැ කියලා. අපි එවෙලේ හරිම සතුටින් හිටියේ. ඩොක්ටර් කිව්වා තව සතියකින් තව ස්කෑන් එකක් කරමු කියලා. එදා අපි කිය කිය අවේ මේ සතරවරම් දෙවිවරු තමයි කියලා. ඊළඟ සතිය වෙනකම් ඇඟිලි ගණන් කර කර හිටියේ. 'හරි හතර දෙනා හොඳට ඉන්නවා' තව එක්කෙනෙක් ඉන්නවනේ කියලා ඔය විදිහට හයක් ම වුණා. මට හිතාගන්න බැරිවුණා.

ඒ වෙද්දි අපි දන්නවා ලංකාවේ උපරිම ඉන්නේ නිවුන් දරුවෝ පහයි කියලා. හයයි කිව්වම දැනගත්තා අපි තමයි අංක එක කියලා. අපේ පවුල්වල කාටවත් නිවුන් දරුවෝ හිටියතේ නැහැ. කිසිම අවස්ථාවක මේක අමාරුයි, කරගන්න බැහැ වගේ දේවල් හිතට ආවේ නැහැ. පොසිටිව් විදිහටමයි හිතුවේ. ඩොක්ටර් තිලිණ, මහාචාර්ය ටිරාන් ඩයස් වෙත අපිව යොමු කළා. ඩොක්ටර් තිලිණ 1st god නම් ප්‍රොෆෙසර් ටිරාන් 2nd god ලෙසයි මම සලකන්නේ.

ප්‍රොෆෙසර් අපිට පුද්ගකලිකවමත් කතා කළා. මගේ බිරිය මෝටිවේට් වෙන්න ඒ අවධානය හේතුවක් වුණා. හත්වෙනි මාසය වෙද්දි ප්‍රොෆෙසර් ඇහුවා අපි රාගම හොස්පිට්ල් එක බලමු ද කියලා. අපි දින 2ක් ම ගියා. ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. ප්‍රොෆෙසර් කාසල්, ද සොයිසා රෝහල්වලිනුත් අරන් අපේ වෛද්‍යවරු කණ්ඩායමක්ම හදා ගත්තා. හොඳම අත්වැලක් තිබුණා. මට තමයි හැමදේම කිව්වේ. බිරිය හරිම සැහැල්ලුවෙන් හිටියේ.

සල්ලි ගැන බෙහෙත් ගැන එයාට හිතන්න තිබුණේ නැහැ. නයින්වේල්ස් එකෙන් මට කතා කරලා කිව්වා සහයෝගයක් දෙන්නම් මෙහෙන් කරගන්න බලන්න කියලා. ඒ නිසා අන්තිම දවස් 10 අපි ආවා නවතින්න. එදා පටන් අද වෙනකම්ම රෝහල් කාර්ය මණ්ඩලය කනිෂ්ට කාර්ය මණ්ඩලයේ සිට ඉහළට වෙනකම්ම හැමකෙනෙක්ම පුදුමාකාර සහයෝගයක් දැක්වූයේ.

සැත්කම දාට කලින් පෙරහුරු කිහිපයක් ම තිබුණා. මාස හතේ ඉඳන්ම මම රැකියාවටවත් යන්නෙ නැතිව එයා ළඟින් ම හිටියා. එයා ශාරීරිකව විඳි වේදනාව මට ඇදහා ගන්න බැහැ. එයා කිලෝ 35කින් විතර තව බර වැඩිවුණා. මගේ අම්මා, එයාගේ අම්මා නංගි මාරුවෙන් මාරුවට ගෙදර දි බැලුවා. අන්තිම දවස් 10 අපිට ගෙදරදි කරගන්න බැහැ. රෝහලෙදි පැය 4න් 4ට මුත්‍රා සීනි, ප්‍රෙෂර් බැලුවා. ප්‍රෙෂර් වැඩ නිසා වෙන්න ඇති එයාට මුත්‍රා සමඟ ප්‍රෝටීන් වැඩියෙන් පිටවුණා. සති 32න් සැත්කම කරන්න හිටියේ. සති 31න් කරන්න වුණා. ලෝකෙන්ම සති 31 පසුකරමින් නිවුන් දරුවන් හය දෙනෙක් මෙලොවට බිහිවුණු පළමු අවස්ථාව ලෙස මෙය වාර්තාගත වුණා.

මේ වෙද්දි දරුවෝ හය දෙනාට ම ඇඳුම් හදලා ලොකු ඇඳක් කොට් එකක් විදිහට හදලා හැමදේම සැලසුම් කරලා තිබුණේ.

පැය 6කට විතර කලින් වයිෆ්ව ගත්තා. මම යද්දි මට පුදුම හිතුණා ඉන්න කාර්ය මණ්ඩලය දැකලා. මම වාඩි වුණා විතරයි. වයිෆ් මගේ අත තදකරගෙන අල්ලගෙන හිටියා. විනාඩි 3ක් වගේ ගියේ. වෛද්‍යවරු සැලසුම් කළේ පුළුවන් තරම් අඩු කාලයක දී සැත්කම කරන්න. බිරියට එකම රුධිර බිංදුවක්වත් දුන්නේ නැහැ. එයා සෞඛ්‍ය සම්පන්නව හිටියා. කායිකව, මානසිකව හරිම ශක්තිමත්.

ගැබිනි කාලය පුරාවට ම එයා එක සැරයක්වත් වමනේ දැම්මේ නැහැ. කකුල් ඉදිමෙන්න ගත්තෙත් අන්තිම සති තුනේ. ප්‍රෙෂර් ආවේ අන්තිම සති දෙකේ. දොළදුකට අඹ තමයි වැඩියෙන්ම කෑවේ. මස්, මාළුවලට වඩා එළවලු ජාති කෑවේ.

සැත්කම කරලා පැයක් හමාරක් ඇතුළත බබාලව බලන්නත් දුන්නා මට. බිරිය ඒ වෙද්දි ICU. එයාව දැක්කත් එයාට නින්ද ගිහින් තිබුණේ. මට හිතාගන්න බැරි වුණා මේ මගේ දරුවෝ හයදෙනා ද කියලා. ඒ අය හරිම චූටියි.

ගොඩක් අය හිතුවා මම සෑහෙන්න සල්ලි තියෙන කෙනෙක් නයින්වෙල්ස් තෝරාගත්තේ ඒකයි කියලා. මම වෘත්තියෙන් ඉංජිනේරු උපදේශක කෙනෙක් වුණාට කොළඹට ඇවිත් ජීවිතය බින්දුවේ ඉඳන් පටන් ගත්තේ.

මගේ තාත්තා ගොවියෙක්. බිරියගේ තාත්තා පොලීසියේ හිටියේ. අපි බොහොම සාමාන්‍ය පවුලක්. මාගාව ඉතුරු කරපු මුදලක් නැහැ. රෝහල් බිල සම්බන්ධයෙන් ඒ අය මට සහනයක් දේවි. මේ අභියෝගය මමම ගන්නම ඕන. දැනට බිරියගෙයි, දරුවන්ගෙයි සෞඛ්‍ය තත්ත්වය ගැන විතරයි මම හිතන්නේ. කිසිම රෝහලක් තිබුණේ නැහැ දරුවෝ හයදෙනාම තියන්න ඉන්කියුබේටර්ස් හයක් තියෙන. තැන් තුනක තියන්න වෙනවා කිව්වා. නයින්වෙල්ස් රෝහල මේ යන්ත්‍ර හයම මගේ දරුවන් වෙනුවෙන් වෙන් කරගෙන හිටියා. මට ඒ රෝහල තෝරාගන්න වුණේ ඒකයි.

මට මේ වෙලේ ස්තූතිවන්ත විය යුතු පිරිසක් ඉන්නවා. දෙමාපියන්ට, නෑදෑයන්ට, මගේ ආයතනයේ ප්‍රධානී මහේන්ද්‍ර ජයලත්. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු තුනක් වෙනවා. මම පොඩි කාලේ ඉඳන් අභියෝග ගත් කෙනෙක්. මායිම් ගම්මානෙක හිටියා. ඉගෙන ගත්තා. අද වරලත් ඉංජිනේරු උපදේශක කෙනෙක් ලෙස මම හොඳ රැකියාවක් කරනවා. නමුත් ආර්ථික පැත්තෙන් ඉහළ තලයකම නැහැ. මගේ ප්‍රධානියා මට උපරිම නිදහස දීලා මුදල් පවා දීලා තාත්තෙක් වගේ උදව් කරනවා. බිරිය ගේ ආයතනයත් පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ ආයතනයක්. ඔවුනුත් ඇයට පුදුමාකාර සහනයක් සැලසුවා.

සාපල්‍යතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලිණ පලිහවඩන, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්, නවජ රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන නලීන් ගමඇතිගේ, බුද්ධිම ජයසිංහ, නිර්වින්ද වෛද්‍ය අසන්ත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නයින්වෙල්ස් රෝහලේ වෛද්‍ය විභාස් විජේරත්න ඇතුළු එහි සමස්ත කාර්ය මණ්ඩලයටම අපි දෙන්නා කෘතඥ පූර්වක වෙනවා. අපිට අපේ දරුවෝ හයදෙනාගේ මුහුණු බලන්න ප්‍රීතිමත් අවස්ථාවක් උදාකර දුන්නාට.

මින් එහාට තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. වියදම් ටික පටන් ගන්නේ ඉන් පස්සේ.

මගේ දරුවෝ ටික එකටම ඉඳුල්කට ගාවි, පළමු උපන්දිනය සමරාවි, අකුරු කියවාවි, ඉස්සෙල්ලාම ඉස්කෝලේ යාවි, කඩඉම් විභාගවලට පෙනී සිටීවි, හැම අවස්ථාවක් ම හරිම සුවිශේෂි වේවි. මේ ලෝකේ ඉන්න වාසනාවන්තම තාත්තයි අම්මයි අපි දෙන්නා වේවි.

 

-----------------------------------

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්

 

මේ මගේ වෛද්‍ය ජිවිතයේ සුවිශේෂි අවස්ථාවක්. දුර්ලභ අවස්ථාවක්. උදයංග සහ දිලිනි හා හාපුරා කියමින් උතුම් මාතෘ හා පීතෘ පදවියට පත්වෙමින් මා වෙත යොමු වූ දා පටන් ඔවුන් විශේෂිතවුණා. ඒ ඇය සය නිවුන් දරුවන් කුසේ දරාන සිටි නිසා. මේක අපට අලුත් අත්දැකීමක්. ලංකාවේ මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව.

මේ අම්මට සති අධිරුධිර පීඩනය, ප්‍රෝටීන් පිටවීම වැනි තත්ත්ව නිසා (ප්‍රිඑක්ලැම්සියා) සැත්කම සති 31 අවසානයේ කරන්න වුණා. සය නිවුන් දරුවන් බිහි කළ යුතු කාලසීමාවක් පිළිබද කිසිම වෛද්‍ය පොතපතක ලියැවී තිබුණේ නැහැ. අපි කළේ අම්මගෙයි, බබාගෙයි සෞඛ්‍ය තත්ත්වය විටින් විට නිරීක්ෂණය කරමින් සියුම්ව සීරමාරුවට සැත්කම කිරීමට පියවර ගත්තා. නිරීක්ෂණය කරමින් නිවැරැදි වෙලාවට සීසර් සැත්කම නොකළා නම් මවට ගර්භ වලිප්පුව සැදීම වැනි භයානක සංකූලතා හට ගන්න පුළුවන්. මේ වික්‍රමයට සම්පූර්ණයෙන්ම ගත වුණේ විනාඩි 45ක කාලයක්. දරුවෝ පිටතට ගත්තේ විනාඩි 2ක කාලයකදී.

දින දෙකයි ඒ අම්මා දැඩි සත්කාර ඒකකයේ හිටියේ. දැන් සාමාන්‍ය වෝඩ් එකක ඉන්නේ. එයා යනවා දරුවෝ බලන්න බේබි රූම් එකට. දරුවෝ තුන්දෙනෙක් අතට දෙනවා. දරුවෝ දෙන්නෙක් සුළු ඔක්සිජන් ආධාරකයක ඉන්නවා. එක් දරුවෙක් මැෂින් එකකට සම්බන්ධ කර සිටිනවා. (මෙම ලිපිය ලියන අවස්ථාව වන විට) ඒ දරුවන් දිනක් වගේ ඇතුළත ඉන් පිටතට ගන්නයි සැලසුම් කොට තිබෙන්නේ.

දැනට කප් ෆීඩිං කෙරෙන්නේ. තවත් දින දෙක තුනකින් පියයුරු හා කෙලින් ම සම්බන්ධ කරන්න පුළුවන් වේවි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.