පාඨක නිර්මාණ

Week of මාර්තු 24, 2021

කා. කා. සහායක
වික්‍රමසිංහ අතපත්තු ~ පියසෙවණ - තලවත්තේගෙදර

 

ස්වර්ණදාස, ස්වර්ණවර්ණ සිහින නොදුටු
මතක් වෙනවා ස්වර්ණ අපේ පාසල්විය
පන්තියේ හිටපු කීකරුම ළමයා ඔබ
අපි කරපු විහිළු වලට හිනාවෙවී හිටියා ඔබ
දවසක් අහිංසක ලෙස මා ඉදිරියට විත්
“ඔයා හරි ලස්සනයි” තොල් මැතිරූ ස්වර්ණදාස

“ගුඩ් බෝනිං මැඩම්”
අද දොරටුව අභියස හිඳ
යටහත් ලෙස ඔළුව නමන
රැවුල වවපු ස්වර්ණදාස
විභාගයෙන් ෆේල් වුණත්
ජීවිතයෙන් ෆේල් නොවුණ
දරුවන් සිව්දෙනෙක් සිටින
අප්පච්චී ස්වර්ණදාස

වසන්තයේ මල් පිපුණත්
පූජාසනයක් නොගැටුණු
මා දෙනයන යළි සැනසුව
පරමල් නැති පුදසුන ඔබ

කෑම දෙකක් ගෙනාවා මම
කාරෙකෙ ඇති එකක් ගන්න.

 

කුස පබා අද මනමෙ හෙට දින
ප්‍රෙස්ටා ලාලනී ~ නව නගරය - මාදම්පේ

 

අතින් අල්ලන්
යද්දි නුඹ මා
බලයි හැරෙමින්
දනෝ නෙත් පා
ඇගේ රූ සිරි
හමුවෙ මගෙ රුව
දෙස බලා උන්
හිනාවෙනවද?

නොවේ නම් ඇත්තටම
ඇයගේ
සුපිරි රූසිරි
දෙස බලනවද
නොගැළපීමකි
මහිත කියයි මට

සෙමින් ඇගෙ අත
අත් හරිමි මම
තිගැස්සී ඇය
බලයි මා දෙස

යළිත් අල්ලා
ගනිමි ඇගෙ අත
බඳවටා තදකරන්
ඇගෙ වත
යළිත් මාවතෙ
ඇවිද යමි මම

‘කුස පබා අද -
මනමෙ හෙට දින’
පෝස්ටර් පේළියක්
දිස්වේ
රඟහලක දොරකඩක්
අබියස...


 

නුඹ මට සඳක් මැයි
සුහර්ෂිණී ධර්මරත්න ~

 

කවි ගී ලියා ඇතිමුත් බෝ කල් පැරැණී
කවියක් කළේ ජීවිතයම නුඹ පමණී
මා විඳි දුක් උරුම කොට දෝතට පැමිණී
නුඹ මට සඳක්මැයි මා පෙම්බර දියණී

හැඳිමිට අතැ’ර පන්හිඳ ගත් නුඹෙ අම්මා
නව ලොව අරුම මැද විඳි දුක් නැත නිම්මා
නුඹ දිරි දියණි කුස තුළ කල් බලමින්නා
ඇන ඇන සිඟිති දෙපයින් මට දිරි දුන්නා

පා පොඩි තබන්නට පියුමන් නොපිපි ලොවේ
මඟ රළු බොරළු මිස පාවඩ පයට නොවේ
ඉල්ලා නුඹට හිමි තැන නුඹ දිනුව ලොවේ
නුඹ හඬනා හඬින් මට ඇහැරුණා දුවේ

 

දියණියක  කෙරෙහි උපන් ආදරය කලාත්මකව හා නිර්මාණශීලීව  කවියට නැඟූ නිර්මාණයකිග නුඹ මට සඳක්මැයි යන්න අපුරු කාව්‍යොක්තියකිග කිවිඳියගේ සිහින අසපුව කාව්‍ය සංග්‍රහයෙනි
 
අකීකරු මල්
ශ්‍රීමතී රෝහිණී පෙරේරා ~ මහර-නුගේගොඩ - කඩවත

 

සොබා දම - එපා තව නිදියන්න
ඉක්මණින් නැගිටින්න
උදාහිරු පායලා
ඔබේ පෙති සිපගන්න

මල් - කෙටිම කෙටි වස්සානෙ
හිටි හැටියෙ නිමා වෙයි
සොඳුරු ලෙස පිපි කුසුම්
අඳුර මත දමා යයි

සොබාදම - පිපෙන්නට ඇයිද මැළි?
පසන් පෙති සියුමැලි
ඔබෙන් දිරි නොලැබුණොත්
වසන්තය නොඑයි යළි?

මල් - ගමන නවතනු බැරිය
පිපෙන්නට නැහැ පිරිය
ගිම්හානෙ පැමිණි විට
ඔහුට දෙමි මම දිරිය


 

හිමි අහිමි
ඔෂීන් දිසානායක ~ හම්බන්තොට


 
 ගෙත්තම් කෙරුවෙමි - නුඹ පිළිගන්නට
 දසත කැළඹුවෙමි - නමක් සොයන්නට
 ගේ දොර හැඩකර - නිසි පිළිවෙළකට
 තිබුණේ මගෙ දුව - අඩුපාඩුවකට
 
 සඳුනි දුව - සුර කුමරියේ
 අනේ නුඹ මිහිබට වෙලේ
 සත්තමයි මගෙ දෑස් අදහනු
 බැරි වුණා මට දෝණියේ
 
 උදේ සුපිපුණු රෝස කුසුමක්
 වගේමයි නුඹ හැඩ දුවේ
 අනේ ඇයි මේ දවස් හතකට
 මම නුඹේ අම්මා වුණේ
 
 රැහැයියකු මෙන් නුඹ හැඩු හැටි
 දැනුත් ඇහෙනව දුවණියේ
 දාල යන්නට බෑ කියාලද
 ඇඬුවෙ එතරම් කුමරියේ
 
 මගේ දෙතනේ එරුණු මේ කිරි
 කාට දෙන්න ද සුදු දුවේ
 අනේ නුඹ යළි කුසට එනතුරු
 පෙරුම් පුරනව පැංචියේ
 
 මගේ දෙනෙතින් ගලන කඳුළින්
 නැද්ද ලැබුණේ තාම පණිවුඩ
 අනේ නුඹ යළි තවම නැත්තේ
 පෙර භවේ මගේ තියන පවකට



 

සොඳුර මගේ
එම් එච්. පද්මා කලහෙන්කන්ද ~ ගලහෙන්කන්ද - අම්පේගම.

 
 ඉඟුරු, කහ, කරපිංච කුස්සි ගේ අයිනෙමයි
 දාස් පෙතියා පඳුරු තැඹිලි පාටින් රඟයි
 රටාවට පොල් අත්තෙ මිදුලෙ ඉදලින් අඳියි
 ගෙදර දොර වැඩපලට දවසකුත් මදි වගෙයි
 
 ටක ටකස් යන හඬින් දර ඉපල් අතු කැඩෙයි
 වැටුණු රබ්බඩ පුවක් කොළපොතක මහ ගොඩයි
 වැඩ කරන තරමටම ඇයගෙ රූසිරි වඩයි
 උකුල බඳ නළවලා යනෙන විට හරි හැඩයි
 
 වැඩ කොතෙක් තිබූ නමුත් බුදු පහන නොවරදයි
 අඳුර රිංගන්න පෙර පහන ගෙය එළි කරයි
 පැදුර ගල්ලැහැ වලින් රටාවට මුල පුරයි
 සොඳුර නුඹ සොඳුරුමය මගේ සිත පෙම දරයි
 
 අත මිටේ හිඟ නැතත් ඈ නිතර පිරි මසයි
 හීල් බත් ටික කන්න හදන සම්බල යසයි
 වරද ඇහැ ගැහුණොතින් ඒත් තරමක් වසයි
 මේ තරම් සහතුටක් සොඳුර නුඹ ලැබූ නිසයි
 
 කැකුළු බත ඉතිරිවෙන අව් රැල්ලෙ වේළලා
 හදන අග්ගලාවට කටට කෙළ එයි ගලා
 නැහැ කුරුලු ලෑල්ලත් පාළුවට තියාලා
 දං කුඩයෙ රස බලයි කුරුල්ලන් එක්වෙලා
 
 පූසි පැටවුන්ට නම් ගේ දොරේ හරි ඉඩයි
 වෙනදටත් වැඩිය දැන් පිං පාට පිය වඩයි
 කොයි තරම් ළංවුණත් රහස නොකියූ හැඩයි
 ඉඟ නෙරියෙ ඔතාගත් වෙරළු ගැට මහ ගොඩයි
 

 
 
 සිව්පද ආකෘතිය තෝරාගන්නා කිවිඳිය තම බිරිඳගේ රුව ගුණ මෙන්ම ඈ වෙතින් ඔහු විඳින ආදරයේ සතුට කලාත්මකව, ව්‍යංගාර්ථ බසකින් පවසයි. ඉඟ නෙරියෙ ඔතාගත් වෙරළු ගැට මහ ගොඩයි යන්නෙන් ධ්වනිත වන සැඟවුණු අරුත නිර්මාණයේ කලාත්මක කූට ප්‍රාප්තියයි.
  

Week of මාර්තු 24, 2021