පාඨක නිර්මාණ

Week of අගෝස්තු 24, 2022

අරවින්ද
මලින්ත බෝපෙආරච්චි ~ දලුගම, කැලනිය

 

දහම් මඟ, රසායන විද්‍යාව
පොත් අතර කිමිදෙමින්
මා දුටුව අරවින්ද
ඔබ නේද මීට පෙර
පරිගණකය, අන්තර්ජාලය,
මුහුණුපොත, යූ ටියුබය
අවදි වී ඇත මෙලොව
සරෝජිනී සිරිදාස
ඒකාත්මික වෙමින්
පවසන්නෙ ඔබට
රහසක් කියන්නට සැමට ඇසෙන්නට
ඔබට නෑසෙන
කුලුනුබර අරවින්ද
සදාදරණීය පරමානන්දය
ඔබ පතන ලෝ දසුන
එකලු කරනට
කාලය පැමිණ ඇත
එනමුදු කුමරාණ
සංවර්ධන අරුණලු
කොන්ක්‍රීට් මැදුරු මැද
ඔබ සදා සජීවීය
සුපෙම්බර හිතවත
ඉකිබිඳින මෙදියත


 

සංසාර ආදරය
නිරෝෂා ශ්‍යාමලී ~ ගාල්ල


 

නෙතින් නෙත හමු නොවූ
සිතින් බොහො දුර නොවූ
ගතින් නම් ළඟ නොවූ
පෙමක් තිබුණා අඩු නොවූ

සංසාර ගමනේ ගිම් නිවූ
පිංසාර ගති ඇති කෙරූ
භාවනාවක් බඳූ
සුන්දරයි ඒ නො දුටු රූ

හැම වෙලේ අමතනා
දුක සැප ද විමසනා
නුඹයි මගෙ රසඳුනා
දින දින ම ළං වෙනා

දුර ඉඳන් බලන්නම්
නුඹ නමින් හිඳින්නම්
හිමිකමක් නො දෙන්නම්
ආදරය පුදන්නම්..

 

හිතට සාත්තුවක්
මිථිලා රසාදරී වික්‍රමසිංහ ~ ගොතටුව නව නගරය

 

වෙලාවත් දැන් ළඟයි වාගේ
පුතා ගෙදරට ඇතුළු වන්නට
ගියා නම් දැන් තේ හදන්නට
මහන්සියෙ එන හිත හදන්නට

දුවේ! මට හැකි ඉතිරි වැඩ ටික
කරගන්නම් මාත් හෙමිහිට
හිතේ සෙනෙහසෙ තරම දන්නව
නුඹේ උසටත් වැඩිය උස බව

ආ..ං! අර ගෙයි දොරත් ඇරෙනව
දුවල යන්නකො හිනහවක් ගෙන
තවත් උළුවස්සක් පනින්නට
එපා ඒකට කරුණු දෙන්නට

නොරිස්සුම ඔය හිතේ ගුලිවුණ
ළිපට දාහං අළුව යන්නට
අනේ පොඩි දුව ගිහින් බලපන්
ළමයි කියලා මක් කරන්නද?

 

සිතළුවක්
ආර්.ඒ. තරින්දි දර්ශිකා ~ මතුගම - වැලිපැන්න


 
 හදම සිපගත්
 සිතළුවක්...
 හිතම සැනසූ
 පෙම් කවක්....
 නිතර සිහවන
 සිතුවමක්...
 වීය ඔබ මට
 කාලයක්..
 

විරාගික ප්‍රේමය
රශිකා විලාසනි ~

 

සතුටටත් කඳුළු එන
නෙතුපියන් වැසූ මුත්
කොපුල් තල සිපිමින්ම
කඳුළු වැල් ගලා යයි..

ළඟ ළඟම දැවටෙනා
නුඹේ උණුසුම් සුසුම්
විරාගික ප්‍රේමයක
සිනහ රේඛා මවයි..

අනාගත සිහිනයක
පහන් තරුවක් ලෙසින්
නෙත් කතන්දර මතින්
ප්‍රේමයක ස්වර වැයෙයි..

 

කාටවත් නො කියූ
අමාලි සුදුවැලිකන්ද ~ කොළඹ

 

කාටවත්ම නො කියූ
කවුරුත්ම නො දන්නා
කතාවක් මං නුඹට
දවසකුත් කිව්වා

වරු ගණන් බලන් හිඳ
ඇස්පියන් බර වුණත්
යළි යළිත් ඒ කතාවම
මං නුඹට කිව්වා

මෙච්චරක් ආදරේ
මේ තරම් යැයි කියා
පෙන්නුවත් මා නුඹට
නුඹ අහක බැලුවා

සන්තකේ තිබුණ දේ
මං නුඹට දුන්නත්
මෙච්චරක් දැයි කියා
නුඹ මගෙන් ඇසුවා..

 

 

රම්‍ය නගරය
නිල්මිණි අබේකෝන් ~ මහනුවර

 

වන උයන පසුබිමින්
දිසෙයි දළදා මැදුර
බොදු බැතිය නංවමින්
ඇසෙයි තේවා නාද

සැරසී සුදු පිරුවටින්
ඇහැළ මල් වියන් යටින්
පෙළ ගැසෙයි සැදැහැ දන
මාලිගා දොරකඩට
වඳිනු වස් දළදාව

නිරන්තර රළ බිඳෙන
රැළි නඟන කිරි මුහුද
දසත දිය විසිරෙනා
කෝපි මල - වතුර මල

මල් පිපී දිදුලනා
විසල් තුරු සැම තැනම
තුරු වියන් මල් උයන්
මල් පිපී සුවඳ දෙන
සරසවිය වැඩ සිටින
හන්තාන විදු පියස
එහි අසිරි සිරි මහිම
නොබලනා නෙත් කුමට
කොයිතරම් ලස්සනද
අපේ ගම මහනුවර

 

මී මැසි සිතුවිල්ල
ප්‍රියංගනී සඳමාලි මැදවත්ත ~ හැඳල, වත්තල

 

මලින් මලට ඉගිල නොයා
කොහොමද මම රැඳෙන්නේ
එක මලෙකින් තව මලෙකට
රොන් සොයමින් සරන්නේ

මල් කැකුළිය නුඹ මාවෙත
කිම ප්‍රේමෙන් බැඳෙන්නේ
තරහ නොවී මා අමතක
කරපන් අපි දුරයිනේ

තනියම බෝ දුර ඇදෙමින්
සතුටින් මයි සිටින්නේ
රාග සිතින් නුඹ බඩ බැඳ
ගන්නට සිත් නොවන්නේ
හැම මල මත නතර උණත්
සිත නම් නෑ බැඳෙන්නේ

මා ගත තැවරුණු පරාග
නුඹවයි සරු කරන්නේ
දස අත නොගියා නම් මා
නුඹ නෑ ඵල දරන්නේ

මලෙකින් පෙති හැලුණුදාට
රොන් කොහිදෝ තියෙන්නේ
මෙය නම් ලොව යන රටාව
එය නුඹටත් පොදුයි නේ

බර මලු පොදි බැඳ ගත්තම
සැහැල්ලුවක් නොවන්නේ
සැම අතහැර යන තරමට
නිති සැනසුම ලැබෙන්නේ



 

Week of අගෝස්තු 24, 2022