පාඨක නිර්මාණ

Week of මැයි 1, 2024

රිදුණු සිතක්
සිතුමිණි ~ පරවහගම, ආඬියාගල

 

ඇසෙන් කඳුළක් වැටෙනවා නොදැනීම
මට තේරෙන්නෑ ඇයිද කියා එය
කිසි දිනෙක නොරිදුණු ලෙස
මගේ සිත රිදී ඇත බොහෝ විට

මගේ හදවත රිදෙන තැන්වල
කියා ගන්න කෙනෙකු නැති කළ
කවියට නගමි දුක් ශෝකය
වෙන කරන්නට දෙයක් නැති කළ

හදවතෙ ඇති දුක් කඳ
යටපත් කරමි මම
රිදුණු තැන්වල සතුට සොයමි හැමකළ
ජීවිතය ගෙන යමි ඉදිරියට
ගලා යන ගඟක් ලෙස

කටුක අමිහිරි ජීවිතයේ
රිදුණු නොරිදුණු හිත් ඇත හැමකල්හි
එයයි ජීවිතය සතුට හෝ දුකේ
එය විඳ දරා ගැනීම අප සතුය හැමලෙසේ

රිදුණු සිතක් සනසා ලිය හැක්කේ තමාටමය
එය රිදුණෙ කෙසේද....නොරිදුණෙද
දන්නෙ තමන්මය
වටහාගත යුත්තෙ ජීවිතයේ ප්‍රශ්නය
එය වටහා ගත් විට රිදුණු සිත් සනසාලිය හැකිය


 

සෙනෙහසක ගීතය...
නයන්ත ජගත් පුංචිහේවා ~ රන්න

 

වසන්තය උදාවන බක් මහේ
මගෙ හදේ ලැගුම් ගත්
සොඳුරු කෙවිලිය නුඹයි

වසන්තයෙ අග ලියූ
ගයා නොතිබූ වසත් ගීය
අරුත් පසිදා ගැයූවේ නුඹයි

සීතලෙන් පිරි නවාතැනට
සදා උණුසුම් මද්දහනක්
රැගෙන වැඩියේ නුඹයි

තුරු පත් මත හදිසියේ
පොද වැස්සක්ව ඇදවැටී
ජීවය රැඳවූයේ නුඹයි ..


 

තනි තරුව
එච්.ඒ. සත්‍යාංගනී ප්‍රසංගිකා ~ කටුවන

 

තරුවකට පෙම් කරමි
කිසිදා හිමි නොවන
හිතාමතාම මඟ හරිමි
ඒ දිදුලනම තරුව
පිරිවරක් සෙනඟ මැද
දිදුලද්දි ඒ තරුව
මං කවරෙක් ද
ඔහුට ඈතින් ම සිටින....

 

අමතකව ඉර මල
ගංගා නිරෝශිනී සමරවික්‍රම ~

 

සඳ නැති අමාවක එනතුරු සිටියා ඔබ
තරු මල් ගැන කවි ලියන්නට
මහ දවාලේ පිපි ඉර මල ගැන
කවි ලියන්නට වගක් නොමැතිව
තරුවලටත් එළිය ලැබෙන්නේ
ඉර මලින් බව නොදැන සිටි නුඹ
අමතකකර ඉර මල
තවත් කවි ලියනවා තරු මලට


 

නැංගුරම් භූමිකාව
තුෂාරි ජයසිංහ ~

 

ජීවිතයකට හිමි
සීමිත ඕවර ගණන තුළ
දැවී යන්නට යෙදෙන
බෝ කාරණා මැඩ ගෙන
වීරියෙන් ජීවිත ඉනිම
අල්ලා ගෙන සිටින
නිසි තැනට නිසි පරිදි
පිළියම් කරන
කැණිමඬල එක්කොට බැඳි
කඩ ඇණය සේ
තම පිරිවර ජය ටැඹ කරා
රැගෙන යන
මාවන්ලා, අරවින්දලා
මතු නොව නොව
විරාත් කෝලිලා,
කේන් විලියම්සන් ලා
පරදවමින්
ජීවන ක්‍රීඩා පිටියේ
නොසෙල් වෙන්න දැමූ
කදිම නැංගුරම
ආදරණීය අම්මා නම් විය

 

වැස්ස..
ෆාතිමා අස්මා රමීස් ~

 

" වැස්සට ආසයි ද? "

" ඔව්.. අපේ අම්මා කියනවා දෙයියෝ සතුටු වුණාමලු අපිට වැස්සක් දෙන්නෙ... ඉතින් ඒ වෙලාවට ප්‍රාර්ථනා කරන ඕනෙම දෙයක් දෙයියෝ දෙනවලු.."

" ම්ම්ම්ම්.. ඇත්ත..
මං එහෙම ප්‍රාර්ථනා කරපු දෙයක් දෙයියෝ මට දුන්නා..."

" ඇත්තටම ද? ....ඒ මොකක්ද..? "

" ඒ ....ඔයා "
 

සැබෑ අවුරුදු කුමරි සොයමින්...
වෛද්‍ය ගාමිණී මද්දුමගේ ~

 

පිලේ ගොම මැටි උළා ළිප ළඟ
කැවුමෙ කොණ්ඩය තබමිනා....

නොනගතේ වෙහෙරට ගොසින් මල්
තබා පහනක් දල්වනා....

දහසකුත් වැඩ තනිව කරමින්
කුමරි අවුරුදු ගෙට ගෙනා....

ලෝකයට මා ගෙනා අම්මා
ලොවෙත් නැති බව සිහි වුණා....


හදා කිරිබත උයා අතිරස
නැවුම් රෙද්දෙන් හැඩවෙනා....

මවට බිරියට කෝණ මඟුලෙදි
ඉබේ මුල්තැන හිමිවුණා....

වඩමවන්නට අග්නි දෙවිඳුන්
සිටිය යුතු මුත් නැකතිනා....

පොලිස් ළඳ රෝහලේ හෙදියට
ඉන්න ළිප ළඟ බැරිවුණා....


කාසියෙන් මිල නියම වෙන තැන
ජීවිතේ ළඟ පැරදෙනා....

ළඳක් වීදියෙ අලෙවිකළ ගත
විටදි ලෝකය නිදියනා....

සිටිය මුත් ගෙය හිරුට ඉඩ දී
මීනයෙන් මේසෙට යනා....

නැකත් කුමටද එවුන් ඇවිදින්
කලෙත් ගනුදෙනු රහසිනා....


සිපිරිගෙට ගිය හේන්පිටිවල
දා හෙළන ළඳ නොදකිනා....

රෙද්ද හැට්ටය ගවුම ඔසරිය
ඇඳන් තාලෙට පාවෙනා ....

මීඩියාවල රඟන ලලනා
රබන් ඔංචිලි බලමිනා....

සැබෑ අවුරුදු කුමරි කොයිදැයි
කියා මගෙ සිත වැළපුණා....



වෛද්‍ය නිලධාරී
බන්ධනාගාර වෛද්‍ය ඒකකය
බදුල්ල
 

Week of මැයි 1, 2024