Fashion ලෝකෙ පිනුම් ගහන Expire නොවෙන ඩෙනිම්

ජනවාරි 8, 2024

මේ වෙනකොට ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව පොදුවේ භාවිතයක් විදිහට ගන්න පුළුවන් ඇඟලුමක් තමයි ඩෙනිම් කියන්නෙ. අපි, අපේ දෙයක් වගේ මේ වෙනකොට ඩෙනිම් ඇඳගෙන හිටියාට, නොයෙක් අයුරින් විලාසිතා එක්කරගත්ත, ඩෙනිමේ උපත සිද්ධ වෙන්නේ අපිට සැතපුම් දහස් ගණනක් එහායින් තියෙන අමෙරිකා එක්සත් ජනපදයේ.

මේ කතා කරන කාලේ ලැටියාවේ ඉඳලා අමෙරිකාවට සේන්දු වුණු යාකොබ් ඩේිවිස් කියන යුදෙව් ජාතික ඇඳුම් මසන්නා අලුත්ම විදිහේ වෙනස් වැඩක් කරන්න පටන් ගත්තා. ඔහු තමන්ගේ ඇඳුම් මහන ව්‍යාපාරය පවත්වාගෙන ගියේ පතල් කර්මාන්තය වැඩි වශයෙන් තියෙන පළාතක. ඉතින් ඔහු කරපු වෙනස්ම වැඩේ තමයි නිතර නිතර අබල දුබලවන පතල් කම්කරුවන්ගේ කලිසම්වලට පැලැස්තර දානවා වෙනුවට ඒ ඉරීගිය ස්ථානවලට විවිධ අයුරින් බොත්තම් අල්ලමින් විලාසිතාවක් නිර්මාණය කරපු එක. මෙන්න මේක පතල් කම්කරුවන්ගේ හිතට අල්ලලම යන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලය වුණේ යාකොබ් ඩේවිස්ගේ මේ විලාසිතාව, අලුත්ම කලිසම ඔවුන් අතර ජනප්‍රියත්වයට පත්වීමයි. කොහොම වුණත් මේ කලිසම් මහන රෙදි වර්ගය 19 වැනි සියවසේදී ප්‍රංශයේ රුවල් නැව්වලට භාවිත කළ බව තමයි කියවෙන්නෙ. ප්‍රංශයේ නාවිකයන් ඩෙනිම් කලිසම් භාවිත කළත් අපි මේ කතා කරන ඩෙනිම් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ ලෙවී ස්ට්‍රවුස් කියන තරුණ ව්‍යාපාරිකයා නිසා. ඔහු තමන්ගේම කියලා ව්‍යාපාරයක් සැන්ෆ්‍රැන්සිස්කෝවල ආරම්භ කළේ 1853 දී විතර.

මේ කාලෙදීම යාකොබ්ට තමන් හඳුන්වල දුන්න නවතම විලාසිතාවේ කලිසමට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ අවශ්‍යතාවය ඇතිවුණා. ඔහු මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම කතා කළේ ලෙවී ස්ටුවුස් කියන තරුණ ව්‍යාපාරිකයාට. එකට හේතු දෙකක් තිබුණා. එකක් තමයි ඔහුගේ ආර්ථික තත්ත්වය දුර්වල වීම. අනෙක තමන්ට ඩෙනිම් රෙදි ලබාදෙන්නෙ ලෙවී ස්ටුවුස් වීම. කොහොමින් හෝ මේ දෙන්නා එකතු වෙලා 1873 මැයි 20 වැනිදා අමෙරිකානු පේටන්ට් බලපත්‍ර දෙකකින් තමන්ගේ අයිතිය තහවුරු කරගන්න කටයුතු කළා. මේක තමයි ඩෙනිමේ Turning Point එක විදිහට සලකන්න පුළුවන් වෙන්නෙ. එතැන් සිට කරළිය වෙනස් කරන්නට යාකොබ් සූදානම් වුණේ ‘Levis' නාමය සමඟින් නව ඩෙනිම් කලිසමක් නිර්මාණය කිරීමත් සමඟයි. මේ කාලයේ නිර්මාණය වුණ ඩෙනිමට නව පැහැයක් ලබාදීමේ අරමුණින් ඔවුන් ‘ඉන්ඩිගෝ‘ වර්ණය යොදා ගනිමින් කලිසම් වර්ණ කිරීමේ කටයුත්ත ද ආරම්භ කළේ ඒ සඳහා ලැබෙන වැඩි ඉල්ලුමත් සමඟින්. මේ විදිහට Levis හි ජනප්‍රියත්වයත් සමඟ කාලය ඉදිරියට ගලාගෙන යනකොට 1890 කාලෙදි විතර යාකොබ් තවත් වෙනසක් කරන්නට පටන් ගත්තා. ඒක තමයි Levis 501 වෙළෙඳපොළට හඳුන්වා දෙන එක. දෙවැනි වරත් ඔහුගේ වෙනස් කිරීම් සාර්ථක වෙන්න පටන් ගත්තේ අශ්වයින් දෙදෙනෙකුගේ ලේබලයත් සමඟින්. ‍ඩෙනිම් විකාශනයේ තෙවැනි අදියර විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ 1900 දශකයේ ආරම්භයයි. ආරම්භයේදී පතල් කම්කරුවන් වෙනුවෙන් නිර්මාණය වුණු ඩෙනිම් කලිසමට වෙනම හැඩයකින් යුත් පිටුපස සාක්කු එක් වූයේ 1901 වසරේදී පමණයි. කොහොම වුණත් ඩෙනිම් කලිසම තාරුණ්‍ය අතර පිස්සුවක් වෙන්න පටන් ගත්තේ 1950 දශකයේදී විතර. ඒ වෙනකොට ඩෙනිමේ උත්පත්තිය සිද්ධ වෙලා වසර ගණනාවක්ම ගෙවී ගිහින් අවසන්. වර්තමානයේදී, තරුණියන් අතර වඩාත් පහසුම විලාසිතාවක් විදිහට ගැනිය හැක්කේ ඩෙනිමයි. පාරේ බැහැල යන ඕනෙ කෙනෙක්ට දකින්නට තියෙන කාරණාවක් තමයි ඒක.

1850 ගණන්වලදී Elizabeth Smith Miller කියන කාන්තාව First Woman to Wear Jeans ලෙසින් හඳුන්වා දුන්නත්, 1934 අවුරුද්ද කියන්නේ තවත් වැදගත්ම හැරවුම් ලක්ෂ්‍යක්. මෙන්න මේ සඳහන් කාලයේදී Levis Stranss & Company කාන්තා විලාසිතා ගමන්මඟ වෙනස් කිරීමේ තීරණයකට එනවා. ඔවුන් කාන්තාවන් වෙනුවෙන් පළමු ඩෙනිම ලෙවී ආර්යාවට නිර්මාණය කළේ මේ නිසායි. Lady Levis Jeans

වසර 90කට පෙර නිර්මාණය කළ ඔවුන් කාන්තා ඩෙනිම්වලින් ඉලක්ක කරනු ලැබුවේ ගොවිපළවල සේවය කරන කාන්තාවන් සහ නිවාඩු සුව විඳීමට අශ්වයින් බැලීමට එන කාන්තාවන්ය. මේ සමඟම නිව්යෝක්හි තෝරාගත් වෙළෙඳ සැල් හි කාන්තා ජින්ස් අලෙවි කරන්න පටන් ගත්තා. මෙතැන් සිට එය කාන්තාවන් අතර ද ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වුණා. කොයිහැටි වෙතත් ඩෙනිම්, විලාසිතාවක් ලෙසින් සහ උන්මාදයක්වන තරමට ලෝකයේ ජනප්‍රිය වීම ආරම්භ වූයේ 1970 දශකයේදීය.

ලෝකයේ මුල් කාලයේ බිහි වූ ඩෙනිම් කලිසමේ ආකෘතියටම යම් යම් කුඩා වෙනස් වීම් සමඟ පුරුෂ පාර්ශ්ව විලාසිතාවන් පැවතියේ ද කාන්තාවන්ගේ විලාසිතා පරාසය මේ වෙනකොට වඩා පුළුල් වෙලා තියෙනවා. ඩෙනිම් සඳහා මේ වනවිට වාරණයන් බොහෝ සෙයින් තියෙනවා. කාන්තා ඩෙනිම් විලාසිතාව හොලිවුඩය පුරා ජනප්‍රිය වීමට එක් වැදගත් සාධකයක් ලෙසින්, විදේශීය සඟරාවන්හි දැක්වෙන්නේ මැරලින් මාන්රෝ, ඩෙනිම් විලාසිතාවන්ගෙන් සැරසී සිිටීම කාන්තාවන් ඒ දෙසට යොමුකිරීමට තරම් ප්‍රබල සාධකයක් වුණා කියලයි. කොහොම වුණත් අවුරුදු සියයකටත් වඩා ඉතිහාසයක් තියෙන ඩෙනිමට මේ වනතුරු අභියෝගයක් එල්ල කරන්න පුළුවන් තරම් කිසිවක් බිහිවෙලා නෑ. ඒ වගේම තවත් කාලාන්තරයක් යන තුරු ඩෙනිම මේ විදිහටම විලාසිතා ලෝකය තුළ සැරිසරන බව නම් හොඳාකාරවම පෙනෙන්නට තියෙන කාරණාවක්.