මුල් පිටුව

ඔක්තෝබර් 3, 2022

කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛිකා සෝමා ටී. පෙරේරා

 

ප්‍රවීණ ලේඛිකාවක, මාධ්‍යවේදිනියක වූ සෝමා ටී. පෙරේරා කියන්නේ 90 දශකයේ අතිශයින් ජනප්‍රිය නවකතා රචිකාවක්. සිය ආදරණීය සැමියා, දූ දරුවන් සහ මුනුපුරු, මිනිබිරියන් පිරිවරාගෙන ජීවිතයේ සැඳෑසමය හරි අපූරුවට රසවිඳිනා ඇය ලේඛන කලාවට නම් තවමත් සක්‍රීයයි. මෙවර තරුණී කවරය හැඩ කරන්නට අපි ඇයටත් ඇගේ ආදරණීය සැමියාටත් ආරාධනා කළෙමු.

 

ජනප්‍රිය නවකතා ලියන්නියක් වාගේම මාධ්‍යවේදිනියක් විදිහට බොහොම කාර්යබහුල ජීවන රටාවකට හුරු වුණු ඔබ දැන් තරමක විවේක සුවයෙන් පසුවෙනවා වාගෙයි. "දැන් ඉතින් අපේ වයසත් එක්ක විවේක ගන්න ඕනෙනේ. මේ දවස්වල මමයි, මහත්තයයි දෙන්නම චුට්ටක් අසනීපයෙන්. දන්නෙ නැද්ද පුංචි පුංචි අසනීප මතුවෙන කාලෙනේ මේ. හැබැයි මම ලියන කියන වැඩ නවත්තලා නෑ. මේ දවස්වලත් ‘ගිනි පාවඩ’ කියලා පොතක් ලියාගෙන යනවා.

 

ඔබ නවකතා බොහොමයක අයිතිකාරියක්. ඉතින් ඒ අතීතය පොඩ්ඩක් මතක් කරමු.

" මම පාසල් කාලේ ඉඳන්ම විවිධ දේ ලියන්න කැමැති කෙනෙක්. හැබැයි විවාහ වෙනකම් නම් ඒ පැත්තට යොමු වුණේ නෑ. මගේ මහත්තයාගේ නිවෙස තිබුණේ විශාල වත්තක් මැද. ඔහු පවුලේ එකම දරුවා. ඉතින් පාළුව, කාන්සිය දුරු කරගන්න මම ලියන්න පෙළඹුණා. ඊටත් පස්සෙ තමයි පත්තරවලට සම්බන්ධ වුණේ. මේ වෙනකොට පොත් සියයකට ආසන්න ප්‍රමාණයක් ලියලා තියෙනවා."

 

පසුගිය වසරේ ඔබ සම්මානයට පාත්‍ර වුණා.

" ඔව්. 36 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානයක් හිමි කරගන්නට මම වාසනාවන්ත වුණා.

 

අපි ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් කතා කරමු.

මගේ මහත්තයා M.A.S. පෙරේරා. ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි සේවය කළේ. දැන් විශ්‍රාමිකයි. මගේ ලේඛන කලාවට පුදුමාකාර විදිහට උදව් කරනවා. විශේෂයෙන්ම පරිවර්තන කෘති සඳහා ඔහුගෙන් ලැබෙන සහයෝගය අපමණයි.

 

එතකොට ඔබේ දියණිය සහ පුතා

මගේ පුතා නිශාන්ත. දියණිය ගයානි. ඒ දෙන්නම පත්තර කලාවට යොමු වුණේ නෑ. පුතා සෞඛ්‍ය සේවයේ. එයාගේ බිරියත් හෙද නිලධාරියක්. එයාලට පුතාල දෙන්නෙක් සහ දියණියක් සිටිනවා. මගේ දුව ගයානි රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය විවාහ වුණේ ව්‍යාපාරිකයකු සමඟ. ඔවුන්ටත් දියණියක් ඉන්නවා. දැන් ඉතින් අපි දෙන්නා සීයා සහ ආච්චි වෙලා දරු මුනුපුරන්ගේ ආදරය මැද සතුටින් ජීවත් වෙනවා.

 


චම්පා වරුසප්පෙරුම