ජීවිතය දිනන මඟට පිවිසෙන්න

පෙබරවාරි 13, 2019

දිනූ ඔහු මෙලෙස කියයි

ලස්සන ජීවිතයක් කියන්නේ ඇත්තටම සාර්ථක ජීවිතයක් කියන එකයි. ආදරණීය ඔබත් ලස්සන ජීවිතයකට අපමණ සිහින මවනවා. ආදරය දිනන්න. ව්‍යාපාරයක් කරන්න. ගෙයක් හදන්න. විවාහ වෙන්න. වාහනයක් ගන්න. මිල මුදල්වලින් පොහොසත්වන්න.

මේ විදිහට සිහින මවන ඔබ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්නට කැමැති නම් ලොව අංක එකේ පොහොසතා බිල් ගේට්ස් මේ කියන්නේ ඔබටමයි. ඔහු කියන දේ පැහැදිලිව තේරුම්ගෙන ඔබත් ජීවිතය දිනවන්නට කැපවෙන්න. ඒ වෙනුවෙන් වෙහෙසෙන්න.

ජීවිතයේ හොඳම පාසල විශ්වවිද්‍යාලය හෝ විද්‍යාලය නොවේ

ඔබ කොයිතරම් පොත පත කියවලා තියෙනවා ද කියන එක වැදගත් නැහැ. ඔබ කොයි තරම් විභාග පාස් කරලා තියෙනවා ද කියන එක වැදගත් නැහැ. වැදගත් වන්නේ ඔබ සැබෑ ලෝකයේ ජීවත් වන්නට කොයිතරම් දැනුවත් ද කියන එකයි. සැබෑ ලෝකයේ රැකියා සහ ලොක්කන් ඔබේ ජීවිතයට නිකම්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබ ඒවායින් ඉගෙන ගන්නවා. ඒවගේම ලොක්කන් සහ රැකියාත් ඔබට උගන්වනවා. සැබෑ ලෝකයේ ඔබ කියන කරන දේවල් ඔබේ රැකියාව ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඔබට යථාර්ථයට එහෙමත් නැත්නම් සැබෑ ලෝකයට මුහුණ දෙන්න බැරි නම් ඔබට ජීවිතයේ සාර්ථකත්වය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ඔබ හිතනවා නම් ඔබේ ලොක්කා රළුයි කියලා එහෙම නම් ඔබ ලොක්කෙක් වෙනකම් සිටින්න. ඔහුට තවත් වැඩි කාලයක් නැතිබවත් මතක තබාගන්න. ජීවිතයේ හොඳම පාසල වන්නේ ඔබ අත්දැකීමෙන් ලබාගන්නා දේවල්. එයින් ඔබට අසීමිත දැනුමක් මේ ලෝකයේ ජීවත් වෙන්න ඕනේ විදිහ ගැන ලබාගන්න පුළුවන්.

රූපවාහිනිය කියන්නේ සැබෑ ජීවිතය නොවේ

අද අපේ රටේ බොහොමයක් දෙනෙක් රූපවාහිනියට ඇබ්බැහි වෙලා. ටීවී එකේ යන බොහොමයක් ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදිය බලලා ඒවා තමන්ගේ ජීවිතයට ආද්ශ කරගන්න හුඟාක් අය උත්සාහ කරනවා. කන බොන විදිහ, අඳින පලඳින විදිහ, කතාබහ කරන විදිහ, ආදරේ කරන විදිහ වගේ හැම දේකටම තමන් දකින දේ ආදර්ශයට ගන්න පෙලඹිලා. ඒත් ඇත්ත තත්ත්වය වන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ටීවී එකේ පෙන්වන්නේ මවා පෑමක්. ඔබ ඒ මවාපෑමට හසුවෙන්න එපා. ඇත්ත ජීවිතය ඊට සපුරාම වෙනස්. ඔබ දකින සමනල ලෝකයට වඩා ඇත්ත ලෝකය වෙනස්. ඒ නිසා සාර්ථක වෙන්න හිතන අය තම ජීවිතය රූපවාහිනිය ට කැප කරන්නේත් නැත. එහි පෙන්වන දේවල් ජීවිතයට ආදේශ කරගන්න හිතන්නේත් නැත. ඒ අය කොෆි ෂොප්වල යහළුවන් සමඟ කතාකරමින් විමෝදයෙන් කාලය ගෙවන්නේ ද නැත. අහල පහළ ගැහැනුන් සමඟ ඕපදූප කියන්න යන්නේ ද නැත. තමන්ගේ මුල්‍ය තත්ත්වය ඉහළ දමා ගැනීමට අවශ්‍ය කටයුතු කරයි. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරයි. රැකියාවට යයි. රැකියාව හොඳින් කරයි.

 

2019/02/13 තරුණි බලන්න.