සියලු දෙනාගේම ආදරය අවශ්‍යයි

අගෝස්තු 15, 2022

තෝරාගත් පුංචි සුරතලා ඇයි ඔබ නිවෙසේ ඇති කරන්නේ? එයා ඔබේ නිවෙසට ගැළපෙනවා ද? PET CARE විශේෂාංගයෙන් අපි අද ඒ ගැන කතා කරමු.

 

අපේ ජනප්‍රියතම සුරතල් වර්ගය " බල්ලා" එසේත් නැතිනම් සුනඛයා. කොහොමද මෙයාව අපේ නිවෙසේ ඇති දැඩි කරගන්න තෝරා ගන්නේ? එසේ තෝරා ගැනීමට මොන වගේ කරුණු ගැන ද සැලකිලිමත් විය යුත්තේ. මේ ඒ පිළිබඳ කතාබහකි.

 

අවශ්‍යතාවය කුමක්ද?

ඉතිං ඔබ පුංචි සුරතල් බලු පැටියකු තෝරා ගැනීමේ දී ප්‍රධාන වශයෙන්ම සිතිය යුත්තේ ඔබේ අවශ්‍යතාව කුමක්ද කියලායි. සමහරු සුරතලය සඳහාම බලු පැටියකු තෝරා ගන්නවා. තව කෙනෙක්ට අවශ්‍යයි ආරක්ෂාවට සුනඛයකු ( Gard dog) නිවෙසට ගෙන ඒමට. එහෙත් තව කෙනෙක්ට අවශ්‍ය වෙනවා සුරතලයට වගේම ආරක්ෂාව වෙනුවෙන් ද බලු පැටවකු ඇති දැඩි කරන්න. එතැනදී ඔබ බොහොම කල්පනාකාරී තෝරා ගැනීමක් කළ යුතුයි. එනම් සුරතල් සුනඛයකු (Pet dog) ගෙන් කවදාවත්ම නිවෙසට ආරක්ෂාව (Gard dog) සපයන සුනඛයකුගෙන් සිදුවන කාර්යය සපයා ගත නො හැකියි.

Labrador dog සුනඛ වර්ගය අද කාලේ ජනප්‍රිය වර්ගයක්. එහෙත් මෙයාලගෙන් නිවෙසට ආරක්ෂාව ලැබෙයි කියලා නම් විශ්වාසය කරන්නට බැහැ. මොවුන් හරිම බුද්ධිමත්. එබැවින් නිවෙසේ ඉන්න පුංචි ළමයි සමඟ ඕනෑම වෙලාවක තනිව වුව තබන්නට හැකියි. කිසිදු ගැටලුවක් පැන නගින්නේ නැහැ.

ඔබ ආරක්ෂාව වෙනුවෙන් සුනඛයකු නිවෙසට ගෙන එනවා නම් රොක් වයලට් (Rottweiler) සුනඛයා කදිමයි. ඔවුන් බොහොම සැර පරුෂ අය ලෙසයි අපි හඳුනාගෙන තිබෙන්නේ. ලංකාවේ බහුල ලෙසින් භාවිත කරන්නේ මේ සුනඛයන්ය. ඔබට පැය 24 පුරාවටම හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා.

 

ඉඩකඩ කොහොමද?

ඒත් සමඟින්ම සුරතලකු ඇති දැඩි කිරීමේ දී ඔවුන් වෙනුවෙන් වෙන් කළ යුතු ඉඩකඩ ප්‍රමාණය පිළිබඳත් බොහොම සැලකිලිමත් වන්නට ඕ‍නෙ.

ඔබේ නිවෙසේ ඉඩකඩ සැලකිය යුතු ප්‍රමාණයක් නැතිනම් තරමක් ලොකු වන සුනඛයකු ඇති දැඩි කිරීමට ගැනීම එතරම් සාර්ථක නැත. උදාහරණයක් ලෙස ගේඩිං සුනඛයා (Gaddi kutta dog) හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේ සුනඛයකු පෝෂණය කරන්න ඔබට හොඳ ආර්ථික තත්ත්වයක් තිබිය යුතුයි. ඒ වගේ ඉඩමේ ඉඩකඩ ප්‍රමාණය ද වැඩිපුර තිබිය යුතුය.

 

කාලය

සමහර සුනඛයෝ ඉන්නවා ඔබේ අවධානය ඔවුන්ට වැඩිපුර ලබා දිය යුතු වනවා. එවැනි කෙනෙක් ඇති කරනවා නම් ඔවුන් වෙනුවෙන් නිවෙසේ කෙනකු වෙන් වී සිටිය යුතුයි. ටෙරියර් සුනඛයා (Terrier dog) එවැන්නෙකි. ඔවුන් ස්වාභාවිකවම බොහොම ලස්සන සමක් ඇතිව වැඩෙන සුනඛ විශේෂයකි. එවැනි සුනඛයකු ඇති දැඩි කරනවා නම් දවසේ වැඩි ප්‍රමාණයක් ඔවුන් සමඟ කාලය ගත කළ යුතුයි. නිවැරැදිව නෑවීම, පනාවකින් පීරීම, මැක්කෝ වැනි පරපෝෂිතයන් ඇති වීම වළකා ගැනීමට කටයුතු කළ යුතුයි. එවැනි දේවල් ඔබට කළ හැකි නම් පමණි, මේ වර්ගයේ සුනඛයකු තෝරාගත යුත්තේ.

 

ආර්ථිකයට ගැළපෙනවාද?

පෙර කී පරිදිම සුනඛයාගේ ශරීරයේ ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. නිශ්චිත ඉඩ ප්‍රමාණයක් ඔවුන්ට වැය කළ හැකි නම් පමණක් එවැනි සුනඛයකු නිවෙසට ගෙන ආවාට ගැටලුවක් නැත. මේ අය වැඩෙන්නට වැඩෙන්නට පෝෂණ අවශ්‍යතා වෙනස් වෙනවා. ඇතැම් සුනඛයන්ට කැල්සියම් ලබා දෙන්නට අවශ්‍යයි. එබැවින් ඔබේ ආර්ථිකයට ඔබ ගෙන එන සුනඛයා ගැළපෙනවාදැයි සිතන්න. තවත් වැදගත් කරුණක් වන්නේ ඔබේ නිවෙසේ සෙසු සාමාජිකයන් ගෙන ආ සුනඛයාට රුචිකත්වය දක්වන ආකාරයයි. නිවෙසේ සියලුදෙනාම එක හා සමානව ඔහුට රුචිකත්වය, ආදරය දක්වන්නේ නම් පමණක් නිවෙසට සුනඛ සුරතලා රැගෙන ඒමට කටයුතු කරන්න. නැතිනම් එය එම සතාට කරන මහත් අසාධාරණයක්.

සුරතලාට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඔබේ ආර්ථිකයට ගැළපෙන ලෙසින් ආහාර, නඩත්තුව, විටමින් සහ ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම වගේ කරුණු කාරණා ගැනත් කිහිපවරක්ම සිතා බලා සුරතලාව නිවෙසට කැඳවාගෙන ඒමට සිතට ගන්න කියන එක යළිත් සිහිගැන්විය යුතුයි.

මේ ලෙසින් ඉදිරි වසර 10 -15ත් අතර කාලයක් හොඳින් ආදරයෙන් රැකබලා ගත හැකි නම් පමණක් සුරතල් සතකු නිවෙසට කැන්දාගෙන ආවාට වරදක් නැත.

 

 

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital