හිතපු හදිසියට විසඳුම නැහැ නඩුව ප්‍රමාදයි

එහෙනම් මේ කරුණු දැනගන්න
සැප්තැම්බර් 5, 2022

 

ආදරණීය විවාහයක් විවිධ ප්‍රශ්න, ගැටලු මත දික්කසාදයකින් අවසන් වීම ශෝචනීය කරුණකි. දික්කසාදය සම්බන්ධයෙන් බොහෝ පිරිසකට ඇති ගැටලු ද බොහෝමයි. අද අපි ඔබව දැනුවත් කරනුයේ දික්කසාදය සම්බන්ධයෙන් වන සරල ගැටලු කිහිපයකි.

 

දික්කසාද නඩුවක් මෙතරම් කල් යන්නේ ඇයි?

 

එක් එක් දික්කසාද නඩුවල ස්වභාවය අනුව එය අවසන් වීමට ගතවන කාලය තීරණය වේ. දික්කසාදයක දී එක් පාර්ශ්වයක් වන්දියක් ඉල්ලා සිටීමත් අනෙක් පාර්ශ්වය එය ලබාදීමට අකැමැති වන්නේ නම් මේ දෙපාර්ශවය එකඟතාවකට පත් නොවීම නිසාම නඩුව කල් යෑමට පුළුවනි.

මීට අමතරව දික්කසාදයකට යෑමේ දී එක් පාර්ශ්වයක් ඊට එකඟත්වය පළ නොකර සිටින්නට පුළුවනි. මෙසේ එකඟ නොවූ පාර්ශ්වය ඊට එකඟ වනතුරු ම දික්කසාද නඩුව කල් යෑමට පුළුවනි. දරුවන් සිටී නම් දරුවන්ට නඩත්තු ගෙවීමට සිදුවේ. ඒ සඳහා එකඟ වීම, නො වීම, ඊට කල් ගැනීම යනාදී කරුණු මත දික්කසාද නඩුවක් කල් යෑමට පුළුවනි.

දෙපාර්ශ්වය අතර පූර්ණ එකඟත්වයක් ඇත්නම් දික්කසාද නඩුවක් කල් නොයා ඉක්මනින්ම අවසන් වේවි. වන්දියක් දීමට එක්වරම කැමැති වීමෙන්, වන්දියක් ඉල්ලා නො සිටීමෙන් කල්ගත නොවී දික්කසාද නඩුව අවසන් වේවි.

දික්කසාද නඩුවක් දැමීමට නම් වෛවාහක නඩුවක් තිබිය යුතුයි. එනම් අනාචාරයේ හැසිරීම, ද්වේශ සහගත ලෙස හැරයාම, ලිංගික බෙලහීනතාව යන කාරණා තුනෙන් එක් වරදක් හෝ තිබිය යුතුයි. එවැනි වරදකට පැමිණිල්ලක් දමා නඩුව කතා කරද්දී එම වරද පිළි නො ගෙන සිටී නම් එය විභාග කරන නඩුවක් බවට පත් වේවි. එවිට ද දික්කසාද නඩුවක් කල් යාවි.

 

නඩුව යන අතරතුරේ දී තවත් විවාහයක් කරගත හැකි ද?

 

බොහෝ දෙනකුට ඇති ගැටලුව දික්කසාද නඩුවක් කල් යන නිසා එතෙක් දෙවැනි විවාහයට යම් රැඳවීම් කාලයක් තියන්නට සිදුවීමයි. දික්කසාද නඩුවක් තිබියදී තවත් විවාහයකට යෑමට ඔබට නීතිමය අවසරයක් ලැබෙන්නේ නැහැ. මෙවැනි වාතාවරණයක දී ඔබ යම් විවාහයක් කරගතහොත් එය අවලංගු විවාහයක් වේවි. දික්කසාද නඩුව අවසන් වන තුරු ඉවසා සිටීමට සිදුවේ. ඉන්පසුව ඔබට නෛසෛ නියෝගයක් අතට ලැබෙන තුරු තවත් විවාහයකට යෑමට නීතියෙන් අවසර ලැබෙන්නේ නැත.

 

තමන්ගේ නිවෙස වන්දියක් ලෙස බිරියට දීමට සිදුවේ ද?

 

එය අනිවාර්යය කරුණක් නොවේ. නමුත් බිරිය රැකියාවක් නො කරයි නම් දරුවන් සිටී නම් ඒ අවස්ථාවේ වන්දි නො ගෙවා සිටීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. ඔබේ වත්කමට හා ආදායමට අනුකූලව යම් වන්දියක් ගෙවීමට සිදුවේ. රැකියාවෙන් උපයන මුදල, වෙනත් ආදායම් මාර්ගවලින් ලැබෙන මුදල් සලකා බලා එය වාර්ෂික ආදායමක් ලෙස ගණනය කර ඉන් පහෙන් එකක් ගෙවීමට සිදුවේ. මෙහිදී සාධාරණ වන්දියක් යෝජනා කරන්නට පුළුවන් වේ. යම් නිශ්චිත මුදලක්, වෙනත් ඉඩමක්, ඔබේ නිවෙසම හෝ දීමට පුළුවනි. එය ඔබේ කැමැත්තෙන් සිදු වන්නකි. බලෙන් ලබා ගන්නට නො හැකියි.

සැමියා හෝ බිරිය අනාචාරයේ හැසිරෙන අයෙක් ලෙස ඔප්පු වුවහොත් ඉහත පරිදි වන්දි ගෙවීමට අවශ්‍ය නොවේවි. ඔබ වන්දියෙන් නිදහස් වේවි.

 

කාලයක් වෙන් ව සිටීමෙන් දික්කසාදය ඉබේම සිදුවේ ද?

 

කොහෙත්ම නැත. ඔබ දෙදෙනා වසර තුන හතරක්, පහ හයක්, දහයක් පහළොවක් වුව වෙන් ව සිටියත් පලක් නැහැ, ඔබ සිටින්නේ තවමත් වලංගු විවාහයක යි. දික්කසාදය සිදුවීමට නම් දික්කසාද නඩුවක් දැමිය යුතුමයි.

 

එකම පුද්ගලයකු දෙවරක් විවාහ කර ගත හැකි ද?

 

අපි හිතමු ඔබේ ෙපම් සබඳතාව සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ප්‍රකාශ වී තිබෙනවා. මේ අතරතුර ඔබ දෙදෙනා නිවෙසට නොදන්වා ම නීත්‍යානුකූලව විවාහ වනවා. පසු කලෙක දී මව්පියන්ගේ විරුද්ධත්වය මඟහැරී ඔබ දෙදෙනාට විවාහ වීමට ඔවුන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. ඔවුන්ගේ හිත් නොරිදවා ම විවාහ වීමට අවශ්‍ය වූවා යැයි සිතමු. මෙහිදී නීතියෙන් එකම කෙනා ම වුවත් වරකට වඩා විවාහ වීමට අවසර දෙන්නේ නැහැ. එහිදී වලංගු වන්නේ ඔබ කළ පළමු විවාහයයි.

 

උපදෙස් : නීතිඥ රනිලා එල්. සේනාධීර