නිතර අප ළඟ ඇති සතුට සොයා ලොව ජය ගන්න

ඔක්තෝබර් 3, 2022

 

අප උදෑසන අවදි වූ තැන සිට නින්දට යන තෙක් ම ඇති වූ සිතුවිලිවල ක්‍රියාකාරීත්වය හොඳදැයි බැලීමට නම් අපට පැහැදිලි මනසක් තිබිය යුතුය. මේ ජීවිතය වාසනාවන්ත වීමට නම් භාවනානුයෝගී ජීවිතයක් ගත කළ යුතුයි.

අද අප ගෙවන්නේ ඉතාමත් දුෂ්කර කාලයකි. වසංගතයක නිමාවත් සමඟ ඇති වී ඇති ආර්ථික අර්බුධය නිසා සෑම දෙනකුම සිටින්නේ මානසික පීඩාවෙනි. ඇතැම් විට අපගේ සිහිය පවා නිසි ලෙස පවත්වා ගැනීමට අපහසු තරම් ය. එහෙත් අපට ජීවිතය හැර යාමට හෝ එකතැන නතර වීමට නොහැකිය. මේ ජීවන ගමන සාර්ථකව ඉදිරියට යා යුතුය.

ඒ සඳහා අපට දහමින් යම් සහනයක් ලබා ගත හැකිය. ලෞකික සැපයක් නැති ජීවිතයකට ලෝකෝත්තර සුවයක් ලැබිය නොහැකිය. මේ සැපයන් දෙකටම මූලික වන්නේ සිතයි. සිතුවිලි නිරන්තරයෙන් වෙනස් වේ. එම සිතුවිලි වලට අනුව මුවින් වචන නිකුත් වේ. එම වචනවලට අනුව ක්‍රියාත්, ක්‍රියාවන්ට අනුව පුරුදුත්, කාලයත් සමඟ එම පුරුද්ද ගතියක් බවට ද පත් වේ. නරක සිතුවිලි ක්‍රියා කරන්නේ ද මේ ආකාරයෙනි.

මෙතෙක් අප පැමිණ ඇත්තේ සසර ගමනකි. අවසානයේ දී එන ගතිය නිසා වන ඵලය අද අප විඳින ජීවතයයි. බුදු දහමට අනුව ගති දෙකකි. ඒ සුගතිය හා දුගතිය යි. අප මේ ඉන්නේ සුගතියේ ය. දුගතියේ සිටින්නේ ප්‍රේත, සත්ත්ව වැනි කොටස් ය. අප සුගතිගාමී වී සිටින්නේ පෙර භවයන්හි පුරුදු කළ හොඳ පුරුදු නිසයි. අපට ඒ පිළිබඳ සතුටු විය හැකියි.

අප උදෑසන අවදි වූ තැන සිට නින්දට යන තෙක් ම ඇති වූ සිතුවිලිවල ක්‍රියාකාරීත්වය හොඳදැයි බැලීමට නම් අපට පැහැදිලි මනසක් තිබිය යුතුය. මේ ජීවිතය වාසනාවන්ත වීමට නම් භාවනානුයෝගී ජීවිතයක් ගත කළ යුතුයි.

සමථ භාවනා හා විදර්ශනා භාවනා යනුවෙන් භාවනාව කොටස් දෙකකි. ජීවිතයේ යම් යම් ගැටලු නිසා කළකිරුණු පුද්ගලයන් පැවිදි වූ පමණින් විදර්ශනා භාවනාවට යොමු විය නොහැකියි. එය තරමක් අපහසුයි. නමුත් විදර්ශනා භාවනාව හොඳින් කළ හැකි වන්නේ කාන්තා, පිරිමි කවුරුන් වුවත් දහම ගැන අවබෝධයක් ඇතිව පැවිදි දිවියට යොමු වුවහොත් පමණයි.

ගෘහණියක ලෙස සාමාන්‍ය කාන්තාවන්ට වුවත් සමථ භාවනාව වැඩි දියුණු කළ හැකියි. සමථ යනු සමථයකට පත් වීමයි. යහපත් බිරියක වීමේ සමථය, එක් පුරුෂයකු සමඟ මේ ජීවිත කාලය ගෙවීමට දැඩි ආධ්‍යාත්මික සබැඳියාවක් තිබිය යුතුය. මේ සඳහා සැමියාගෙන් යම් බාධාවක් පැමිණියත් නොසැලී සිටීමට සමථය පුරුදු පුහුණු කළ විට හැකියාව ලැබේ.

අපගේ සිත ජීවිතයේ ගැටලු හමුවේ පමණක් නොව, ඇතැම් විට නාට්‍ය, චිත්‍රපට නරඹා, ඇතැම් පොත් කියැවීමෙන් පවා කැළඹීමට හැකිය. නමුත් සමථය පුරුදු කළ අයකුට එවැනි විටෙක හෝ සිත නොකැළඹේ. කඩා වැටුණු ජීවිත බොහෝ දුරට සමථය පුරුදු පුහුණු නොකළ සිත් ය.

රැකියාවට නොයන කාන්තාවක් අලුයම සිට රාති‍්‍රය වනතෙක් සිදු කරන කාර්යයන් රැකියාවකට යන කෙනෙක් කරන කාර්යයන් වලට වඩා වෙනස් වේ. උදෙන්ම අවදි වී නිවෙසේ පිරිපහදු කටයුතුවල සිට නිවෙසේ ඉවුම් පිහුම්, රෙදි සේදීම්, දරුවන්ගේ වැඩ කටයුතු ආදී නොයෙකුත් වැඩ ගොන්නක් එකාකාරීව සිදු කරයි. මේ නිසාම මේ කටයුතු මහත් කරදරකාරී දෙයකැයි විටෙක සිත කලකිරීමට පත් වේ. ඔබත් එලෙසින් සිතන කාන්තාවක් නම් රජ්ජුමාලාගේ කතාව ඔබට ආදර්ශයක් වනු ඇති.

බුදු සමයේ සිටි රජ්ජුමාලා නම් මෙහෙකාර සේවයේ නියුතු කාන්තාව ඉතාමත් දක්ෂ නුවණැති කාන්තාවකි. ඇය, අලුයමින් අවදිව තමා සේවය සපයන නිවෙසේ සියලුම වැඩ කටයුතු අනලස්ව සිදු කළාය. නමුත් කාලයක දී ඇයට තමා සිදු කරන වැඩ ගැන එකාකාරී බවක්, එපා වීමක් සිදු විය. මේ නිසා ඇය අතින් වැඩ අතපසු වීම් මෙන්ම සිදු කළ වැඩවල අඩුපාඩු සිදු විය. මේ නිසා නිවැසි හාම්පුතුන්ගෙන් නිතර බැණුම් අසන්නටත් කල් යාමේ දී ඇයට තිබූ දිගු කෙස් වැටියෙන් අල්ලා පහර දීමටත් විය.

මින් බේරීමට ඇය, තමාගේ අලංකාර කෙස් කළබ කපා දැම්මා ය. නමුත් ඉන් නොනවතුණ නිවෙස් හිමියන් ඇයගේ කරට රැහැනකින් කළ මාලයක් දමා ඉන් අල්ලා ඇයට පහර දෙන්නට විය. ඇගේ ගෙලෙහි වූ රැහැන නිසා අසල්වාසීන් ඇයට රජ්ජුමාලා ලෙස ඇමතීය. මේ සියලු වද හිංසා දරාගත නොහැකි වූ රජ්ජුමාලා දිනක් සිය දිවි හානි කරගැනීමට තීරණය කළා.

මෙහිදී අප සිතට ගත යුතු තවත් දෙයක් වන්නේ සිය දිවි නසා ගන්නා පුද්ගලයන් නරක, නපුරු පුද්ගලයන් නොවන බවයි. ඔවුන් බොහෝ විට අහිංසක පුද්ගලයන් ය. සියදිවි හානිකර ගැනීමේ සිතිවිල්ල එක්වරම සිතට පැමිණෙන්නක් නොවේ. එය කාලයක් විවිධ හේතූන් නිසා එක්වන අසුබදායක සිතුවිලිවල උච්චතම අවස්ථාවයි. මෙසේ සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඔවුනට ඇති වන්නේ ජීවිතය පිළිබඳ නිවැරැදි දැක්මක් නොමැති බව නිසයි. සමථයකට සිත පුරුදු පුහුණු කළ අයකුට කිසි දිනෙක තම ජීවිතයට හානියක් කරගැනීමට නොසිතේ.

රජ්ජුමාලාව පින් ඇති තැනැත්තියක්. ඇයට තම ජීවිතය නැතිකර ගැනීමේ සිතුවිල්ල ඇති වූ දිනයේ බුදු හිමියන් උදෑසන තමා පිහිට විය යුතු කාටදැයි නුවණින් විමසා බැලීමේ දී රජ්ජුමාලාව දැක ඇයට පිහිට වීමට වැඩම කළහ. එවිට ඇය තම දුක බුදු රජාණන් වහන්සේට පැවසීය. ඇයට මේ කරදරය සිදු වී ඇත්තේ ධර්මානුකූලව සිත සමථයකට පත්කර ගැනීමට නොහැකි වීම නිසා බව දුටු බුදු හිමියන් ඇයට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළහ.

'සසර ගමන සැපවත් කරන පින්කමක් වන්නේ දානයයි. මින් ඉදිරියට ඔබට දිනපතාම දන් දීම සිදු කළ හැකියි. ඔබ නිවෙසේ ආහාර සකසන විට මෙය මා විසින් සකස් කරන දානයක් බව සිතන්න. එවිට එම ආහාරයේ රසවත් බව ද වැඩි වේ. එය සකසන ඔබේ සිතට ද සතුටක් දැනෙයි.

නිවෙස පිරිසුදු කරන විට දී භාවනාමය සිතුවිල්ලකින් එම කටයුත්ත සිදු කරන්න. මගේ සිතට එන වෛරය, කෝපය, කලකිරීම වැනි නරක සිතුවිලිවලින් කිළුටු වන සිත ද මේ කුණු, දූවිලිවලින් අපිරිසුදු වී ඇති ගෙබිම මෙන් මම පිරිසුදු කරනවා යැයි සිතන්න. ඇඳුම් පිරිසුදු කරන කරන විටදී පවා සිතට එන සියලු අපිරිසුදු සිතුවිලි අතුගා දමන්න.'

මේ අනුව රජ්ජුමාලාව තමාගේ සිතුවිලි, සිතන ආකාරය වෙනස්කර ගත් අතර තවත් අයකුගේ සැපය පිණිස තමා යම් කැප කිරීමක් කරන බව සිතා කටයුතු කළාය. තමාගේ නිවැසියන් ගැන තරහක්, වෛරයක් ඇතිකර නොගත් අතර නිතර මෙත්තා, කරුණා, මුදිතා සිතුවිලි ඇතිව කටයුතු කිරීම නිසා ඇගේ සිතුවිලි ඇති වීමේ ක්‍රමවේදය වෙනස් විය. ඇයගේ ක්‍රියාවන් ගැන පැහැදුණු නිවැසියන් රජ්ජුමාලාව දාස භාවයෙන් මුදා දියණී තනතුරේ තැබීය.

නිවෙසේ සිටින සැමියා හෝ බිරිය තමාට නිතර හිතට වද දෙන දෙයක් කිරීමේ දී මෙය ධර්මානුකූලව ගළපා ගැනීමෙන් ඔබේ සිතට සතුට ළඟාකර ගත හැකියි. බුදු රජාණන්වහන්සේ 'සන්තුට්ඨී පරමං ධනං' ලෙස දේශනාකර ඇත්තේ එබැවිනි. නමුත් බොහෝ දෙනා සතුට ධනය යැයි සිතා ධනය සොයයි. නමුත් සතුට සොයන අයට ධනය එතරම් වැදගත් දෙයක් නොවේ. ධනය සොයා යන විට සතුට ගිලිහී යයි. එමනිසා නිතර සතුට සොයන්න. එයට රජ්ජුමාලාව මෙන් සතුටු සිතින් ක්‍රියා කරන්න.

 

උපදෙස්

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී පොල්ගස්ඕවිට සියඹලාගොඩ නෙළුම්විල විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි