දරුවාගේ පැවැත්ම තහවුරු කරන්නේ නිවෙසින් ලැබෙන ආභාසයයි

නොවැම්බර් 26, 2018

නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මීටර් 200 තරග ඉසව්ව ජයග්‍රහණය කළ අමන්දිට අනූජා ටීචර්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්.

උදේ සිටම අව්වේ සිටීමෙන් දැනුණ අධික වෙහෙස නිසාම ඊළඟ තරගය සඳහා ඉදිරිපත් විය යුතු ශිෂ්‍යාවන්ගේ නාමලේඛනය නිවාස නායිකාවට භාර කළ ඇය කූඩාරමට ගියේ සිසිල් බීම වීදුරුවක් පානය කිරීමේ අදිටනිනි.

පුටුවකට බර වී බීම වීදුරුව පානය කරමින් සිටි අනූජාගේ නෙතු එක්වරම දිවගියේ අදහාගත නොහැකි දසුනක් වෙතය. තරගය නිමාවී පැමිණි අමන්දි කූඩාරමෙන් පිටතට වී කිසිම ආවරණයකින් තොරව තම ඇඳුම් මාරුකරමින් සිටියාය. දොනෝදාහක් සිටින පිට්ටනියේ කිසිම ලැජ්ජාවක් නැතිව මෙලෙස ඇඳුම් මාරුකිරීමට හැකිවූයේ කෙලෙසදැයි සිතූ අනූජා ටීචර්ට දෙලොව රත්විය.

“අමන්දී....”යි ඇය වැරෙන් කෑගෑවාය.

“ඇයි ටීචර්” කිසිදු කලබලයක් නැතිවම ඇය ඇසුවාය.

“ඇයි අමන්දී ඔය විදියට එළියේ ඉඳන් ඇඳුම් මාරුකරන්නේ. කී දාහක් බලන් ඉන්නව ද? මේ ඇතුළට වෙලා මාරුකරගන්න” කියමින්ම ඇය ඉවත්ව ගියේ කේන්තියෙනි.

ක්‍රීඩා උත්සවය අවසන්ව සති 2 කට පසුව ඩෙංගු මර්දනය සඳහා පාසලේ ශ්‍රමදානයක් පැවැත්විණි. මාපියන් හා දැරියන් එයට සහභාගී වූ අතර මාපියන්ට පාසලේ එක් කොටසක් ද දැරියන්ට තවත් කොටසක් ද ලෙස බෙදා පිරිසුදු කිරීමේ වගකීම පවරා තිබිණි.

දිනය අවසන් වුවද අමන්දිගේ මව පැමිණියේ නැත. පසුදින අමන්දීගෙන් විමසූ විට ඇයගේ පිළිතුරේද කිසිදු වගකීමක් නොවිණි.

“අම්මට වැඩ වැඩියි ටීචර්”

 

එළැඹෙන දින 2 රජයේ නිවාඩු බැවින් තමාම ගොස් අමන්දිගේ මව මුණගැසී අමන්දිගේ මේ හැසිරීම ගැන දැනුවත් කළ යුතුයැයි අනුජා ටීචර් සිතුවාය. අමන්දි ගුරු ගෞරවය පිරි හොඳ දැරියක් වුවත් ඇගේ යම් යම් හැසිරීම් අනුමත කිරීමේ හැකියාවක් නැත. ඇය අමන්දී ගැන පෙර ගුරුවරුන් තබා තිබූ පෞද්ගලික ලිපි ගොනු ද ගෙන කියවන්නට විය.

එහි ද කිසිදු බරපතළ කාරණාවක් සටහන්ව නොතිබුණි.

පසුදින අමන්දිගේ ගේ සොයාගෙන ගිය අනුජා ටීචර් නිවෙසේ සීනුව නාද කිරීමෙන් දොර විවෘත කර ඉවතට පැමිණියේ කොට කලිසමකින් පමණක් සැරසී සිටි අමන්දිය.

“ආ... ටීචර්, මෙහෙ කොහේද? එන්න ටීචර් ඇතුළට”

කිසිදු ලැජ්ජාවක්, බියක්, චකිතයක් නැතිව පැමිණි ඇය අනූජාගේ දෙපා නැමැද සිටියාය. ඈ තුළ තිබූ ගුරු ගෞරවය ගැන සතුටක් ද නව යොවුන් වියේ එළිපත්තේ සිටින දැරියක් මෙලෙස උඩුකය නිරාවරණය කරගෙන සිටීම ගැන කුකුසක් මෙන්ම දුකක් ද අනූජා ටීචර්ගේ සිතේ එකවරම ඇතිවිය.

“කෝ දුවේ ඔයාගේ අම්මා ඉන්නවද?”

“නෑ ටීචර්, අදත් අම්මට වැඩ. මං විතරයි ඉන්නේ”

“ඉතිං දරුවෝ ඇයි ඔයා උඩට ඇඳුමක් නැතුව ඔහොම ඉන්නේ.

“මං විතරනෙ ටීචර් ගෙදර ඉන්නේ”

“ඉතිං දරුවො ගෙදර කියලා ඔහොම ඉන්න හොඳද? දැන් ඔයා ඇවිත් දොරත් ඇරියා. හදිසියේ වෙන කවුරුහරි වුණානම්”

“මෙහෙට වෙන කවුරුත් එන්නෙ නෑ ටීචර්”

“හරි හරි ගිහින් උඩට ඇඳුමක් දාගෙන එන්නකෝ”

ඉක්මනින්ම ඇය ටීෂර්ට් එකකින් සැරසී පැමිණියාය.

“බලන්න දැන් ඔයාගෙ ලස්සන.

දුවේ ඔයා දැන් 10 වසරේ දරුවෙක්. පොඩි කාලේ වගේ උඩට මොකවත් අඳින්නේ නැතුව ඉන්න හොඳ නෑ. එදා අර දෙනෝදාහක් ඉඳිද්දි ඔයා ඇඳුම් මාරුකරද්දිත් මං කීවේ එහෙම අනිත් අයට පේන විදියට අපි ඇඳුම් මාරුකරන්නෙ නෑ. ඔයාට අම්මා මේව කියලා දීලා නැද්ද?”

“නෑ ටීචර්, අම්මට ඒකට වෙලාවකුත් නැතුව ඇති. අනික අම්ම වුණත් ගෙදර ආපු ගමන් සාරිය ගලවලා සායයි උඩ ඇඳුමයි පිටින් ඔක්කොම ගෙදර වැඩකරලා තමයි ඇඟ සෝදන්නේ”

“ඔයගොල්ලෝ නාන්නේ ළිඳෙන් ද?”

“ඔව් ටීචර්. අර තියෙන්නේ”

ඇය ජනේලය හැර පෙන්වූයේ කිසිදු බාහිර ආවරණයකින් තොර ළිඳකි. වත්ත වටා තිබූ තාප්පය හැර එහි කිසිදු ආවරණයක් නොවීය.

අමන්දිට කුඩා කල සිටම සිය මවගෙන් ආදර්ශයක් ලැබී නැති බවත් මෙලෙස ලැජ්ජාව, බැවින් බය ගැන අත්‍යවශ්‍ය සංකල්ප නොලැබීමට හේතුව දැන් ඇයට වටහා ගත හැකිය.

පියා ගැන විමසීමේ දී අමන්දී කීවේ ඔහු පවුලෙන් ඈත්ව වෙනම ජීවත් වන බවත් මාස 2 කට පමණ සැරයක් ඇයව බලන්නට පැමිණ අවශ්‍ය අඩුපාඩු සොයා බලා යන බවත්ය. ඔහු මව සමඟ කිසිදු සම්බන්ධයක් නැති බවක් ඉන් හැඟවුණි.

දින 2 කට පසු අනූජා ටීචර් අමන්දාගේ මව හමුවී මේ ගැන සාකච්ඡා කළාය.

“අමන්දිගේ අම්මේ, ඔයා මීට වඩා අමන්දි ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් අමන්දි පොඩි දැැරියක් නෙමේ. මවක් විදියට ඔයාගෙ අතින් ලොකු වගකීමක් පැහැර හැරිලා තියෙනවා.

දියණියකට පළමුවෙන්ම ලැජ්ජාව, බය ගැන අවබෝධයක් ලබාදිය යුත්තේ මවයි. අනෙක් කරුණ තමයි මවගේ හැසිරීම, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් වගේම ඇඳුම් පැළදුම් පවා දියණියගේ පැවැත්මට බලපානවා. අමන්දි අද සමාජයේ හැසිරෙන්නේ ඒවා ගැන කිසිදු දැනුවත්බවක් නැතිව“

කරුණු කාරණා අවබෝධ කරදීමෙන් පසුව අමන්දිගේ මව ඇයගේ අඩුපාඩු, වැරැදි ගැන තේරුම් ගත්තාය.

“මගේ මේ අවබෝධයක් නැතිකම තමයි ටීචර්, මගේ පවුල් ජීවිතය බිඳ වැටෙන්නත් හේතුව වෙන්න ඇත්තේ”

“ දැන් ඔයාට තියෙන්නේ ඔයාගෙ සැමියත් එක්ක කතා කරලා පවුල් උපදේශකවරයෙක් වෙත යොමුවෙලා පවුල් ප්‍රශ්නයත් විසඳගෙන, අමන්දිගේ අනාගතය ගැනත් හිතන්නයි”

අමන්දිගේ මව පිටව ගියේ අනූජා ටීචර්ට මුව නොසෑහෙන සේ ස්තුති කරමිනි. යුතුකම්, වගකීම් පිළිබඳ හරිහැටි දැනුමක් තේරුමක් නැතිව ජීවත් වන කාන්තාවන් තව කොතෙක් නම් ඇතිද? ඔවුන් වෙතින් ගිලිහී යන්නේ රටේ අනාගතය බව ඔවුන් කවදා වටහා ගනීද?

පසු සටහන

 

දරුවකු මුල්ම අත්දැකීම්, පුරුදු පුහුණුවීම් ලබන්නේ තම මව හා පියාගෙනි. පුරුදු පසුකලෙක ඉගෙනුමක් වේ. තම මවගෙන්, පියාගෙන් වැරැදි ඉගෙනුම් ලබන දරුවන් පසු කලෙක සමාජය ඉදිරියේ වැරැදිකරුවන් වන අතර තම ජීවිතය හමුවේ පරාජිතයන් ද වේ.

 

ගුරු ජීවිතයේදී ඇසූ පිරූ අත්දැකීම් ඇසුරින් ඔබේ තෙවැනි ඇස දල්වාලනු පිණිස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ හා මැදිරිගිරිය ජාතික පාසලේ හිටපු විද්‍යා ආචාර්ය, ප්‍රවීණ විද්‍යා දේශක හා ලේඛක

වසන්ත විරාජ් මහතාගේ ඉදිරිපත් කිරීමකි.

 

නාමලී ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.