රටම උණුසුම් දරුවන් රැක ගන්නේ කොහොමද?

මාර්තු 4, 2024

 

 මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය විටෙක දරාගත නොහැකි තරම්. විවිධ පාර්ශ්වයන් විවිධ අන්දමින් දැඩි උණුසුම නිසා පීඩා විඳිද්දී පාසල් දරුවන් අසීමිත ලෙස පීඩා විඳියි. අධික උණුසුම් කාලගුණය පාසල් දරුවන්ට අහිතකර බලපෑම් රැසක් එල්ල කරාවි.

 

මවුපියන්, පාසල් බලධාරීන් මෙම උපදෙස් අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය වේ.

* දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස් පිඬු පෙරළීම

අත් පා හා උදරයෙන් මස් පිඬු වේදනාව හා පෙරළීම ඇති විය හැකියි. මේ සඳහා සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම කළ යුතුයි. සෑම විනාඩි 15කටම වරක් වීදුරු භාගය බැගින් බීම වඩාත් සුදුසුයි.

* අධික උෂ්ණත්වය මත ඇතිවන අධික මහන්සිය

මෙහිදී අධික දහඩිය දැමීම, ශරීර අප්‍රාණික බව හා ක්ලාන්තය ඇති වෙයි. එහිදී ද සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී සිසිල් ස්ථානයක විවේක ගැනීම හා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම කළ හැකියි. එසේම ස්නානය, සිසිල් ජලයෙන් ශරීරය තෙත මාත්තු කිරීම කළ යුතුයි.

* ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය

අධික ශරීර උෂ්ණත්වය, නාඩි වේගය වැඩිවීම හා ස්වසන වේගය වැඩිවීම, සිහි මඳ ගතිය, හිසරදය, වලිප්පු තත්ත්වය, සිහිසුන් වීම වැනි ලක්ෂණ දැක ගත හැකියි.

මෙහිදී සිසිල් සෙවණ සහිත ස්ථානයකට ගෙනයාම, ශරීරයට අනවශ්‍ය තද ඇඳුම් ඉවත් කිරීම හෝ බුරුල් කිරීම, සිසිල් ජලයෙන් ශරීරයේ තෙතමාත්තු කිරීම කළ හැකියි. මෙය දැඩි අවදානම් සහිත තත්ත්වයක් බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුයි. මෙවැනි අවස්ථාවකදී 1990 අමතා සුව සැරිය ගිලන් රථ සේවයේ සහාය හෝ නැතහොත් ළඟම රෝහලේ ගිලන් රථය ලබා ගැනීමට ක්‍රියා කරන්න.

පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීම

* අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීම හැකි තරම් වැළැක්විය යුතුය.

* සිසුන් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතුය.

* වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා දරුවන්ට කෙටි විවේක කාල දෙකක් ලබා දීම.

* දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේ දී, අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පිටතට ගෙනයාමෙන් වළක්වා ගැනීම (පාසලේදී මෙන්ම නිවෙසේදී), අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

දරුවන් වැඩි කාලයක් ගත කරනුයේ පාසලේ නිසා ඔවුන්ට පහසුකම් සැලසීමට හැකි අන්දමින් ක්‍රියා කළ යුතුයි.

* අවශ්‍ය තරම් බීමට ජලය සැපයීම හා වැඩිපුර පිරිසුදු ජලය පානය සඳහා සිසුන් යොමු කිරීම හැකි අවස්ථාවලදී සිසිල් ජලය ලබා දීම වඩාත් සුදුසු වේ.

* පාසලේ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා විකල්ප ක්‍රම යෙදිය යුතුයි.

* පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘතව තැබීම හා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම, විදුලි පංකා භාවිත කරන්නේ නම් පිරිසුදු වාතාශ්‍රය ලබා ගැනීම සඳහා දොර ජනෙල් අනිවාර්යයෙන්ම විවෘත කර පැවතිය යුතුයි.

* තට්ටු ගොඩනැඟිලි/ ටකරන් වහල සහිත අධික උෂ්ණත්වය වහල සහිත ගොඩනැඟිලිවල ඇති පන්ති කාමර තාවකාලිකව හෝ වෙනත් ස්ථානයකට මාරු කිරීම සිසුන්ට සහනයක් වේවි.

සිසුන්ගේ පෞද්ගලික පෙර සූදානමද මෙවැනි උණුසුම් කාලගුණය සහිත අවස්ථාවලදී අවශ්‍ය වේවි.

* ටයි පටිය නොපැලඳ සිටීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතුයි.

*බඳ පටි පැලඳීම හැකි තාක් අවම කිරීම

* අධික හිරු එළිය සහිත පරිසරයේදී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කිරීම.

* කළු වර්ණයෙන් යුත් ඇඳුම් පැලඳුම් භාවිත නොකිරීම

* නි‍ෙවසෙන් බැහැරව යනවා නම් ඒ හැම අවස්ථාවකදීම පිරිසුදු වතුර බෝතලයක් රැගෙන යාම

* සාමාන්‍ය දිනවලට වඩා ජලය පානය වැඩි කිරීම. තැඹිලි, කුරුම්බා ජලය වෙනුවට ආදේශක ලෙස භාවිත කළ හැකියි. කිසිදු අවස්ථාවක සීනි අධික පැණි බීම භාවිත නොකළ යුතුයි.

* අධික උෂ්ණත්වය නිසා ඇතිවිය හැකි අහිතකර රෝග ලක්ෂණ ඇත්නම් ගුරුවරයෙකුට හෝ වැඩිහිටියකුට හෝ දැනුම්දීම මඟින් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේවි.

ඉදිරි මාස තුන ඇතුළත ශරීර උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය වැඩිවන හෙයින් දරුවන් මෝටර් රථවල තනිකර දොරගුළු වසා පිටව නොයන්න.

* මේ දිනවල දැඩි උෂ්ණත්වය මෝටර් රථවල අභ්‍යන්තරයට පවා බලපාන හෙයින් ඒ තුළ දරුවන් රඳවා යෑමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකියි.

* සිරුරට අධික වෙහෙසක් ගෙනදෙන අන්දමේ උෂ්ණත්වය හේතුවෙන් දිනකට වැඩිපුර ජලය භාවිත කිරීම වැදගත්වන අතර ස්වාභාවික දියර භාවිතයට ගත යුතුවෙයි.

* කුඩා දරුවන්ට දිනපතා ජලයේ සිටීමට ඉඩහැරීම සුදුසු වේ. ශරීරයට උෂ්ණත්වය වැඩිපුර දැනෙන විට සමේ රෝගද වැඩිවීමට ඉඩ ඇති අතර ජලය පාවිච්චි කිරීම අඩු වීමෙන් මොළයේ ආබාධ ඇතිවිය හැකියි.

 

උපදෙස්:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා