අලුත් අවුරුද්දට විතරක් කොහා එන්නේ ඇයි

අප්‍රේල් 15, 2024

සොබා දහම අපූර්වතම නිර්මාණයකි. මේ අපූර්වතම වූ සොබාදම් දිනිතියගේ සුන්දරත්වය හා මුසු වූ සිංහල, දමිළ අලුත් අවුරුද්ද සමඟ සැබැඳි සංස්කෘතික පසුබිම ඉතාම ගැඹුරුය. එය සම්පූර්ණයෙන්ම සකස් වී ඇත්තේ කාලය හා අවකාශය තුළ පවතින පරිසරය සමඟ ගොඩනැගෙන සමාජ සංස්කෘතියේ සංකේත රාශියක එකතුවක් ලෙසිනි.

මෙය තවත් සරල ලෙස අප විමසුමට ලක් කරන්නේ නම් අලුත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම නිර්මාණය වී ඇත්තේ නිශ්චිත කාල පරාසයක් තුළ සිදුවන ග්‍රහ වස්තූන්ගේ සංක්‍රමණය අපගේ ජීවන රටාව ගොඩනඟා ගැනීම සඳහා ආශීර්වාද ලබා ගැනීමට සිදු කරන වත්පිළිවෙත් සමුදායක් ලෙසිනි. සොබාදහම හා අනුගතව නිර්මාණ වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සංකේතවත් කරන පරිසර සාධක, පරිසරය හා සබැඳි සංකේතාත්මක සංඥා හා සංකේත ගණනාවකින් එය තවත් විචිත්‍රවත් කරයි. මේ අලුත් අවුරුදු සංඥා හා සංකේත පිළිබඳ පුළුල් අධ්‍යනයක හා ගවේෂණයක නියැලෙන පරිසරවේදී ආචාර්ය තිලක් කන්දේගම මහතා අලුත් අවුරුද්දේ සංඥාර්ථවේදී පරිකල්පනය පිළිබඳ ගැඹුරු පර්යේෂණ ගණනාවක් සිදු කළ ප්‍රවීණයකි. ශ්‍රී ලාංකේය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ඇති ඔහු අලුත් අවුරුද්ද සංකේතවත් කරන එරබදු මල් පිරි වසන්තයේ දොරකඩට එන අවුරුදු කෝකිලයා පිළිබඳ පවතින ඓතිහාසික පසුබිම හා පාරිසරික පසුබිම විග්‍රහ කළේ තම ජීවන අත්දැකීම් ද එයට මුසුකර ගනිමිනි.

“අපේ සිංහල, දමිළ අලුත් අවුරුද්ද කියන්නේ සම්පූර්ණයෙන්ම පරිසරය හා සහසම්බන්ධ වෙමින් සිදු කරන සංස්කෘතික මංගල්‍යයක්. මේ අසිරිමත් මංගල්‍යය වඩාත් අලංකාරවත් වන්නේ මුළු රටම එකම වේලාවක සිදු කරනු ලබන චාරිත්‍ර නිසයි. අප සිදු කරන මේ චාරිත්‍ර සියල්ල ගොඩනැගෙන්නේ පරිසරය කේන්ද්‍රකර ගනිමින් සිදුවන ඍතු විපර්යාසයන්ගේ වෙනස්වීම සමඟයි. මේ ඍතු විපර්යාසයන් සමඟ පරිසරයේ වෙනස්වීම් රාශියක් සිදු වෙනවා. ඉර මුදුන් වෙනවා, ගහ කොළ මල්ඵල බරින් පිරීයනවා, කුඹුරු අස්වද්දා අටුකොටු පුරවා ගන්නවා. මේ ආකාරයෙන් සමාජය හා පරිසරය තුළ විශාල පිබිදීමක් හා උනන්දුවක් ජනිත වෙනවා. මේ සිදුවන ක්‍රියාවලියත් මිහිරි කොවුල් නාදය ඇසෙන්න පටන් ගන්නවා. එරබදු මල් පිපෙනවා. මේ සියලු පරිසර සාධකයන් මේ කාලය තුළ අලුත් අවුරුද්ද තිබුණත් නොතිබුණත් සිදුවන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ පරිසර සාධක නිර්මාණය වෙලා තිබෙන්නේ වසරේ ඍතු විපර්යාසය සමඟයි. පසුගිය වසර කිහිපය තුළ අපට කොරෝනා වසංගතය. අලුත් අවුරුදු සමරන්න තරම් හොඳ මානසික පසුබිමක්, නිදහසක් තිබුණේ නැහැ. නමුත් පරිසරය තුළ සිදුවන සංකේතාත්මක වෙනස්කම් සියල්ල සිද්ධ වුණා. කොහා නාද කිරීම වෙනදාටත් වඩා හොඳට ඇසුණා. එරබදු මල් පිපුණා. නමුත් මිනිස්සු තුළ ඒ පරිසර සාධක ගැන ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. මිනිසුන්හට අවුරුදු සැමරීමට වඩා විශාල ගැටලුවක් තිබුණා. ඒ මේ වසංගතයෙන් ගැළවීම. මෙහිදී සිද්ධ වුණේ පරිසරය තුළ සිදුවූ පරිවර්තනයට අනුගත වෙන්න සමාජයට හැකියාවක් තිබුණේ නැහැ. මිනිස්සුන්හට එදා අවුරුදු සැමරීමට වඩා විශාල ගැටලු රාශියක් නිර්මාණය වෙලා තිබුණා.

නමුත් දැන් නැවතත් සමාජය තුළ ඒ සියලු ප්‍රශ්න අමතක වෙලා. අවුරුද්ද කවුරුත් ලක ලැහැස්ති වෙන්නේ හරිම උනන්දුවෙන්. මේ කාලයේදී අවුරුදු ළඟ ළඟම එන බව අපට පරිසරය විසින් සිහි කරන පක්ෂියා තමයි කොහා. මේ කොවුල් නාදය අපට අසන්න දකින්න ලැබෙන්නේ අවුරුදු කාලයේදී පමණයි. පරපුටු කොහා ලෙසින් හඳුන්වන මේ පක්ෂියා අපට මේ කාලයේදී පමණක් දකින්න ලැබෙන්නේ කොහාගේ ජීවන චක්‍ර ක්‍රියාවලියේ එක් කාල පරාසයක් නිසයි. ඇත්තටම කොවුලන්ගේ වසන්තය උදා වෙන්නේ වසරේ සිවුවැනි මාසයවන අප්‍රේල් මාසයේදී. මේ කාලයේදී තමයි වසරේ අවුරුදු පණිවුඩය රැගත් නිල් පාට හා ගුරු පාට පිරිමි කොහා ගම් දනව් සිසාරා පියඹා යන්නේ.

මේ කාලයේදී තමයි කොවුලා කෙවිලිය හා එක්ව හැසිරෙමින් පැටවුන් බෝ කිරීමට සූදානම් වෙන්නේ. ඒ ගැන කොවුලා විසින් කෙවිලියට හඬනගා ආරාධනය කිරීම තමයි අපට අසන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් කොවුලාගේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාල පරාසයයි. මේ කොහා සංචාරක කුරුල්ලෙක්. කෝකිලයා හෙවත් කොහා උත්තර ප්‍රදේශයේ සිසිල් ඍතුවත් සමඟ නිරක්ෂය සහිත රටවලට පියඹා එනවා. ඒ කියන්නේ අප වගේ ඝර්ම කලාපීය රටලට පියඹාගෙන ඒම සිද්ධ වෙනවා. මේ කොහා වෙනත් රටවල සිට සංක්‍රමණය වුණත් අපේ රටේ පමණක් ජීවත්වෙන වර්ග කිහිපයකුත් සිටිනවා. රතුමල් කොහා, උකුසු කොහා, වයිරගුරු කොහා, කවුඩු කොහා, වතනිල් මල් කොහා, වතක් මල් කොහා ජීවත් වෙන්නේ අපේ රටේමයි. හබලපිය කොණ්ඩ කොහා, පුංචි කෝකිලයා, කුසුලුගුරු කොහා ජීවත් වෙන්නේ ඉන්දියාවේ සහ අග්නිදිග ආසියානු රටවල. මේ කොවුලන් වර්ග අවුරුදු කාලයට අපේ රටට පියඹාගෙන එන්නේ අවුරුදු පණිවුඩයක් රැගෙන.

මේ කෝකිලයාගේ විශේෂම සිද්ධිය තමයි කූඩු නොසෑදීම. කෙවිලිය විසින් කපුටාගේ කූඩුවක තමයි බිත්තර දමන්නේ. මේ නිසා තමයි පරපුටු කොහා කියලා අප හඳුන්වන්නේ. සමහර කෙවිලියන් වෙනත් පක්ෂීන්ගේ කූඩුවලත් බිත්තර දමන අවස්ථා තිබෙනවා. නමුත් වතමල් කොහා, වනමල් කොහා බිත්තර දමන්නේ තමුන් සකස් කරගත් කූඩුවකමයි. කපුටු කැදැල්ලක බිත්තර දමන කොහා අනුගමනය කරන්නේ හරිම කපටි පිළිවෙතක්. මේ කෙවිලිය කරන්නේ කපුටා බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර ටික ඉවත් කරනවා. ඒ වෙනුවට තමුන්ගේ බිත්තර දමනවා. බිත්තරවල වෙනස නොදකින කපුටිය කොහාගේ බිත්තර රැකීම පටන් ගන්නවා. දැන් නිසි කලට පැටවුන් බිහි වෙනවා. මේ බිහිවෙන කොවුල් පැටවුන්ටත් තිබෙන්නේ කපුටු හඬමයි. දැන් දිගටම කපුටිය පැටවුන් රැකීම සිදුකරගෙන යන්නේ තමුන්ගේ පැටවු බව සිතාගෙනයි. මෙතෙක් පැවති රහස හෙළි වෙන්නේ කොහාගේ පැටවු ශබ්ද නඟා හඬලන්න පටන් ගත්තට පසුවයි. මෙයින් කෝපයට පත්වෙන කපුටිය තම කැදැල්ලේ සිටින කොහාගේ පැටවු පළවා හරිනවා. මේ ක්‍රියාවලිය තමයි කොවුලා අනුගමනය කරන කපටිම උපක්‍රමය. මේ ආකාරයට ජීවත්වෙන කොවුල් වර්ග 47ක් ලෝකය පුරාම සිටින බව පරිසර විද්‍යාඥයන් සඳහන් කරනවා. වර්ග 47 අතුරින් වැඩිම ප්‍රමාණයක් බිත්තර දමන්නේ වෙනත් පක්ෂීන්ගේ කූඩුවල. සාමාන්‍යයෙන් කොවුලා උත්තරායන වසන්තය ඍතුව ලෙස හඳුන්වන මාර්තු සහ අප්‍රේල් මාසයේදී තමයි අපේ රටට සංක්‍රමණය වීම සිද්ධ වෙන්නේ. තවත් කපටි ක්‍රියාවක් තමයි මේ කොහා අපේ රටට සංක්‍රමණයවීම සඳහා අනුගමනය කරන්නේ. මේ කාලයට සුළඟ සාමාන්‍යයෙන් අපේ රට දෙසට හඹාගෙන එනවා. ඒ සුළඟ හඹන දිසාවට ඔවුන් පහසුවෙන් පියාඹනවා.

මේ වගේම අවුරුද්ද සංකේතවත් කරන සංකේතයක් තමයි එරබදු පුෂ්පය. මේ වෘක්ෂය ඉතාම ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක්. අවුරුදු කාලයට පමණයි එරබදු මල් පිපෙන්නේ. වෘක්ෂය පුරාම ඉතා විශාලව මල් පිපෙන එරබදු ගසක් දැන් අප දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. කටුවලින් යුතු ගොරෝසු පොත්තක් සහිත ගසේ සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගන්නවා. එරබදු, එරමුදු සහ එරට මුදලි නම්වලින් හඳුන්වනු ලබන මෙය වෛද්‍ය ග්‍රන්ථවල පාරිභද්‍ර හා රක්ත පුෂ්පී යන නම්වලින් හඳුන්වා තිබෙනවා.

මේ එරබදු ශාකයේ ඇති විශේෂම ඖෂධීය ගුණය තමයි බඩගිනි ඇති කිරීම. පණු රෝග සඳහා ඉතාම සාර්ථක ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මේ ගසේ කොළ, දලු සෑම කොටසක්ම විවිධ රෝග සඳහා ගන්නවා. මේ ගසේ කොළ මැල්ලුම අතීතයේ හොඳ වෑ‍ංජනයක්. අපේ අම්මලා ගම්වල ඒ කාලේ පණු රෝගවලට ඖෂධ පෙති දුන්නේ නැහැ. එරබදු මැල්ලුම් හදලා දෙනවා. කිසිම පණු රෝගයක් නැහැ. නමුත් දැන් එරබදු මලක් අපේ දරුවෝ දකින්නේ අවුරුදු වෙළෙඳ දැන්වීමකින්. ඒ තරමට එරබදු ගහ සංකේතයක් වෙලා. අනාගතයේදී අපට කියන්න වෙන්නේ එරබදු කියලා ඖෂධයක් තිබුණා කියලා විතරයි. ඒ විතරක් නොවෙයි, කොවුලා අඬලන්නේ රූපවාහිනියේ විතරයි. ඒ තරමට අද පරිසරය විනාශ වෙලා. අද ඉතුරු වෙලා තියෙන්නේ කොන්ක්‍රීට් වනාන්තර. මේ වනාන්තරවල කපුටා බිත්තර දමන්නේ ප්ලාස්ටික් කූඩයක. මේ කූඩය තුළ තමයි කෙවිලිය බිත්තර දමන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කපුටාට විතරක් නොවෙයි කොවුලාගේ හඬ අපටත් හඳුනාගන්න බැරි වෙයි.