කාන්තා රෝග නසන ගුණ ගෙන දෙන රසකිඳ

අප්‍රේල් 22, 2024

අමෘතවල්ලි යන නමින් හඳුන්වනු ලබන රසකිඳ යනු ආයුර්වේදය තුළ වැඩි වටිනාකමක් හිමි ඖෂධීය වැල් විශේෂයකි. Menispermacea  නම් උද්භිද කුලයට අයත් දේශීය ශාකයක් වන මෙය විශාල ගස් මත පැතිර වැඩේ. මෙම වැලෙහි අළු පැහැති තුනී පිට පොත්ත ඉක්මනින් ගැලවී යන අතර ඇතුළු පොත්ත කොළ පැහැයක් ගනී. එනම් මෙහි කඳ තුළින් පොළොවට මුල් අදින අතර මෙහි පත්‍ර හෘදයාකාර හැඩයෙන් යුක්ත වේ. කොළ පැහැයට හුරු කහ පැහැයෙන් ඒකාක්ෂ පුෂ්ප මංජරියේ හටගන්නා මල් ගැහැනු මල් සහ පිරිමි මල් ලෙස වෙන වෙනම හටගනී. මෙහි  ඉදුණු ඵලය දීප්තිමත් රතු පැහැති අෂ්ටිලයක් වේ. 

රසකිඳ ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව, මියන්මාරය වැනි ඝර්ම කලාපීය රටවල්වල බහුලව වැඩේ. මීට අමතරව Tinospora උද්භිද කුලයට අයත් රසකිඳවලට සමානකම් දක්වන වැල් වර්ග තුනක් හඳුනාගෙන තිබේ.

බූකිඳ, වල්කිඳ, තිත්ත කිඳ යනුවෙන් එම වර්ග තුන හඳුනාගත හැකිය. මීට අමතරව දික්කිඳ, වල් රසකිඳ නමින් හදුන්වන තවත් රසකිඳ වර්ගයක් ද ඇතැම් ප්‍රදේශවල රසකිඳ ලෙස භාවිත කරනු ලබයි. නමුදු රසකිඳ වෙනුවට පෙර සඳහන් රසකිඳ වර්ග භාවිත කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකි බව සඳහන් කළ යුතුය. 

 

රසකිඳවල ඖෂධීය භාවිතයන් අර්ශස් රෝගය සමනය කිරීමට

බොහෝදෙනෙකු අද වන විට පීඩා විඳින අර්ශස් රෝගය සුවකර ගැනීම සඳහා රසකිඳ ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. එනම් මේ සඳහා රසකිඳ යුෂ හෝ චූර්ණය මෝරු සමඟ පානය කිරීම ගුණදායකය. 

 

සන්ධිගත රෝග සමනය කරයි

අද වනවිට බොහෝ දෙනෙකු ගොදුරු වී සිටින සන්ධි රෝග සමනය කිරීම සඳහා රසකිඳ භාවිත කළ හැකිය. එනම් මේ සඳහා රසකිඳ කොළ කොටා  සන්ධි වේදනා , ඉදිමුම් ඇති ස්ථානවල ගැල්වීම මගින් එම රෝග තත්ත්වයන් සමනයකර ගත හැකිය. 

 

ශරීරය සිසිල් කිරීමට

බොහෝ දෙනෙකු උෂ්ණාධික ශරීරය නිසා විවිධ රෝග තත්ත්වයන්වලට ගොදුරු වී තිබේ. එනම් දද, කුෂ්ඨ, ආදී රෝග තත්ත්වයන් ඇති වන්නේ ශරීර අභ්‍යන්තරය උෂ්ණාධික වීම හේතු කොටගෙනය. එනම් මෙම තත්ත්වය සමනයකර ගැනීම සඳහා ශරීරය සිසිල්කර ගත යුතුය. මේ සඳහා නෙල්ලි රසකිඳ තම්බා දිනපතා පානය කිරීම මගින් ශරීරයේ සිසිල් ගත හැකිය.

 

සෙම් කෝප වීම සමනය කරයි

දේශගුණික විපර්යාස නිසා හෝ වෙනත් හේතූන් නිසා ඇතිවන සෙම් කෝප වීමේ තත්ත්වය සමනයකර ගැනීම සඳහා රසකිඳ ඖෂධයක් ලෙස භාවිත කළ හැකිය. එනම් රසකිඳ වියළා කුඩුකර ,ගම්මිරිස්, ඉඟුරු හා කහ මිශ්‍රකර ගුළි සකස් කොට මීපැණි සමඟ භාවිත කිරීමෙන් වියළි කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහ ඇදුම රෝගය වැනි සෙම් කෝප වීමෙන් ඇතිවන රෝග තත්ත්වයන් සමනය කිරීම කර ගත හැකිය.

 

උණ සමනය කරයි

උණ රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට ඖෂධයක් ලෙස රසකිඳ භාවිත කළ හැකිය. එනම් රසකිඳ වැලක් ලෙස කුඩා කැබලිවලට කපා හොඳින් තළා ඇල් ජලයේ දියවෙන්නට හැර  පසුදා ජලය ඉවත්කර රසකිඳ පිටි ගෙන වියළා එම පිටිවලින් සකසන ගුඩුචි සත්ත්ව නම් ඖෂධය උණ රෝග සමනය කිරීමට භාවිත කරනු ලැබේ.  මීට අමතරව රසකිඳ මිශ්‍ර කර සකසන අමෘත අරිෂ්ටය උණ රෝගීන්ට ගුණදායකය. 

 

අක්මා රෝග ඇතිවීම වළක්වනු ලබයි

එනම් අක්මාවේ තැන්පත් වී ඇති තෙල් ඉවත් කිරීමට භාවිත කළ හැකි ඖෂධයක් ලෙස රසකිඳ හැඳින්විය හැකිය. එනම් එමගින් නොයෙක් රෝග ඇතිවීමෙන් අක්මාව ආරක්ෂාකර ගත හැකිය. මේ නිසා අක්මා රෝග ඇති පුද්ගලයින්ට රසකිඳ භාවිත කිරීම ගුණදායකවේ. 

 

පිලිස්සුම් සුව කරයි

හදිසි අවස්ථාවක ඇතිවන පිලිස්සුම් තුවාල සමනය කිරීම සඳහා රසකිඳ භාවිත කළ හැකිය. එනම් රසකිඳ කොළ මිටක් ගෙන ඇල්දියෙන් අඹරා එම ස්ථානයේ ගැල්වීම මඟින් එම තුවාල ඉක්මනින් සුව කරගත හැකිය.