නිවාඩුවට එනව නම් කොළඹත් ට්‍රිප් එකක් තමයි

අප්‍රේල් 15, 2024

අලුත් අවුරුදු පාසල් නිවාඩුව තවමත් ඉවර නැහැ. මේ ගත වෙන්නේ මේ අවුරුදු නිවාඩුවේ අන්තිම දවස් කිහිපය. නිවාඩුවට යන්නේ කොහෙද කියලා හිත හිත ඉන්න අයට යන්න හොඳම තැනක් ගැන කියන්නයි මේ යන්නේ. මේ නිවාඩුවේ යන්න පුළුවන් නම් කොළඹ කියන්නෙත් හොඳ තැනක්.

කොළඹ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලොකු බිල්ඩින්.. දූවිලි හුළඟ.. හැල්මේ දුවන මිනිස්සු.. සටකපට වෙළෙන්දෝ වගේම වාහන තදබදය විතරයි.

ඒත් අපි කියන්නේ කොළඹ කියන්නේ ට්‍රිප් එකක් යන්න වුණත් අලංකාර නගරයක් කියලා. ඒත් ගොඩක් දෙනා කොළඹ හඳුන්වන්නේ කොන්ක්‍රීට් වනාන්තරය කියලා. හැබැයි ඔයාලා දන්නවා කාන්තාරවලත් ක්ෂේම භූමි තියෙනවා කියලා. අපි මේ කියන්න යන්නේ කොළඹ නගරයේ අන්න ඒ වගේ බලන්න පුළුවන් ලස්සනම තැන් ටිකක් ගැන.

ගොඩක් ගමේ උදවිය කොළඹට ඇවිත් ඇවිදින්නේ පිටකොටුවේ විතරයි. අන්න ඒ නිසා කොළඹ ආවොත් අනිවාර්යෙන් යන්න ඕනෙ තැන් කිහිපයක් ගැනයි අපි ඔයාට කියන්නේ.

 

විහාරමහාදේවි උද්‍යානය

 

විහාරමහාදේවි උද්‍යානය කියන්නේ නිදහසේ ඉන්න පුළුවන් හොඳම තැනක්. කොළඹ නගරය මැද්දේ තියන ලස්සනම හරිත වනාන්තරය මෙය කිව්වොත් හරියටම හරි. පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න වගේම නිදහසේ ඉන්නත් හවස් වරුවට බොහෝ දෙනා මේ උද්‍යානයට එන්නේ එය ඒ තරම්ම නිදහස පිරි තැනක් නිසයි. ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයට යාබදව කොළඹ ප්‍රදේශයේ පිහිටා ඇති නිසා මෙම උද්‍යානයට වික්ටෝරියා උද්‍යානය කියලත් සමහරු කියනවා. එය කොළඹ නගරයේ ඇති වඩාත්ම ආදරණීය හා විශ්මයජනක උද්‍යානයකි.

 

ගාලු මුවදොර

 

කොළඹට ආපු කෙනෙක් ගාලු මුවදොර එහෙමත් නැත්නම් ගෝල්ෆේස් එකට නොයා ඉන්න අමතක කරන්නේ නැහැ. මොකද ගෝල්ෆේස් කියන්නේ කොළඹ තියෙන තැන්වලින් තවත් ලස්සනම තැනක්. මෙතැනට එන හැමෝම කරදිය පිරි ලවණ මුසු සුළඟේ පහස විඳිමින් ඊස්ට් රොටියක්. ඉස්සො වඩයක් රස බලන්න අමතක කරන්නේ නැහැ.

 

 

 

නෙළුම් කුලුන

 

බේරේ වැවේ දිය ඉවුරේ පිහිටි කොළඹ අගනුවර මධ්‍යයේ සිට නෙළුම් කුලුන වර්ණවත් නෙළුමක් සේ අහසට නැඟී තිබේ. දකුණු ආසියාවේ උසම කුලුන බලන්න ආපු නැති කෙනෙක් නම් නැහැ. නෙළුම් කුලුන මුදුනේ සිට මුළු කොළඹම හරි අපූරුවට බලන්න පුළුවන්. වැඩිදෙනෙක් මේ අපුරු දර්ශනය බලන්න රාත්‍රියට එන්නේ මුළු කොළඹම විදුලි බල්බවලින් ආලෝකමත් වී මනස්කාන්ත දර්ශන තලයක් දිග හැරෙන නිසායි. මීටර් 350ක් උසැති මහල් 17කින් යුත් නෙළුම් කුලුනට රූපවාහිනි කුලුනක්, හෝටලයක්, විදුලි සංදේශ කෞතුකාගාරයක්, ආපණශාලා, ශ්‍රවණාගාරයක්, නිරීක්ෂණ මැදිරියක්, සාප්පු සංකීර්ණයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඇතුළත් වෙනවා.

 

දියත උයන

 

දියත උයන කොළඹ නගරවාසීන්ට සහ සංචාරකයින්ට ප්‍රියජනක වෙනසක්. මෙය පිහිටා ඇත්තේ වෝටර්ස් එජ් හෝටලයට යාබදවය. ජොගින් පාත් ඇති බැවින් එය සවස් වරුවේ ඇවිදීමට හෝ ජොගින් කිරීමට පවා සුදුසු ය. කුඩා අාපනශාලා. ළමුන්ට සෙල්ලම් කිරීමට වෙනමම තැන්. බෝට්ටු සවාරි මේ හැමදෙයක්ම දියත උයනේ ඇති නිසා සති අන්තය කියන්නේ පිරී ඉතිරී යන තැනක්.

 

ගංගාරාම විහාරස්ථානය

 

කොළඹ පිහිටි පන්සල් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ ගංගාරාම විහාරස්ථානයට. ඒ එහි ඇති ඓතිහාසික සහ කලාත්මක පිළිමවහන්සේලා නිසායි. ඒ වගේම ගංගාරාම සීමාමාලකය කියන්නේ මංගල ඡායාරූපකරණයට ප්‍රසිද්ධ තැනක්? සුප්‍රසිද්ධ ශාස්ත්‍රපති භික්ෂුවක් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් විසින් ආරම්භ කරන ලද ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍යය විදේශිකයන්ගේ පවා අවධානය දිනාගත් අංගයක්.

 

 

ගල්කිස්ස වෙරළ

 

දෙහිවල වෙරළ, ගල්කිස්ස වෙරළ ලෙසද පිළිගැනේ, එය ශ්‍රී ලංකාවේ හොඳම වෙරළ තීරයක් වන අතර කොළඹට ආසන්නයේ පිහිටා ඇත. මෙය විවේකී සහ අපූරු වෙරළ නිවාඩුවක් සඳහා අපූරු ගමනාන්තයකි. තවද, මෙම රන්වන් වැලි වෙරළ උදෑසන යෝග භාවනාව සහ සවස විවේකය සඳහා වඩාත් සුදුසු වේ. වෙරළ නිර්මල ය. එය පිහිනීමටත් සුදුසු වන අතර, ඔබට සජීවී සංගීතය සහ කලාකරුවන් සමඟින් කැෆේ වෙත ගොස් වෙරළේ විශ්මයජනක සුන්දරත්වය භුක්ති විඳිය හැකිය.

 

 

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය

 

පොඩ්ඩන්ට නම් කියාපු තැනක්. හැබැයි මේ තැනට යන්න පොඩ්ඩො ලොක්කෝ කියලා වෙනසක් නැහැ.. කවුරුත් හරිම ආසාවෙන් යන තැනක් වගේම යන්න බලාගෙන ඉන්න තැනක්.

දේශීය සත්ත්ව විශේෂ ප්‍රදර්ශනය කරන දෙහිවල ජාතික සත්ත්්වෝද්‍යානය ආසියාවේ වයස්ගතම සත්ත්වෝද්‍යානවලින් එකක්. ක්ෂීරපායින්, උරග වර්ග, මත්ස්‍ය විශේෂ, උභයජීවී, සමනල විශේෂ සහ කුරුලු විශේෂ ඇතුළුව සතුන් 3000කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී දැක බලා ගත හැකියි.

 

රතු පල්ලිය

 

පිටකොටුව පිහිටි රතු පල්ලිය කාගෙත් ආකර්ෂණය දිනාගත් අපූරු මුස්ලිම් පල්ලියක්. හැබැයි මේ පල්ලියේ තියෙන ආකර්ෂණීය බව නිසාම ජාති භේදයකින් තොරව මේ පල්ලිය නරඹලා ඡායාරූප ගන්නත් අමතක කරන්නේ නැහැ.

මුස්ලිම්වරුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස සලකන රතු පල්ලිය ගොඩනැඟීමට ඔවුන්ගේ මුතුන් මිත්තනගේ ලොකු කැපවීමක් සහ දායකත්වයක් ලැබුණු බවයි ඔවුන් පවසන්නේ. දවසකට යුවළවල් දෙක තුනක්වත් පැමිණ මෙම ස්ථානයේදී ප්‍රී ෂූට් කිරීමට තරම් මේ ස්ථානය කොපමණ චිත්තාකර්ෂණීය තැනක් විය යුතු ද? කොළඹට එන ඔබටත් මේ අපූරු පල්ලිය දැක බලාගත හැකියි.

 

කොළඹ ජාතික කෞතුකාගාරය

 

කොළඹ කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ 1877 අවුරුද්දේ. එහි අනුග්‍රාහකයා ලෙස සලක‍න්නේ බ්‍රිතාන්‍ය විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයායි. ඔහුගේ මැදිහත්වීමෙන් නිර්මාණය වුණු මේ කෞතුකාගාරය නැරැඹීමට බොහෝ පාසල් දුවා දරුවන් පැමිණෙන්නේ මෙය කෞතුකාගාරයක් පමණක්ම නිසා නොව මෙය දැනුම් සම්භාරයක් ඇතුළත් පුස්තකයකට සමාන නිසායි.

 

කොළඹ ප්‍රදීපාගාරය

 

ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම සඳහා ප්‍රසිද්ධියට පත් කොළඹ ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සැලකිය යුතු සමුද්‍ර සන්ධිස්ථානයක් ලෙස සලකයි. කොළඹ වරායට දකුණින් ගල්බොක්ක තුඩුවේ පිහිටි මීටර් 29ක් උසැති මෙම ප්‍රදීපාගාරය 1952 දී ඉදිකරන ලද්දේ මීට පෙර තිබූ ප්‍රදීපාගාරය ප්‍රතිස්ථාපනය කිරීමටයි. එය ලංකාවේ පළමු අගමැති ඩී.එස්.සේනානායක විසින් විවෘත කරන ලද්දකි.

ප්‍රදීපාගාරයේ පාමුල සිංහ රූප හතරක් ඇත. එය මීටර් 12 ක් උස වන අතර එය බලය සහ අවදියෙන් සිටීම සංකේතවත් කරයි. එය නගරයේ සුප්‍රසිද්ධ සන්ධිස්ථානයක් වන අතර ඉන්දියන් සාගරයේ අපූරු දර්ශනීය දසුනක් සපයයි. මෙය නාවික හමුදා මූලස්ථානයට සහ කොළඹ වරායට ආසන්නව අධි ආරක්ෂිත ප්‍රදේශයක ස්ථානගත වීම හේතුවෙන් ප්‍රදීපාගාරයට ප්‍රවේශ වීම සීමා කර තිබෙනවා.