රෝග රැසක් කරවන දුරු ඖෂධයේ නම සූදුරු

අප්‍රේල් 22, 2024

 

මේ කතාබහ ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක (Natural Anti Oxidants) බහුල ලෙස අඩංගු කුළුබඩු වර්ගයක් පිළිබඳවයි. Sweet Cummin සහ Cummin Seed ලෙසින් හඳුන්වන මහදුරු සහ සූදුරු මුල්තැන්ගෙයි කුළුබඩු අතර ඉතා ජනප්‍රිය රසකාරකයක් මෙන්ම ගෘහණිය වෙදැදුරෙක් කරන ඉතා ප්‍රබල ඖෂධයක්. මහදුරු පැණි රසයෙන් යුක්ත නිසා මධුරිකා ලෙසත් සූදුරුවල ඇති ආහාර දිරවීමේ ශක්තිය නිසා ජීරක ලෙසත් ආයුර්වේද වෙදකමේ දී හඳුන්වනවා. සූදුරුවල ඇති රසය සහ සුවඳ නිසා අපේ රටේ ආහාරවලටත් වඩා රසකැවිලි නිෂ්පාදනයේදී මෙය වැඩියෙන් භාවිත කරනවා.

මහදුරුවල පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම් හා මැංගනීස් අඩංගුව පවතින නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට විශාල ලෙස උපකාර කරනු ලබන අතර බහුල ලෙස කාන්තාවන් පීඩාවට පත්වන පියයුරු පිළිකා තත්ත්වවලදී පිළිකා සෛල සමඟ සටන් වැද පිළිකාව ජය ගැනීමට මහදුරු උපකාර කරගන්නට පුළුවන්. ලේ වඩවන ගුණයෙන් යුතු නිසා ශරීරයේ ලේ හිඟ අවස්ථාවලදී මෙය දිව ඔසුවක්. සූදුරු සහ මහදුරු වර්ග දෙකම රුධිරයේ ඇති ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කරන නිසා දියවැඩියා රෝගීන්ට මහත් අස්වැසිල්ලක් සලසා දෙන ඖෂධයක් ලෙසින් හැඳින්වීම ඉතාම නිවැරදියි.

රූ සපුව පිළිබඳ සැලකිලිමත්වන කාන්තාවන්ට සූදුරු කියන්නේ නැතිවම බැරි ඖෂධයක්. කබලේ මඳක් බැද කුඩුකර තබාගත් සූදුරු කෝපි මෙන් සකසා දිනපතා පානය කිරීමෙන් අත්කර ගත හැකි ප්‍රතිඵල සඳහන් කළොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත්වේවි. සූදුරු ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන නිසා අධික තරබාරුවට වගේම ශරීරයේ උදරය, කලවා, අත් වැනි ස්ථානවල අධික ලෙස මාංශ පේශී වර්ධනය වීම වැළැක්වීමටත් හැකියාව පවතිනවා. ඒ වගේම ශරීරයේ ලප කැළැල් ඉවත් වී ඒකාකාරී පැහැයකින් යුතු පැහැපත් සමක හිමිකාරියක වීමට සූදුරු පානය ඔබට ඉඩ සලසා දෙනවා. එයට හේතුව සූදුරු මගින් ශරීරයේ පවතින විස පදාර්ථ ඉවත් කර අක්මාව හා වකුගඩු වැනි ඉන්ද්‍රියන් නිරෝගී කිරීම නිසයි. අධික ලෙස දහඩිය දැමීම හෝ දහඩිය දුගඳ පවතින අවස්ථාවල සූදුරු ඇල්දියෙන් අඹරා ශරීරයේ ආලේප කර ස්නානය කිරීමෙන් ඉතා පහසුවෙන් එම ගැටලුව ජය ගත හැකියි. ආහාර හොඳින් දිරවන ගුණය ඇති නිසා අජීර්ණ අවස්ථාවට වගේම බඩ පුරවා දැමීම හා නිසි ලෙස මලපහ පිට නොවීම වැනි අවස්ථාවලත් සූදුරු පානය ඔබේ පිහිටට එනවා. ගර්භණී සමයේ උදෑසන ඇතිවන ඔක්කාරය හා අරුචිය සූදුරු තැම්බූ වතුරට මීපැණි මිශ්‍රකර බීමෙන් ඉතා ඉක්මනින් සුව වෙනවා.

කාන්තාවන්ට පමණක් නොව අද වනවිට හිස්හොරි ගැටලුව පිරිමි පාර්ශ්වයටත් විශාල කරදරයක්. සූදුරු තැම්බූ ජලයෙන් හිස සෝදා විනාඩි කිහිපයක් මෘදු ලෙස සම්බාහනය කර ඉන්පසු පිරිසුදු ජලයෙන් සෝදා හැරීමෙන් දින කිහිපයක් තුළ දීර්ඝ කාලයක් කරදරයක්ව පවතින හිස් හොරි වදයෙන් පහසුවෙන් නිදහස් වන්නට පුළුවන්. කුඩා දරුවන්ට ඇතිවන වමනය හා අජීර්ණ තත්ත්වවලදී සූදුරු තැම්බූ ජලයට සීනි හා මී පැණි එක්කර දීමෙන් සුළු වේලාවක් තුළ සුවපත්භාවයට පත් කළ හැකියි. සූදුරුවල අැනෙතෝල් නමින් හැඳින්වෙන ෆයිටොකෙමිකල් අඩංගු වන නිසා ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාර කරනු ලබනවා. එනිසා අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටිස් අවස්ථාවලදී සූදුරු පානයට මීපැණි මිශ්‍රකර දීම ඉතාම සුදුසුයි. සූදුරුවල බහුල ලෙස යකඩ හා විටමින් E අඩංගු නිසා වයසට යාම පමා කිරීමට හා කොණ්ඩය කැඩී යාම වළක්වා ශක්තිමත් කිරීමට සූදුරුවලට හැකියාව පවතිනවා. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කර ට්‍රයිග්ලිසරයිඩ් හා LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සූදුරුවලට හැකි බව නූතන පර්යේෂණවලින් පවා හෙළිවී තිබෙනවා. ඒවගේම සූදුරු කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ලිංගික ශක්තිය වර්ධනයට මෙන්ම ධාතු වර්ධනයටත් උපකාරී වන ඖෂධයක්. ශරීරයේ ග්‍රන්ථිවල ශ්‍රාවයන් වැඩි කරන තයිමෝල් නම් රසායනිකය සූදුරුවල අඩංගු නිසා කිරිදෙන මවුවරුන්ට කිරි වැඩිවීමටත් නව යොවුන් වියේ ගැහැනු - පිරිමි දරුවන්ගේ ඉන්ද්‍රියන් වර්ධනයටත් සූදුරු හා මහදුරු කියන්නේ අප්‍රමාණ ගුණ ඇති ඖෂධයක්.